වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

සයිබර් ත්‍රස්තවාදයට එරෙහි ව බ්ලොග්කරුවන් වෙනුවෙන්

| Comments

මේ දිනවල බ්ලොග්කරුවන්ට එරෙහි ව මෙවැනි වැකි අහන්න ලැබෙනවා : “……මා සැමදාම අවංකවම සිතන දෙයක් නම් මෙවැනි කාලකණ්නින්නට ඇයි කවුරුන් හෝ වෙඩි නොතබන්නෙ?……” (Ape Logic නමැති බ්ලොග් අඩෙවියෙන්.) ඒ අතර තමයි රටේ ප්‍රබල ම තැන වැජඹෙන ආරක්ශක ලේකම් උතුමන් කියන්නෙ එක්කො ඔබ අප සමගයි, නැත්නම් ඔබ ත්‍රස්තවාදියෙක් කියල.

ඉතින් එහෙම දේවලුත් ලියන්න-කියන්න පුලුවන් නම්, බ්ලොග්කරුවන් වෙනුවෙනුත් යමක් ලියන්න ප්‍රමාද වෙන එක උචිත නැහැ. මේ සටහන් ලියැවෙන්නේ පසුගිය සති කිහිපය තුල අපවාදයට සහ අයථා ප්‍රහාරයට පාත්‍ර වූ සුපුන් සුදාරක, ශාන් සහ Beyond Frame යන බ්ලොග්කරුවන් වෙනුවෙන්, ඔවුන් සමග එක පෙලට සිටගනිමින්. ඔවුන් සියලු දෙනා ම විවේචනශීලී ව සමාජ ප්‍රශ්න දෙස බලන අය. විවාදාපන්න අදහස් ඉදිරිපත් කරන ලේඛකයින්. සංවාදශීලීන්. එක ම මත දරන, එක ම කුලකයකට අයත් සේ සැලකිය හැකි අය ද නෙමෙයි. නමුත් ප්‍රහාරය එල්ල වුනේ ඔවුන් දරන, පල කරන අදහස් නිසා. ඒ අතරින් සුපුන් සුදාරක සිංහල බ්ලොග් අවකාශය පුලුල් කරන්නත් සංකල්පගත කරන්නත් බොහොම තීරනාත්මක කාර්ය භාරයක් ඉටු කල බ්ලොග්කරුවෙක්. අද සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය නමින් ප්‍රකට සංවිධානයේ නමෙහි ආදි කර්තෘ ද ඔහුයි. එකී නම පලමු වරට යොදා ගැනුනේ සුදාරක ආරම්භ කල බ්ලොග්කරුවන්ගේ ෆෝරමයක. පසු ව එය සිංහල බ්ලොග්කරුවන්ගේ ගූගල් සමූහය තුලට අන්තර්ග්‍රහනය කරගනිමින් “නිල වසයෙන්” සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය පිහිටුවනු ලැබුනේ පසුගිය වසරේ. ආරම්භක දිනයේ දී එහි ඩොමේන නාමය පවා මිල දී ගත්තේ සුදාරකගේ පුද්ගලික වියදමින්.

