වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

ගෝඨාරක්ෂක කලාපය (කෙටි කතාවක්)

| Comments

[පූර්ව නිවේදනය
මෙය ප්‍රබන්ධ කතාවකි. මෙහි දැක්වෙන සියලු සියලු ස්ථාන, නගර හා රාජ්‍ය නාම මනඃකල්පිතයි. වස්තු බීජයේ සියලු හිමිකම් කර්තෘ සතුයි. මෙවැනි දේ සිදු වන කිසිදු තැනක් කතුවරයාගේ අඥාන දේශද්‍රෝහී ඔලුගෙඩිය තුළ මිස මේ තුන් ලෝකය තුළ නැත.]

එක දවසක් හැන්දෑවක … අගනගරේ එක පාරක…
දැන් මගේ ගමන බස් එකේ. මොකද වැරදිලාවත් පුද්ගලික වාහනේක ගියොත් නම් නවත්තනවා බොරු. ඉස්සර කාලෙ රාජරාජ මහාමාත්‍යාදීන් කළා වගේ පුරවරුණ බලබල වටේට කැරකෙන්න තමයි වෙන්නෙ. ඒකත් අගේ ඇති වැඩක් - අනිත් අයගෙ වාහනවල නැගල ඉන්න වෙලාවට. වට පිට බලබල යන එක තමයි ඉතින් කරන්ඩ තියෙන්නෙ, අනිත් මිනිහ බැණ බැණ වාහනේ එළවන හැටිත් රස විඳ විඳ. අපටත් එතකොට රාජ ඌෂ්ණය පහළ වෙනවා. ඒත් ඉතින් බස් එකේ ගියාම අදාළ ගමන අන්තිමේ දී පයින් හරි යන්න ලැබෙනවා. ඔන්න මම කතාවෙන් පිට පැන්නා. මම ගියේ නාට්‍යයක් බලන්න. මම කෞතුකාගාරය ළඟ ග්ලාස් හවුස් හෝල්ට් එකෙන් බැස්සා. ලයනල් වෙන්ඩ්ට් එක දිහාවට පයින් ඇවිදගෙන යන්න වෙනවා, මොකද පාර වන් වේ නෙ. වන් වේ කියන එකෙත් මට දැනෙන විදිහට තියෙන්නෙ අභිමානවත් දෙයක්. හරියට අපේ ජාතික කෞතුකාගාරෙ වගේ. මේ පාරවල් වන් වේ බවට පත් කළ උතුමන්ට අපි පින් දිය යුතුයි, හැබෑ ශ්‍රී ලාංකීය අභිමානය කියන එක මේ වගේ පාරවල් දිගේ යද්දි මටත් දැනෙනවා. “පෙරටම යමු ලංකා” කියල සින්දුවකුත් තියෙනවනෙ. පාර පැනලා ඇතුළට හැරෙද්දී මගේ ජංගම දුරකතනෙට පණිවිඩයක් ආ බව දැනිලා බලද්දී තවත් බස්සෙකක උන්නු යාලුවෙක් මාව දැකලා පණිවිඩයක් එවලා. ඔන්න මිනිහවත් ගෙන්නගත්තනං තනියටත් එක්ක හොඳයි. ඉතින් මම එතන ම නැවතිලා උත්තරයක් බඳින්න හදනකොටම පැන්නෙ නැද්ද රණවිරුවෙක් කොහේද අකුලක ඉඳන්! ඇත්තට ම වික්‍රමාන්විත පැනීමක්! හරියට මනමෙ නැට්‍යයේ වැදි රජ වගේ පයකුත් පෙරට තිබ්බා.

