වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

Stop, Stare, Flirt : නවතින්න, බැල්ම හෙලන්න, කොමල පාන්න!

| Comments

Stop, Stare, Flirt! මගේ යාහූ ඊමේල් ගිනුම මේ දවස්වල මට දෙන උපදෙස තමයි මේ.


ස්පෑම් සහ ග්‍රැෆිටි ගැන කලින් ලියපු සටහනත් සිහි කරගෙන මේ හදන්නෙ ඒ කතාබහ තව තැනකට අරන් යන්න. සමහර විට කිසිම තැනකට නොයන්නත් පුලුවනි. යන අතක යද්දෙන්. කුරුටුබලි (ග්‍රැෆිටි) සහ “ස්පෑම්” සම්බන්ධයෙන් තියෙන නිර්නායක පරමයක් නෙවෙයි. ටිකක් අතිපන්ඩිත පාරිභාශික පදයක් යොදාගෙන කිව්වොත් මේවා වර්තමාන ධනේශ්වර ආර්ථික ක්‍රමය හා දේපොල ක්‍රමය සමග සමීප ව ගැටගැහිලා තියෙන නිර්නායක. කවදත් මොන නිර්නායකයත් අවසාන විග්‍රහයේ දී අදාල යුගයේ නිශ්පාදන ව්‍යුහයට ගැටගැහිලා තියෙන බව ඇත්ත. ඒ වුනත් මේ බලන්න. යාහූ සමාගම මගේ යාලු මිත්‍රාදීන්ගේ ඊමේල් spam හැටියට පෙරා හරින අතර සිය අනුග්‍රාහකයාට අවශ්‍ය පරිදි කොමල පාන්න (flirt) කියල මට ආරාධනා කරන්න ඉදිරිපත් වෙනවා. ඒකෙන් නිදහස් වෙන්න නං එක්කෝ මම මේ කොමල පෑමේ යෝජනාව පිලිගන්න ඕන. නැත්නම් ඩොලර් 19.99 ක් ගෙවලා pro ගිනුමක් ගන්න ඕන වෙලඳ දැන්වීම හැලෙන්න. මේක අදාල ඊමේල් ගිනුමේ Terms of service වලට අනුකූලයි කියල කෙනෙකුට තර්ක කරන්න පුලුවනි. දැන් Facebook අඩෙවියේ දී අපට හමු වන ස්පෑම් (අහ්, සමාවෙන්න වෙලඳ දැන්වීම්) ගැනත් මේ වගේ දෙයක් කියන්න පුලුවනි. මට මගේ යාලු මිත්‍රාදීන් සියයකට හමාරකට රිසි පරිදි මගේ සමූහ පනිවිඩ යවන්න බැරි වුනාට Facebook අනුග්‍රාහකයන්ගේ දැන්වීම්වලින් මගේ මූනට දමාගහන්න Facebook අඩෙවියට “අයිතිය” තියෙනවා. ඒ අයිතිය පරිශීලකයන් විදිහට අපි ඔවුන්ට “පැවරූ” සහ “එකඟ වූ” දෙයක්. අපට එවන්න ඕන මොන විදිහේ දැන්වීම් ද කියලා තීන්දු කිරීම සඳහා අපි අදාල වෙබ් අවකාශය තුල කරන කියන දේට ඇහැගහගෙන, ඇහුම්කන් දීගෙන ඉඳීමේ “අයිතියත්” අදාල සමාගමට තියෙනවා. ඇයි ජීමේල් ඇතුලෙත් තියෙනව ඔහොම හුටපටයක්. නමුත් අපි කවුරුත් මේවා සාමාන්‍ය දේවල් හැටියට පිලිඅරන් ඉන්න නිසා “ගැටලුවක්” නෑ.

