වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

මේ බ්ලොග් එකට අවුරුද්දයි - සිංහල බ්ලොග්කරනයේ ඇති "මහ ලොකු" වැදගත්කම කුමක් ද? 19 වැනි සියවසට කාල සංචාරයක්.... (1)

| Comments

ඔව්, 22 වැනිදාට අවුරුද්දයි. හරිම විචිත්‍ර අත්දැකීමක් වුනා ඒ අවුරුද්ද. මම ආරම්භයේ දී අදහස් කලේ පලමු සංවත්සරය එලඹෙද්දී මේ බ්ලොග් අඩෙවියේ කටයුතු හමාර කරන්න. මෙය ලිවීම ආරම්භ කල අරමුන නම් ඉටු වී හමාරයි :-) නමුත් වෙනත් බොහෝ වැඩකටයුතු වගාදිගා වී තිබෙනවා. ඉතින් දැන් ම නවත්වන්න හැකියාවක් නැහැ. ජීවිතය යනු ඔබ සැලසුම් හදමින් ඉන්නා අතර හටගන්නා වෙනත් දෑ ය යන කියමන කොපමන සත්‍යයක් ද?

වෙබ් ආලෝචනාව නිසා අඳුනාගන්න ලැබුනු, එක්ව පොදු කටයුතු දියත් කරන්න ලැබුනු විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේ ම මෙය කියවූ ප්‍රතිචාර දැක්වූ සියලු දෙනා තව තවත් මෙහි නිරත වීමට ධෛර්යයක් වුනා. මේ අඩෙවිය ඇරඹීමට බොහෝ කලකට පෙර මට සිංහල යුනිකේත හඳුන්වා දී එයින් ලිවීමෙන් ලැබෙන මහත්පල මහානිසංස ඒත්තුගන්වා “අ” යන්නේ සිට ස්ථාපන උපදෙස් ඇතුළු බොහෝ උදව් ලබා දුන්නේ drac සහ justmal. පරිගනක ක්ශේත්‍රයට සම්පූර්න ආගන්තුකයකු වන මට ඔවුන්ගේ උදවු නොතිබුනා නම් සිංහලෙන් අන්තර්ජාලයට ලියන්න සහ යුනිකේත පරිහරනය කරන්න තව බොහෝ කාලයක් ගත වෙන්න තිබුනා. ඒ දෙන්නාට ම ස්තුතියි. ඒ වගේ ම ඊටත් පෙර සිංහලෙන් බ්ලොග් ලිවීම සඳහා ම පැරනි පන්නයේ අක්ශරයක් නිපදවමින් අප කිහිප දෙනෙකුට ස්වභාශාවෙන් බ්ලොග් ලියන්න මග පෑදූ, සිංහල නොකියෙව්වත් විටින් විට අමුතු පන්නයේ ප්‍රශ්න අසමින් වෙබ් ආලෝචනාව ගැන උද්යෝගය පල කල ඉන්ද්‍රජිත් සමරවීරටත්, මුලින් ම අප සියලු දෙනාට පූර්වාදර්ශයක් සපයමින් සිංහල පාඨකයින් නැති වියලි කර්කශ කාලයක පවා එක දිගට සිංහල යුනිකෝඩ් භාවිතයෙන් බ්ලොග් අඩෙවියක් පවත්වාගෙන යමින් ක්‍රියාවෙන් මග පෙන්වූ මලින්තටත් ස්තුතියි. එපමනක් නෙමෙයි, සිංහල බ්ලොගවකාශයේ ගැවසුනු මෙකී නොකී සියලු දෙනාගේ ඇසුරින් බොහෝ දේ ඉගෙනගන්නත් අලුත් වෙන්නත් මට භාග්‍යය උදා වුනා.

පසුගිය අවුරුද්දේ වෙබ් ආලෝචනා සම්පූර්න ලිපි ගොනුව සඳහා මේ පිටුව බලන්න.

අවුරුද්ද පිරෙන අවස්ථාවේ ප්‍රයෝජනවත් යමක් ලිවීම අවශ්‍ය යි.

ඇතැම් අය සිංහල බ්ලොග් පිලිබඳව අහන වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන සාකච්ඡා කරන්න මම අද කැමතියි. ප්‍රශ්නය තමයි ඇයි බ්ලොග් ගැන මේ තරම් ‘සීරියස්’? ඒ මදිවාට සිංහලෙන්?

