වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

ජන කලාවක් හැටියට "ස්පෑම්", කුටුරු බලි සහ වෙනත් පොඩි පොඩි කතා ටිකක්.

| Comments

පසුගිය සතියේ නැවතත් ස්පෑම් පිලිබඳ කතාබහක් ඇවිල ගියා. ග්‍රාහකයාගේ ඉල්ලීමෙන් හා අවසරයෙන් තොරව එවනු ලබන සමූහ ඊමේල් සහ වානිජ ඊමේල් තමයි ස්පෑම් හැටියට නිර්වචනය කෙරෙන්නෙ . ඉතින් ස්පෑම් කියන්නෙ ඇත්තටම මහ හිසරදයක් විය හැකි දෙයක් තමයි. අර සුපිරි තරුව බවට පත් වුනු දුශ්‍යන්ත් වීරමන්ගේ සිට විවධ අවයවවල විශාලත්වය වැඩිදියුනු කිරීමට පොරොන්දු වෙන වෙලෙන්දන් දක්වා බොහෝ අය ස්පෑම් එව්වත් නිතර ම සිංහල බ්ලොග් අවකාශය තුල මේ විවාදය උද්ගත වුනේ බූන්දි විද්‍යුත් ලිපිය ගැනයි. බූන්දි සම්පාදකවරුන් කලේ විවිධ ආකාරවලින් ලබාගත් ඊමේල් ලිපින විශාල සංඛ්‍යාවකට සිය වෙබ් සඟරාව යැවීම. එය සමන්විත වුනේ බොහෝ සෙයින් ම සාහිත්‍ය කලා ආදියෙන් සහ සමාජ දේශපාලන කරුනු කාරනා රැගත් ලිපිවලින්. විරෝධය එල්ල වෙන්න ප්‍රධාන වසයෙන් ම බලපා තිබුනෙ බූන්දියේ අන්තර්ගතය සහ දේශපාලන ස්වරය බව මට පැහැදිලිව පෙනුනා. වෙනත් විවිධ කාරනා ගැන දහසකුත් එකක් ස්පෑම් ඊමේල් ලබන සහ ඇතැම් විට ඒවා වෙනත් අයට හරවා යැවීම ද (forwarding) කරන අය වුනත් මේ ලිපියේ අන්තර්ගතය නිසා ම කෝපයට පත් වුනා. ඒ විතරක් නෙමෙයි ඒ ගැන ලිපි ලියන්න සහ ප්‍රසිද්ධියේ විවේචනය කරන්නත් සිය වටිනා කාලය කැප කලා :-) මා සමග පුද්ගලිකව මේ ගැන කතා බහ කල ඇතැම් අයගේ දුක්ගැනවිල්ලක් වුනේ “මේ කවි, කතා වගේ වැඩකට නැති ඒව එවනව, ඒ මදිවට බලෙන්” කියලයි. හැබැයි මට ස්පෑම් පිලිබඳ ප්‍රශ්නෙ වගේ ඒ කාරනේ නම් ඒ විදිහට දැනුනෙ නෑ. මොකද මට ලැබුනු ඊමේල් අතර වඩාත් ම ප්‍රයෝජනවත් හා සිත් පුබුදුවන දෙයක් හැටියට හැඟී ගිය එකක් තමයි බූන්දි සඟරාව. කවියක් කතාවක් කියවන්න ලැබෙන එක මට නම් එහෙම වදයක් නෙමෙයි. ප්‍රීතියක්. නමුත් විවිධ අයගේ රුචිකත්වය විවිධ බව මම පිලිගන්නවා. ඒ නිසා විවිධ අයට කේන්ති යන්නෙ විවිධ වර්ගවල “ස්පෑම්”වලට බවට අපට සම්මුතියකට එන්න පුලුවනි ;-)

“ඊ” මේලයෙන් “විදින” බූන්දි සඟරාව
බ්ලොග් අඩෙවිය | වෙබ් අඩෙවිය

දැන්, අතුරු කතාවක්: මේ බ්ලොග් අඩෙවිය සමන්විත වෙන්නෙ එහි කතුවරුන්ට ලැබෙන ස්පෑම් සිරස්තලවලින් :) ඔවුන් ඒවායේ තිබෙන අභූත සහ හාස්‍යමය පැති රසවිඳිනවා. Spam As Folk Art තමයි අඩෙවියේ නම. ජනකලා හැටියට ස්පෑම්! දෘශ්ටි කෝනය මඳක් එහා මෙහා කරගත් විට මහා ලෝක පරිමාන හිසරදයක් සම්බන්ධයෙන් වුනත් සිනහවක් පහල කරගන්න පුලුවනි.