ග්‍රැෆිටි කලාකරුවන්ට පොදු මහජන අවකාශ යොදාගෙන චිත්‍ර අඳින්න කුරුටු ලියන්න තහනම් වුනාට අතිදැවැන්ත මුදල් සම්භාරයක් වියදම් කරල කටවුට්, නියෝන් බුබුලු, පුලුල් තිර වීඩියෝ දැන්වීම් ආදිය මහාජන අවකාශ මැද ස්ථාපනය කරන්න ඇති හැකි අයට “නිදහස” තියෙනවා. අද කොලඹ වගේ නගරයක වුනත් මේක හොඳාකාරව දැකගන්න පුලුවන්. විශ්ව විද්‍යාල ශිශ්‍යයෝ පාරට බැහැලා “— ඇමති පෙල පොතටත් රෙයි!” කියල තාප්පෙ ලියනව. මේවා ලියනව පොලිසියට අහු වුනොත් අතපය කුඩු කරල තමයි නවතින්නෙ. හැබැයි ඒ තාප්පෙ අසලින් ම “හැඟීමට වහල් වෙන්න” කියල මාධ්‍ය ආයතනයක “යෝජනාවක්” සවි කරල තියෙනව. ඇයි “එතුමා” පෙනී ඉන්න කටවුට් ම කීයක් නං තියෙනවද? වතාවක් මගේ මිත්‍රයෙක් පොලිසියේත් අනෙකුත් බලධාරීන්ගේත් අවසර සහිතව කැන්වස් ආදිය අරන් ගිහින් කොටුව දුම්රිය ස්ථානය අබියස චිත්‍ර ඇඳීමේ ඉසවුවක් පැවැත්තුවා. ඒක ඉවර වෙනතුරු ඉස්පාසුවක් ලැබුනෙ නෑ, හමුදාවෙන් ඇවිත් එක එක ප්‍රශ්න අහනව. නමුත් රූපවාහිනී නාලිකාවල, එහෙමත් නැත්නම් ජංගම දුරකථන සමාගම්වල ජංගම කුටි, වේදිකා ආදිය ඔය පරිශ්‍රය තුල මුදල් ගෙවා පවත්වාගෙන යන්න ඉඩ තියෙනවා. වැඩටපොලට-ගෙදරදොරට යන එන මගීන්ගේ මූනට ම ධජ පතාක අල්ලලා අලුත් ම “සිම්පල් පැකේජ” අඳුන්වා දෙන්න පුලුවනි “මහජන අවකාශය” සඳහා සල්ලි ගෙවනව නම්. ගෙදර යන අයට චිත්‍ර ඇඳ ඇඳ පෙන්නන එක අභූතරූපී වුනාට වෙලඳාමේ ඇති අභූතයක් නැහැ.

අපේ ජංගම දුරකතනවලට එන ස්පෑම් විශේශයක් තියෙනව, ඒ තමයි යුද හමුදා ස්පෑම්. හමුදාවට බඳවා ගැනීම ආදිය ගැන තොරතුරු තමයි ලැබෙන්නෙ. මම එහෙම දෙයක් එවන්න කියල ඉල්ලා හිටියෙත් නෑ ඒවා ලබන්න එකඟ වුනෙත් නෑ. ඒත් ඒවා ලැබෙනව.


ඉතින් ඉරිදා පත්තර ටික බලන්න ගත්තම අලුත් ක්‍රමයක වැඩක් ඇහැ ගැහුන. කවි පිටුවක් මැද්දෙන් - කවි අතරින් වීර ප්‍රතිමාවක් වගේ නැඟී හිටින ලාල් වීරසිංහ “නමින් ම ඉල්ලන්න” කියල මතක් කරනව : “දිවි ඔරුව පෙරලුන” එක ගැනයි “හැලමඩ ගම් දිනිතිය” ගැනයි කාව්‍යමය පරිකල්පන රූප භුක්ති විඳින අතර කෙස් කලු කරගැනීම ගැනත් අපට හිතන්න ලැබෙනව. හරියට ක්‍රිකට් තරගය මැද තිරය හරහා දුවන දැන්වීම් වගේ. මම නං මේ විදිහට කවි කියෙව්වමයි.


.