පිලිතුර කොටස් කීපයකින් යුක්ත යි. එයින් පලමු කොටස මෙතන ලියන්නම්. ඉතිරිය බ්ලොග් මැරතන් පූර්විකා මාලාවේ කොටස් හැටියට ඉංගිරිසි සිංහල දෙකෙන් ම වරින් වර ලියැවේවි. පහත දැක්වෙන අදහස් කීපය ගොනු කිරීම අරඹා දැන් සෑහෙන කලක් වුනත් රිසි පරිදි සංස්කරනය කොට ඔප දමාගන්න බැරි වුනා කාර්ය බහුලකම නිසා. අපිලිවෙල ගතියක් දැනුනොත් සමාවෙන්න. ඒ වගේ ම මේ ලියන්නේ සිංහල භාශාව හා ලංකාව ගැන. මේ ලිපි තුල අවිශේශයෙන් (සාමාන්‍ය පදයක් හැටියට) පුවත්පත්, සාහිත්‍යය, මුද්‍රනය, සඟරා ආදී පද යෙදෙන්නේ සිංහල භාශාවට හා මෙරට සන්දර්භයට අදාල ව බව කාරුනික ව සලකන්න. ඉංගිරිසියෙන් විතරක් හිතන ඒකභාශිකයින් සහ “සිංහල කියවීමට වේලාවක් නැති අය” නිකරුනේ කුලප්පු නොවුනොත් හොඳයි.

සිංහල භාශාවේ පරිනාමය, ඉතිහාසය හා අනාගත හැඩගැසීම් පිලිබඳ සිතීමේ නිමග්න වීමේ දී අපට එක්තරා අත්තනෝමතික නොවන සැසඳීමක් කරන්න පුලුවන් අවස්ථාවක් හමු වෙනවා අතීතයෙන්. මම ඒ අතීත අවස්ථාව සන්සන්දනය කරන්නේ බ්ලොග් අවකාශය හා අන්තර්ජාල ලේඛනයේ වර්තමාන තත්වය සමගයි.

දහ නව වැනි සියවසේ සිංහල පුවත්පත් හා සඟරා මුද්‍රනය වීම ආරම්භ වුනු අවධියට අපි මඳකට ආපසු යමු. අඩසියවසක පමන කාලයක් තිස්සේ විවිධ හැල හැප්පීම්වලට ගොදුරු වෙමින් ඉහල පහල යමින් වර්ධනය වුනු මේ පුවත්පත් සඟරා ආශ්‍රිත ලේඛනය නිසා තමයි පසුකාලීන ව පෙරට ආ සිංහල නවකතාව, කෙටිකතාව ඇතුලු සාහිත්‍යාංග සඳහා සේ ම අනෙකුත් විවිධාකාර සන්නිවේදන අවශ්‍යතා සඳහා ද සුඛනම්‍ය සිංහල භාශාවක් වර්ධනය වුනේ. එම තීරනාත්මක අවධිය ප්‍රධාන වසයෙන් අංශ දෙකකින් සමන්විත වුනා. භාශාව පිලිබඳ පෙරමුනු දෙකක්. වැඩ බිම් දෙකක්.

1) පුරාන ප්‍රකාශන මාධ්‍යයන් හි එනම් පුස්කොල පොත් හා ජනශ්‍රැතියේ පිහිටෙන් ඒ දක්වා පැවත ආ සාහිත්‍යික අන්තර්ගතය(content) හා දැනුම අලුත හඳුන්වා දුන් මුද්‍රිත මාධ්‍යයට පෙරලී, සංස්කරනය වී ප්‍රකාශයට පත් වීම.

2) නවතම පන්නයේ ප්‍රකාශන මාධ්‍ය එනම් පුවත්පත් සඟරා ද වෙනත් වාද විවාද සංග්‍රහ කෙරුනු ප්‍රකාශන ආදිය පැන නැඟීම.

එලඹෙන 20 වැනි සියවසේ බුද්ධිමය - සංස්කෘතික ජීවිතය සපුරා ම අරක් ගැනීමට නියමිත ව තිබූ, බුද්ධිමය ජීවිතයේ ප්‍රධාන වැඩ බිම වූ මුද්‍රිත මාධ්‍ය සඳහා අවශ්‍ය පදනම සම්පාදනය කරනු ලැබුවේ මූලික වසයෙන් ම ඉහත අංශ දෙකෙහි නිරත වූ පුරෝගාමීන් විසිනුයි. ඔවුන් සියලු දෙනාම පාහේ පැවත ආවේ ඊට පෙර සියවසේ වැලිවිට සරනංකර හිමිපානන්ගේ පුරෝගාමීත්වයෙන් ඇවිල ගිය ශාස්ත්‍රීය ව්‍යාපාරයේ ශිශ්‍ය පුරුක් හැටියට යි. බටුවන්තුඩාවේ දේවරක්ශිත, හික්කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලානේ ධර්මාලෝක, ධර්මකීර්ති ශ්‍රී ධර්මාරාම ආදී ගිහි පැවිදි පඬිවරුන් පරම්පරා කිහිපයකගේ උර මතින් චිරන්තන සිංහල සාහිත්‍යය මුද්‍රිත මාධ්‍ය කරා ප්‍රවිශ්ට වීම ආරම්භ වුනා.