මේ බූන්දි ඊමේලය ගැන කතා කරන හැම වෙලාවෙම මට සිහි වෙන්නෙ සමකාලීන Graffiti, එහෙම නැත්නම් කුරුටුබලි වසයෙන් හඳුන්වන්න පුලුවන් “කලා විශේශය” ගැන. පොදු දේපොල මත ගොඩනැගිලි මත ප්‍රසිද්ධ අවකාශ තුල (අනවසරයෙන්) නිර්මානය කෙරෙන සිතුවම්, නැත්නම් ලිවීම් - කුරුටුගෑම්. ඇතැම් විට ලිවීමත් ඇඳීමත් දෙක ම. බොහෝ විට මේවා නිර්මානය කරන කලාකරුවන් දිගටම ඉන්නේ නිර්නාමික ව හෝ ආරූඪනාමික ව. එක් පැත්තකින් ඔවුන් කරන කටයුත්ත මහජන දේපොල අපයෝජනයක් හැටියට අර්ථ දැක්වීමේ හැකියාව තියෙනවා. ඇතැම් අවස්ථාවල එනිසා ඔවුන්ව සිරභාරයටත් ගැනෙනවා. අපරාධකරුවන් හැටියට. ඇතැම් නගරවල ග්‍රැෆිටි විරෝධී සංගම් - සංසද පවා පිහිටුවාගෙන. ඒ සියල්ල තිබිය දීත් ග්‍රැෆිටි නිර්මානය වෙනවා. හදිසියේ ම මහජන අවකාශ අරා පහල වෙමින් සිතීමට, දේශපාලනයට, වින්දනයට හා සංවාදයට මැදිහත් වෙනවා. එහි තිබෙන ප්‍රහාරාත්මක බව වගේ ම ක්‍රම විරෝධී ස්වරූපය නිසා එම බලපෑම තදින් දැනෙන අවස්ථා බොහොමයි. “අනවසරයෙන් නිර්මානය කිරීම” කියන හැඳින්වීම එන්නෙ ඇත්තෙන් ම දේපොල හා මහජන අවකාශ පිලිබඳ දැන් පවත්නා සම්මුතීන් අනුව. සම්මුතීන් වනාහි ඓතිහාසික ප්‍රපංච. කලින් කලට වෙනස් ස්වරූප ගන්නා දේ. දුරාතීතයේ සීගිරි කුරුටු ගී ලියපු යුගවල, එය, එවැනි අනවසර, ක්‍රම විරෝධී කටයුත්තක් හැටියට දකින්න නැතුව ඇති.


අපරාධයක් ද? කලාවක් ද? සේයාරුව Hello Reach වෙතින්

ග්‍රැෆිටි සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය හා ආකල්පය මොකද්ද කියන ප්‍රශ්නෙ කාලාන්තරයක් තිස්සෙ විවිධ තලයන්හි සාකච්ඡාවට භාජනය වෙනවා. එය හුදු අපරාධයක් ද? කලාවක් ද? ආදී වසයෙන්. කාලයත් සමග මේ ග්‍රැෆිටි නිර්මානකරනය “ප්‍රධාන ධාරාව” තුලත් නියෝජනය වෙන්න පටන් ගන්නවා. ඇතැම් නගර, රාජ්‍ය හෝ නගරසභා අනුග්‍රහය සහිත ව ග්‍රැෆිටි ඇඳීමේ උත්සව සංවිධානය කරනු දැන් දකින්න පුලුවනි. තවත් විටක කලා කෞතුකාගාර මෙවැනි නිර්මානවලට නිල ඉඩකඩ ලබා දෙනු දැන් දැන් සුලභ ව පේනවා. හ්ම්… ඉඩක් ලදොත් මේ ගැන වැඩිදුර කතා කරමු.

මෙන්න ග්‍රැෆිටි නරඹන්න වැඩිදුර කියවන්න හොඳ තැන් කීපයක්
HELLOREACH
Art Crimes
Graffiti Research Lab

ග්‍රැෆිටි ගැන විකිපීඩියා ලිපිය