“මේ මේ! මෙතන හිටගෙන ඉන්න එපා” ඔහු කඩිනමින් උපදෙස් දුන්නා. මම අන්දුන්කුන්දුන් වුණා. හිටගෙන ඉඳීමෙත් මොකක් හරි වරදක් ඇති බව මගේ යටි හිත කීවත් ඒ බව නොපෙන්නා මගේ මෝඩ කට ඉස්සර වුණා.
“ඒ මොකද?”
“මෙතන හිටගෙන ඉන්න එපා. ඔයා යන පැත්තට ඇවිදගෙන යන්ඩ.” තරමක් අවධාරණාත්මක හඬක්.
“මට මේ එස්. එම්. එස්. එකක් ආවා ඒකට උත්තර ලිය ලිය ඇවිදින්න බෑ නෙ. අනිත් එක මේ හැමදාම අපි යන පාරෙ හිටගෙන ඉන්න එපා කියන්නෙ කොහොමද?”
“ඒ වුණත් මේ‍ පාරේ හේතුවක් නැතුව නතර වෙලා ඉන්න දෙන්නෙ නෑ”
“ඉතින් මට හේතුවක් තියෙනවනෙ, අනික මේ එස් එම් එස් ඔබ ඔබ පාරෙ ඇවිදින්න ගිහිං මාව ඇ‍දගෙන වැටිල වාහනේකට වත් යට වුණොත්? මොබයිල් ෆෝන්ස් පාවිච්චි කරකර වාහන වුණත් එලවන්න තහනම් නෙ”
“ඒ වුණත් අර ගෙදර වී අයි පී කෙනෙක් ඉන්න තැනක්. මේ හරියෙ නැවතිලා ඉන්න බෑ. ඉක්මනට යන්න.” ඔහු පාර අද්දර පිහිටි ගෙයක් පෙන්නුවා.
“එහෙනං ඔබතුමා මාව අත් අඩංගුවට ගන්න. අත් අඩංගුවේ ඉන්න ගමන් මම එස් එම් එස් එක යවන්නං. එතකොට විශ්වාසයිනෙ මම මොකුත් අතුරු ආන්තරාවක් ඔයාගෙ වී අයි පී එක්කෙනාට කරන එකක් නෑ කියල”

ඒත් එක්ක ම ඔහුගේ මුහුණට සිනහවක් නැඟුණා. මටත් හිනා ගියා.

“අපි මොනව කරන්නද? අපිත් මේ කරන්නෙ රාජකාරියක් නෙ” ඒ මුහුණේ මිත්‍රශීලී සිහවත් එක්ක වෙහෙසක සේයාවක් ඇඳී තිබුණා.

කතාවෙන් කතාවෙන් මම එස් එම් එස් එක ඔබලා ඉවර කරගත්තා. මම හිතන්නෙ මේක එක්කෝ එස් එම් එස් වල වැරැද්දක් එහෙමත් නැත්නම් මිනිසාගේ සිටගෙන සිටීමේ හැකියාව නිසා ම උරුම වුණු මහ අප්සෙට් දෙයක්.

තව දවසක්
මම ආයෙත් පයින්. ලයනල් වෙන්ඩ්ට් පරිශ්‍රය අසල. හදිසියේ ම මා ඉදිරිපිටට පැන්න ආරක්ෂක භටයා ගෙන් නියෝගයක්.

“හෙල්ලෙන්න එපා!”
මට මරණ භය මඳ පමණ දැනී නොදැනී ගියා.

දැන් ඔහු මගේ දිහා බලාන තුවක්කුව (ඒකත් අමුතුම ගැජට් එකක්) පහතට අල්ලගෙන සීරුවෙන්! අන්දමන්ද වුණු මමත් මිලිමීටරයක් වත් හෙල්ලුණේ නෑ. තත්පර ගණනාවක් ගෙවීගියා අවුරුදු තරම් දිගට.

“හෙල්ලෙන්නැතුව ඉන්න” ඔහු ආයෙත් කීවෙ මට අමතක වෙයි කියල වෙන්න ඇති. මට අමතක නෑ. අපි කීකරු පුරවැසියොනෙ. මමත් දිගටම හෙල්ලෙන්නැතුව හිටියා. මම පාරට පිටුපා පදික වේදිකාව උඩ ඔහු දිහා බලාගෙන. ඔහු මා දිහා බලාගෙන. එක්තරා විදිහක ප්‍රේමාන්විත ඉරියව්වක්! මට ලැජ්ජ හිතිල එයාගෙ ඇස් දෙකෙන් අහකට, අතේ තිබුණු තුවක්තුව දිහාට මගේ ඇස් පාත් කළා. මොන විකාර හේතුවකට මන්ද මට එතකොට ම “අපි තුන් මුල්ලටම වෙලා ඉමු මුහුණට මුහුණ බලා” කියන සින්දුවත් මතක් උණා. ඒත් ඒකටත් තුන් දෙනෙක් ඉන්න එපැයි කියල ආයෙත් කල්පනාවට ආවා.