මේ අතර, පුවත්පත් සඟරා හා ඒ ඔස්සේ හටගත් වාද විවාද බස හැඩගැස්වීමෙහි ලා අතිවිශේශ කාර්යභාරයක් ඉටු කලා. මාර්ටින් වික්‍රමසිංහ ලිවීමට හිඳගන්නා මොහොතේ භාශාව අහසින් කඩා වැටුනා නෙමෙයි. එදිරිවීර සරච්චන්ද්‍ර, මේ පූර්වගාමීන්ගේ කටයුතු මෙසේ තක්සේරු කරනවා -

“භාෂාව, ශාස්ත්‍රය හා ආගම අරබයා නොයෙක් සැක කටයුතු තැන් හෙළි කිරීම ද මේවා පිළිබඳ ව ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීම ද යට කියන ලද ප්‍රබෝධයේ එක්තරා ලකුණක් විය. මේ වාද විවාද බොහෝ විට ගැන නැඟුණේ නිසරු ප්‍රශ්නවලිනි. එයින් සාහිත්‍යය පෝෂණය වූවා ය යි කිව නොහැකි ය. අර්ධ ශතවර්ෂයක පමණ කාලයක් තුළ කෙරුණු මේ වාදවල ප්‍රධාන ප්‍රතිඵලය වූයේ, සිංහල භාෂාව, 20 වන ශත වර්ෂයේ ප්‍රාදුර්භූත වූ ලේඛකයන්ගේ කාර්යයට සුදුසු වූ සුඛනම්‍ය සරල උපකරණයක් වීම ය.”

(සරච්චන්ද්‍ර 1997, 10 පිටුව)

තවදුරටත් සරච්චන්ද්‍ර මහතාට සවන් දෙමු

“මේ සමයෙහි ඇති වූ වාද විවාද, සාහිත්‍යික වාද, ආගම් වාද හා කුල වාද වශයෙන් කොටස් තුනකට බෙදිය හැකි ය. මෙයින් වැඩි සංඛ්‍යාවක් ආගමික වාද බව කිව යුතු ය. ඒ හුදෙක් බෞද්ධ නිකායන් අතර වූ වාද හා ක්‍රිස්තියානීන් අතර වූ වාද වශයෙන් දෙකොටසකට බෙදිය හැකි ය.

“සමහර වාද කෙරුණේ පද්‍ය මාර්ගයෙන් වුව ද, ඒවා සඳහා වහල් කොටගන්නා ලද්දේ කථා ව්‍යවහාරයෙහි වාංමාලාව හා භාෂා රීතියත් ය. එළු සිලෝ නමින් හැඳින්වෙන එළිසම රහිත වෘත්තය මේ සඳහා උපයෝගී කොට ගැනීම ද, කථා ව්‍යවහාර භාෂාව අනුගමනය කිරීමට බෙහෙවින් තුඩු දුන් කරුණකි. පහත සඳහන් වන, “සව් සත්දම් වාදයේ” ඇතැම් පාඨවලින් මේ බව පැහැදිලි වේ.

කාගේවත් වරදක් කියන්නට කමක් ඇත්තේ නැතැයි මා විසින්
පින්වත්වඋ මැතිඳුට මම් එම පවත් දන්වා එවුවා තමයි
ඒ ආකාර ලියා එවූ සඳ යළිත් මේ කව්හි යන්තම් නමුත්
ඇත්නම් යම්කිසි දෝෂයක් මෙහි කියා එව්වොත් හොඳයි කී නිසා

සසර සරණ සව්සත් දම් කිවූ තුන් ගෙණේහී
අගකුර නරකයි කිව්වා තමයි ඒ මිසක්වා
සඳ වියරණ ලක්නෙන් දොස් පෙනෙන්නේ නොමැත්මයි
මෙම පොත පද බැන්දා ඉතාමත් කදිමයි

“මෙහි වෘත්තය නොසලකා වචන පිළිවෙල ගද්‍ය රීතිය අනුව සකස් කළහොත් කථා ව්‍යවහාරයෙහි එන භාෂාවට එය කොපමණ ආසන්න ද කියා වැටහෙනු නිසැක ය. මේ භාෂාව, ව්‍යාකරණයෙන් හෙ රීතියෙන් පැරණි භාෂාවට වෙනස් බව පෙනේ. කථා ව්‍යවහාරයෙහි හැඩ ගැසුණු මේ බස පළමු වරට සාහිත්‍යික කටයුතුවල යෙදුණේ වාද සමයෙහි ය. 20 වන ශතවර්ෂයේ ලියූ නවකථාකාරයන්ගේ ප්‍රබන්ධවල ද ඇත්තේ කථා ව්‍යවහාරයෙන් මෙසේ සකස් වූ භාෂාව ය. එහි ව්‍යාකරණය හා රීතිය ද බොහෝ දුරට තහවුරු වූයේ වාද විවාද නිසා ය යි කීම අසාධාරණ නොවන බව මෙයින් පෙනේ.”

(සරච්චන්ද්‍ර 1997, 10-11 පිටු)

හොඳයි දැන් මේ කියන වැල්වටාරම්වලයි බ්ලොග්වලයි තියෙන සම්බන්ධය මොකක්ද?

මතු සම්බන්ධයි….