වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

මූර්ධජ ඉවරයි

| Comments

මේ බ්ලොග් අඩෙවියේ මින් පසු මූර්ධජ අක්ශර පල කරන්නේ නෑ. ප්‍රතිචාර ලියන අය ඒවා පාවිච්චි කලාට මගේ විරුද්ධත්වයක් නෑ. වෙනත් ලේඛකයින්ගෙන් උපුටාගන්නා විට‍ මම ඒ අයගේ අක්ශර වින්‍යාසයට ගරු කරනවා. ඒත් මම අනිත් සියලු දෙනාටත් යෝජනා කරන්නේ අන්තර්ජාලයේ ලිවීම් කටයුතුවල දී (සහ සෙසු සියලු අවස්ථාවල) මූර්ධජ අකුරු නමැති අනවශ්‍ය උරචක්‍රමාලයෙන් නිදහස් වෙන්න කියලයි.

මොනවද මේ මූර්ධජ අකුරු?

, ළ සහ ෂ

තවත් මූර්ධජ අකුරු තියෙනවා. ඒත් දෙක දෙක තියෙන අනවශ්‍ය අකුරු හැටියට තියෙන්නේ ඔය තුන තමයි.

මේවා උච්චාරනය කරන්න අමුතු ක්‍රමයක් තිබෙනවා ය යන පදනම මත යි මූර්ධජ කියන්නෙ. ඒ කියන්නෙ මුදුනින් ජනනය වූ අකුරු මූර්ධජ. තල්ලේ මුදුනේ තියෙන රලු කොටසේ දිව ස්පර්ශ වීමෙන් මේ අකුරු නිපදවෙනවා ය කියලා පිලිගැනීමක් තියෙනවා. (බලන්න මීට පෙර ලිපියේ එන රූප සටහන) ඇත්තටම සමහර භාශාවල නම් මෙයාකාර උච්චාරන වෙනස්කම් තියෙන එක ම අකුරු දෙක තුනක් තියෙනවා. නමුත් අද වෙද්දී සිංහල භාශාවේ නම් මේ අකුරු සහ දන්තජ - තාලුජ අකුරු අතර උච්චාරන වෙනසක් නෑ. (මම මේ කතා කරන්නෙ න-ණ, ල-ළ, සහ ශ-ෂ ගැන) මේ න ණ ල ළ භේද සඳහා කිසිදු ජීර්නය කරගත හැකි තාර්කික හේතුවක් නොපවතින බැවින් උපන් දා සිට වියරනය ඉගැන්නුවත් බොහෝ දෙනෙකුට මේක ඔලුවට වැටෙන්නෙත් නෑ. ඒ නිසා අන්තිමේ දී කලවමේ හැම තැනම මූර්ධජයි දන්තජයි ලියනවා ලෙවරක් නැතුව. ඊටපස්සේ වියාකරන පන්ඩිතයින්ට රැකියාවක් ලැබෙනවා අනුන්ගේ වියරන හා අක්ශර වින්‍යාස “වැරදි” අල්ලන්න. සමහරු පත්තරවල වෙනම කොලම් පවත්වාගෙන යනවා මේ අක්ශර වින්‍යාස සහ වියරන “වැරදි” කියන ඒවා අල්ලන්න. මොන විහිලුවක් ද? තවත් සමහරු හිතාගෙන ඉන්නෙ පොත්පත් විචාරය කිරීම යනු ඒවායේ වියරන වැරදිත් අක්ශර වැරදිත් ඇල්ලීම බව!


කිසිදු පිලිගත හැකි හේතුවකින් ‍තොර ව මේ අනවශ්‍ය අකුරු සිංහල භාශාවේ බලෙන් එල්ලාගෙන සිටීමේ තේරුමක් නෑ. ඒ නිසා‍ අද පටන් වෙබ් ආලෝචනා අඩෙවිය තුල මූර්ධජ අකුරු නෑ. ඒ වගේ ම මම කල්පනා කරනවා මගේ මේ කටයුත්ත අන්තර්ජාල ලේඛනයේ නිරත සෙසු අයටත් මූර්ධජ අකුරු අත්හැරීමට රුකුලක් වේවි කියලා.


මම විශ්වාස කරන විදිහට මේ ආකාර හැඩගැසීම් අන්තර්ජාල සිංහල ව්‍යවහාරයට පමනක් නෙමෙයි, සිංහල භාශාවේ අනාගතයට මත් අත්‍යවශ්‍ය යි. අනවශ්‍ය සංකීර්නතා ඉවත ලා කාටත් පහසුවෙන් ග්‍රහනය කරගන්න පුලුවන් තර්කානුකූල සරල වියරනයක් සහ අක්ශර වින්‍යාසයක් අනුයෑම තමයි අවශ්‍ය. අපිට මොකටද අනවශ්‍ය ණ යනු ළ යනු ෂ යනු?


මේ වෙනස සඳහා අදාල වන මූලධර්ම කීපය (අන්තර්ජාලය සඳහා සිංහල ප්‍රමිතිගත කිරීමේ දී දැනට සලකා බලා නැති එහෙත් අත්‍යවශ්‍ය ම වන මූලධර්ම කිහිපය) මෙසේ සටහන් කරමු. අනවශ්‍ය අක්ශර වින්‍යාස මෘදුකාංග ආදිය නිපදවන්න ගත කරන ශ්‍රමය වෙනත් පලදායී දෙයකට යෙදිය යුතුයි. පාරිභාශික පද මාලා, මෘදුකාංග හා වෙනත් අතුරු මුහුනත් පරිවර්තනය ආදී කටයුතුවල යෙදී සිටින අයත් මෙය බැරෑරුම් ව සැලකිල්ලට ගත යුතුයි. ඒ කටයුතු අනවශ්‍ය සංකීර්නතාවන්ගෙන් විමුක්ත කොට ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. මෙන්න මූලධර්ම දෙක:


( 1 ) සිංහල හෝඩියේ තිබෙන භාවිතා නොකරන අකුරු ඉවත් කල යුතුයි. හෝඩියට අරක් ගත් අත්තනෝමතික පන්ඩිතයින් එයට ඉඩ දුන්නත් නැතත් භාශාව භාවිතා කරන අය හැටියට අපි එවැනි අනවශ්‍ය අකුරු භාවිතය අත් හල යුතුයි.


මූර්ධජ අකුරු, බැඳි අකුරු ඉවත් කර පිලි සහ හල් අකුරු සමරූප කල යුතුයි. බැඳි අකුරුවල පරිනාමය සහ වර්තමානයට ඇති අදාල නොවන බව පිලිබඳ වැඩිදුර කියවීම සඳහා මේ ලිපියත් බලන්න


( 2 )වියරනය ජීවමාන බසේ (ඒ කියන්නේ කතා කරන භාශාවේ) වියරනය විය යුතුයි. අලුත් වියරන නීති රීති හදනවා නම් ඒවාත් උපුටාගත යුත්තේ කතා කරන බසේ රීතිය තුලින්.


එහෙම නොකලොත් සිංහල භාශාව අන්ර්ජාලයෙන් පමනක් නොව සමස්ත ව්‍යවහාරය තුලින් ම අතුගෑවී යාමට ඇති ඉඩ සුලුපටු නෙවෙයි.