වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

සිංහල විකිපීඩියාව හා ආචාරධර්ම - මේ වනසන්නේ මහජන මුදල් ද?

| Comments

විකිපීඩියාව යනු දැනුම් ආකරයක්. පොදු දේපලක්. අන්තර්ජාලය මගින් ඒකාබද්ධ කෙරුනු ලෝකයක දැනුම සංසරනය වන අන්දම පිලිබඳ උත්කෘශ්ට ආදර්ශයක්. සිංහල භාශා විකිපීඩියාව තුල මඳ කලක පටන් නිරීක්ශනය කරන්න ලැබුනු ප්‍රවනතාවක් තමයි මේ මහාර්ඝ ඥාන කෝශ්ටාගාරය අපයෝජනය කරමින්, විකෘත කරමින් කිසියම් ව්‍යාපෘතියකට ලකුනු/මුදල්(?) රැස් කිරීමේ අභිලාශයෙන් මෙහෙයවීගත් පාර්ශ්ව දෙකක් හෝ වැඩි ගනනක් විසින් සිදු කරනු ලබන අපසැකසුම්. “අපසැකසුම්” කීවේ ඒවා නියම ක්‍රමවලින් බැහැර ව වංචනික ආකාරයට කල සංස්කරන නිසයි.

“අභිසාරී සහ අපසාරී ශ්‍රේණි සඳහා උදාහරණ” යන හිසැති පිටුවෙන් ලබාගත් මේ තිරපිටපත බලන්න. (විශාලනය සඳහා රූපය මත ක්ලික් කරන්න)



ඉහත පිටුවේත් තවත් සිංහල විකිපීඩියා පිටු දහස් ගනනක් මතත් මෙවැනි සඳහනක් දැන් දැකගන්න පුලුවන් :

“This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia.”

පුද්ගලික ආයතනයක් වගේ ම රාජ්‍ය ආයතනයකුත් සම්බන්ධ ව මේ සිදු කරන ව්‍යාපෘතියේ දිග පලල කෙබඳු දැයි මා දන්නේ නෑ. එහෙත් විකිපීඩියාව මත සිදු වෙමින් පවත්නා දෑ අපට නිරීක්ශනය කරන්න කිසි ම බාධාවක් නැහැ.

මෙහි දී අයථා ප්‍රචාරනයක් වගේ ම පාඨකයා නොමග යැවීමකුත් සිදු වන බව පෙනෙන්න තියෙනවා. එක පැත්තකින් විකි පිටු තමුන්ගේ ව්‍යාපාර හා ආයතනවල ප්‍රචාරය සඳහා යොදාගැනීම. ඊට අමතර ව ඊනියා විශේශඥ මන්ඩලයක් ගැන මුසාවාද ඇද බෑමෙන් ඒ ලිපිවල අනාගත සංස්කරන වක්‍රව අවුරාදමනවා. මෙවැනි උදාරම් සඳහනක් සහිත ලිපියක් නැවත සකසන්න යොමු වෙන්නේ කීයෙන් කී දෙනා ද?

මේ කියන කොම්පැනිය විසින්, විශේශඥ මන්ඩලයකගේ අධීක්ශනයෙන් සිදු කලාය කියන ලිපි විද්‍යාව, තාක්ශනය, ගනිතය, ඉතිහාසය, සාහිත්‍ය - කලා, දර්ශනය, ආගම ආදී නා නා විශය ක්ශේත්‍රවලට අයත්. මේ ලිපිය ලියන මොහොතේ පිරික්සද්දී මෙවැනි ලිපි 2,974 ඇති බව පෙනුනා.