එතකොට ම පිඹගෙන ගිගුම් දීගෙන ආ වාහන පේළියක් මට පිටිපස්සෙන් අපිව පහු කරගෙන යන හඬ ඇහුණා. ඒ මොකද්ද කියල බලන්න හිතුණත්, මම ඇස් දෙක තුවක්කුවෙන් අහකට ගත්තෙ නෑ. මං හිතන්නෙ මගෙ හිත තුවක්කුවට ඇදිල ගිය නිසා වෙන්න ඇති. වාහනවල හඬ නෑසී ගියා.

“හරි දැන් යන්ඩ”

මට නිදහස ලැබුණා.

තවත් දවසක්
මගේ හිතවතෙක් චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්න තීරණය කළා. මොන තරම් මෝඩ වැඩක් ද? ඒත් අපි හැමෝ ම උදේ ඉඳන් උදව්වෙන්න කියල ගියා, ලයනල් වෙන්ඩ්ට් එකට. චිත්‍ර එල්ලන්නයි මූර්ති පිළිවෙල කරන්නයි, වැඩ කන්දරාවයි. හැමෝම ගජ රාමෙට වැඩ. ප්‍රදර්ශනේ පටන්ගන්න තව පැය කීපයක් තියෙනවා.

හදිසියේ ම අනාරාධිත අමුත්තන් විසි තිස් දෙනෙක් කලාගාරය තුළ “පහළ වුණා”. මම පහළ වුණාය කිව්වෙ ඒ උදවිය ඒ තරං වේගෙකින් කඩා පාත් වෙච්ච නිසයි. එනව දැක්කෙත් නෑ. එහෙ බලල මෙහෙ බලනකොට මෙන්න සෙනගක්. ඒත් එක්ක ම දඩෝං ගාලා ශාලාවෙ දොර වැහෙනවා ඇහුණා. එක පාරට අඳුරු ගතියක් දැනුණත් තත්පර කීපයකින් අපි අඩ අඳුරට හුරු වුණා. අපේ අමුත්තො ටික ඇත්තට ම අපිව බලන්න ආ බවක් දැනුණෙ නෑ. අනික ප්‍රදර්ශනය පටන්ගන්නෙත් හවසනෙ. ඒ වෙනුවට ඒ ඇත්තො හිටියෙ තරමක් තක්කුමුක්කු වෙලා. සමහරු වෙන ගමන් බිමන් යමින් හිටිය පෙනුමක් තමයි තිබුණෙ. වට පිට බලබල මොකද්ද මේ උණේ කියල තේරුංබේරුං කරගන්න වෑයං කරනකොට ම සයිරන් පිඹගෙන ගිඩි ගිඩි ගාගෙන එළියෙ වාහන පේළිය යන සද්දෙ ඇහුණ. මම නං දැං අද්දැකීමෙං දන්නවා මේ දෙවි දේවතාවුන්නාන්සේලා ගස්වලින් බහින වෙලාව විත්තිය.

“බය වෙන්න දෙයක් නෑ. මේ වෙලාවට මෙහෙම තමයි” මගෙ ළඟ උන්නු කාර්යාල ඇඳුමක් ඇඳගත්තු ගෑනු ළමයෙකුට මම පැහැදිලි කළා. මේ ළමයි අවේලාවෙ කොහෙ යනවද මන්ද, ඔෆිස් එකේ වැඩ නැතුව ඇති.

එතකොට ම දොරවල් ඇරුණා. ධර්ම රාජ්‍යය පිසගෙන ආ මඳ පවන් රැල්ලක් ශාලාව ඇතුළට හමා ආවා.

[පසු නිවේදනය
මෙය ප්‍රබන්ධ කතාවකි. මෙහි දැක්වෙන සියලු ස්ථාන, නගර හා රාජ්‍ය නාම මනඃකල්පිතයි. වස්තු බීජයේ සියලු හිමිකම් කර්තෘ සතුයි. මෙවැනි දේ සිදු වන කිසිදු තැනක් කතුවරයාගේ අඥාන දේශද්‍රෝහී ඔලුගෙඩිය තුළ මිස මේ තුන් ලෝකය තුළ නැත.]