අනිත් අතට බ්ලොග්කරනය, බ්ලොග්කරුවන්ගේ අයිතීන් හා සමාජ භූමිකාව ආදිය ගැන මුල් වරට සිංහල බ්ලොග් අවකාශය තුල සිංහලෙන් ලියන්නත්, එම විශය ක්ශේත්‍රය සංකල්පනය කරන්නත් (conceptualize) ඉදිරිපත් වුන කීප දෙනාගෙන් කෙනෙක් තමයි සුදාරක. එකල සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වෙනුවෙන් ඔහු කෙටුම්පත් කල, (අද ක්‍රියාවේ යෙදී නැති) ලියවිලි ලොව ඕනෑ ම තැනක ජාලගත ප්‍රකාශන මාධ්‍ය හා එම ප්‍රජාවන් පිලිබඳ ආචාරධාර්මික ප්‍රකාශන හැටියට යොදාගත හැකි මට්ටමේ තිබුන බව මට මතකයි. බ්ලොග්කරනය, අන්තර්ජාලය හා web 2.0 නමැති ප්‍රපංචය පිලිබඳව ඒ සා ලාබාල වියෙහි දී පවා ඔහු සතු ව පැවති තියුනු අවබෝධය හා බැරෑරුම් ඉදිරිදර්ශන එමගින් පිලිබිඹු වුනා. එනිසා ම සිංහල භාශා බ්ලොග්කරුවන් අතර මෙන් ම පොදුවේ මෙරට බ්ලොග් අවකාශය තුල ඔහුට සැලකිය යුතු අධිකාරයක් හා පිලිගැනීමක් හිමි ව තිබෙනවා. ඔහුගේ ආවේගාත්මක හා විවේචනාත්මක බ්ලොග් ලිපි මෙන් ම බ්ලොග්කරුවන් අතර ඔහු දරන තැන ද ඇතැම් අයට සුදාරක නිහඬ කරවන්න හේතුවක් වෙන්න පුලුවන්. පාසැල් සිසුවෙක් හැටියට බ්ලොග් අවකාශයේ ගත කරන සුදාරකට එල්ල වුන ප්‍රශ්නය අධෛර්යය කරවීමක ස්වරූපයෙන් එම පරම්පරාවේ තවත් බොහෝ දෙනෙකුට බලපාන පරිදි ඉදිරියට යන්න පුලුවන්. ඒ ගැන ඡේද දෙකක් ම ලීවේ එනිසයි.

අනිත් පැත්තෙන් වර්තමාන සමාජ දේශපාලන ප්‍රශ්න ගැන විවේචනාත්මක දෘශ්ටියකින් බලන ශාන් සහ Beyond Frame සිංහල බ්ලොග් අවකාශයට ඉතා වැදගත් මානයක් (dimension) එකතු කරනවා. ඔවුන් යුද්ධය හා වාර්ගික ගැටලුව පිලිබඳ දක්වන අදහස් මෙන් ම පවත්නා ආන්ඩුවේ පිලිවෙත් විවේචනය කිරීම ද තවත් පිරිසකගේ නොසතුටට හේතු වී ඇති බව මුල සිට පෙනෙන්න තිබුනා. ඔවුන්ගේ අදහස් සිංහල බ්ලොග් අවකාශය තුල ආධිපත්‍යය දරමින් පැතිර ඇති දෘශ්ටිවාදයන්ට විකල්පයක්. මුලින් ඔවුන්ට තර්ජනාත්මක ප්‍රතිචාර ද පසු ව මරන තර්ජන ද එල්ල කෙරුනු පසු දැන් සිදු වන්නේ තවත් වැඩක්. ඔවුන් නමින් තැන් තැන්වල විවිධ අප-ප්‍රතිචාර ලියනවා. මෙමගින් මේ බ්ලොග්කරුවන් අපකීර්තියටත් පීඩනයටත් පත් කොට නිශ්ශබ්ද කිරීම අපේක්ශා කරන බව පේනවා. මෙවැන්නක් සිදු වුන පලමු වතාව මෙය නොවුනත් දැන් බ්ලොග් අවකාශයේ විශාලත්වය නිසා මේ කැලඹීමට සහභාගී වන්නන් හා එයින් බලපෑමට ලක් වන්නන් ප්‍රමානය පෙරට වඩා වැඩියි. මෙවැනි තර්ජන සහ අපහාස නිසා බලපෑමට ලක් වන්නේ එකී බ්ලොග්කරුවන් පමනක් නෙවෙයි. ඔවුන් වටා බ්ලොග් අවකාශයේ සිටින තවත් බොහෝ දෙනාට එල්ල කෙරෙන බියගැන්වීමක්, තර්ජනයක් තමයි මේ.