එහෙම නම් මේ “විශේශඥ මන්ඩලය” මෙකී සියලු ක්ශේත්‍රයන්හි කෙලපැමිනි පඬිවරුන්ගෙන් සමන්විත ද? ඒ ඒ විශයයන් සියල්ල පරිවර්තනය අධීක්ශනයට සමත් පිරිසක් ද? නො එසේ නම් ඒ ඒ විශයයට වෙන වෙන ම අධීක්ශක මන්ඩල හිටියා වත් ද? මොවුන් නිපදවා තිබෙන “ලිපි” පරීක්ශා කර බලද්දී එවැන්නක් නම් දැකගන්න අපහසුයි. මේ ලිපි බහුතරයක් අසම්පූර්න හෝ වැරදි පරිවර්තන. අක්ශර වින්‍යාසය හා වියරනය බිඳිලා. අදාල ක්ශේත්‍රයන්හි පාරිභාශික ශබ්ද ගැන තැකීමක් කල බවක් ප්‍රකට වන්නේත් නැහැ. ඊට අමතර ව විවිධ ඉංග්‍රීසි භාශා ලිපිවල උපමාතෘකා කොටස් හිතුමතයට කඩා වෙන් කරගෙන සිංහලෙන් ඒවාට තනි පිටු නිර්මානය කර තිබෙනවා. ඒ පිටු බොහෝ විට අනාථ පිටු හැටියට වර්ගීකරනය වෙන්න ඉඩ තියෙනවා. ඉහත නිදසුන බලන්න. එය සිංහලෙන් වෙන ම පිටුවක් හැටියට තිබුනත් එය ඉංග්‍රීසි අංශය තුල හුදෙක් ප්‍රධාන ලිපියක උපමාතෘකාවක් පමනයි ( http://en.wikipedia.org/wiki/Convergent_series#Examples_of_convergent_and_divergent_series ) මෙවැනි අවස්ථා කීයක් ඔබට සොයාගත හැකි දැයි බලන්න.

තව නිදසුන් දෙකක් පෙන්වා ඉතිරිය මෙය කියවන ඔබට භාර කරන්නම්. භරත නාට්‍යම් පිලිබඳ දීර්ඝ ඉංග්‍රීසි ලිපිය “විශේශඥ මන්ඩලයේ අධීක්ශනයෙන්” “නිරවද්‍යතාව තහවුරු කොට” සිංහලට නඟා ඇත්තේ මෙහෙමයි -


War on terror නම් ඉංගිරිසි ලිපියෙහි උපකොටසක් වෙන ම සිංහල පිටුවක් හැටියට අටවා ඇත්තේ මාතෘකාවේ අකුරු පවා හරි හැටි යොදමින් නෙමෙයි -



Dance in India නමැති මහ ලිපියෙන් උපමාතෘකාවක් ගලවාගන්නා මොවුන් එය ද තවත් ඇදගස්සා සිංහල විකිපීඩියා පරිශ්‍රයෙහි හිටුවන්නේ නැවතත් අර විශේශඥ මන්ඩලයේ සහතිකය දෙමින් -



මෙහි කෙලවර කොතැන ද? විකිපීඩියාවේ ස්වරූපය ගැන නොදන්නා/නොතකන පිරිසක් එහි පිටු මත සිය ප්‍රචාරක වැකි යොදමින් ද අයාලේ යන පිටු නිර්මානය කොට අඩෙවියේ ව්‍යුහය ඇදපලුදු කරමින් ද ගෙනියන මේ ව්‍යායාමය ගැන සිංහල බස භාවිත කරන පරිශීලකයින්ගේත් පොදු මහජනතාවගේත් අවධානය යොමු විය යුතු යි. මේ සා කඩිමුඩියකින් ලිපි සකසන්නේත් සිය “ව්‍යාපෘතිය” යටතේ ඇති ලිපි සංඛ්‍යාව ඉහල දමාගන්නේත් ඒ පසු පස මුල්‍යමය වාසියක් තිබෙන නිසා ද? ICTA ආයතනය මෙවැන්නකට මුදල් යොදවා තිබේ නම් ඒ කාගේ මුදල් ද?