දැන් බලනකොට ඊනියා ජාතිභ්‍රශ්ටයින්ට වගේ ම ඊනියා ජාති හිතෛශීන්ටත් මේ ප්‍රශ්නයට මුහුන දෙන්න වෙලා. ඒ නිසා සහයෝගය හා විරෝධය පල වෙන්නෙත් පංගුපේරුවට බව පේනවා. ශාන්ට විරුද්ධ ව ප්‍රශ්නය තියෙන වෙලාවට එය හොඳ වෙන්නත් සුදාරකට ප්‍රශ්නය හටගත් වෙලාවට එය නරක වෙන්නත් පුලුවන් ද? සුදාරකට හානි සිද්ද වෙද්දී ඒක හොඳ වෙන්නත් Beyond Frame ට තර්ජනය කල විට එය නරක වෙන්නත් පුලුවන් ද? මට නිරීක්ශනය කරන්න ලැබුන විදිහට එවැනි බෙදීමක් සහිත උද්ඝෝශනයක් තමයි නැඟීගෙන එන්නෙ. මම එම ප්‍රවිශ්ටය සම්පූර්නයෙන් පිලිකෙව් කරනවා. ප්‍රශ්නයට මුහුන දී සිටින එක ද බ්ලොග්කරුවෙක් වත් අන් අයගේ අදහස් පල කිරීමේ අයිතිය දඬුකඳේ ගහන්න යෝජනා කල අය නොවීම යි මෙතන වැදගත් ම කාරනය.

සිංහල බ්ලොග් අවකාශය පසුගිය වසරක කාලය තුල අතිමහත් පිපිරුමක ස්වරූපයෙන් වර්ධනය වුනා. බ්ලොග් ලිවීම මෙන් ම කියැවීම ද ප්‍රතිචාර දැක්වීම ද පෙර නුවූ විරූ පරිමානයෙන් ඉහල ගියා. අපේක්ශා කල පරිදි ම බ්ලොග්කරනය නව මාධ්‍යයක් හැටියට මොන තරම් බලවත් කාර්ය කොටසක් ඉටු කරන්න සමත් ද යන්න සැලකිය යුතු පිරිසකට වැටහී ගොස් තිබෙනවා. පලමු වරට නිර්බාධිත ව බොහෝ දෙනාගේ හඬ ඇහෙන්න පටන් අරන්. පුවත්පත්, ප්‍රධාන ධාරාවේ වෙනත් ජනමාධ්‍ය ආදියෙහි පෙරහන්කඩින්, කතුරු පහරින් මිදී නිදහස් ප්‍රකාශන අවකාශයකට අවතීර්න වෙන්න අද දොරටු විවර වෙලා. වෙනත් ඕනෑ ම මාධ්‍යයක් වගේ ම බ්ලොග්වලටත් එයට ම ආවේනික පරස්පරතා සහ ඌනතා නැත්තෙ නැහැ. ඒවා ගැන මෙයට ප්‍රථම අපි සාකච්ඡා කලා. නමුත් බ්ලොග් අවකාශය නිසා මෙයාකාරයෙන් “අදහස් නිදහස් වීම” ගැන මාරක බියට පත් පිරිසක් ද සිටින බව දැන් හොඳින් ම පැහැදිලියි. එනිසා ම, තමතමන් කවර අදහස් දරන්නේ වී නමුත් “අදහස් දැරීමටත් පල කිරීමටත්” ඇති අයිතිය වෙනුවෙන්, වෙනත් වචනවලින් කියතොත් “අදහස් නිදහස් වීම” වෙනුවෙන් සියලු දෙනා පෙරට ආ යුතු තත්වයක් දැන් උදා වී ඇති බව කිව යුතුයි.


සුපුන් සුදාරකගේ ගැටලුව ගැන ලියූ සටහන
ශාන්ගේ ගැටලුව පිලිබඳ සටහන
Beyond Frames ලියූ සටහන