වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

පුරුෂෝත්තමවාදී වාර්තාකරණය

| Comments



ඇත්තට ම මේ තරම් පාදඩ මට්ටමට ජනමාධ්‍යවලට පත් වෙන්න පුළුවන් ද? පුළුවන් බව තමයි ක්රියාවෙන් පෙන්නුම් කරන්නෙ. ස්ත්රී දූෂණයක්, ස්ත්රී අපයෝජනයක් සිදු වූ බොහෝ අවස්ථාවල ජනමාධ්‍ය ඒ සිද්ධිය වාර්තා කරන්නේ තවත් වරක් ඒ විපතට පත් වූ තැනැත්තිය දූෂණය කරමින් බවයි මගේ නම් අදහස. මේ තුට්ටු දෙකේ වාර්තාකරණයට නැතුවම බැරි වචන මාලාවකුත් තියෙනවා. සුරූපිනිය, සුරූපී කාන්තාව, සුරූපී තරුණිය … ඔය ආදී වශයෙන්. ඒ ගැටලුවට මැදි වූ තැනැත්තියගේ සකල සියලු අනන්‍යතාවන් වෙනුවට හුවා දක්වන්නේ ඇය සුරූපිනියක් වූ බවයි. තව පුළුවන් නම් අදාළ සිද්ධියත් පියවරෙන් පියවර සිදු වුණු අන්දම අතින් හදලා හරි ලියන්න පසුබට වෙන්නෙත් නැහැ. ඊට ම සරිලන පරිදි අදාළ තැනැත්තියගේ අඟපසඟත් කෙළ පෙර පෙර විස්තර කරනවා. පුළුවන් නම් කෙළින් ම ඇයගේ මුහුණේ ඡායාරූපයක් ම පළ කරලා “වාර්තාකරණය” කුළුගන්වනවා. මේවා කියවන එකත් මහ බඩ දඟලන වැඩක්.

දැන් ටික කලක පටන් විමල් වීරවංශගේ මාගම් සෝලිය ගැන ඉරුදින පත්තරේට ලියන උදවියත් අනුගමනය කරන්නෙ මේ චර්යාව මයි. හෙට(ඉරිදා) පත්තරේ මුල් පිටුවේ අදාළ ගැටලුවට මැදි වූ තැනැත්තිය මාධ්‍යවේදිනියක් වූ බව පවා නොතකා ඇයව පුන පුනා හඳුන්වන්නේ “සුරූපී තරුණිය” “සුරූපිනිය” කියලයි. පාඨකයා වෙනුවෙන් අසභ්‍ය චිත්රපටයක් අධ්‍යක්ෂණය කර දීම මේ ඊනියා මාධ්‍යවේදීන් භාරගෙන තියෙන බවකුයි පේන්නෙ. මෙතන ඒ ස්ත්රියට සිදුවූ අසාධාරණය වෙනුවෙන් ඒ පාර්ශ්වය ගැන ලේශමාත්ර වූ හෝ සහානුභූතික හැඟීමකින් කරන වාර්තාකරණයක් ඇත්තේ නෑ. ඔවුන්ගේ එක ම අරමුණ හැකි තාක් කුණු රසය අවුස්සා විමල් වීරවංශට පහර දීම සඳහා ඒ අපයෝජන සිද්ධිය යොදාගැනීම බවයි පේන්නේ. ‍ඒ වගේ ම පත්තරේ අලෙවියත් මේ වගේ කුණු කතා මත ම රඳා පවතින බව දන්නා නිසා ම දෝ ඔවුන් ඒවා පළ කරන්නෙත් “තව තියෙනවා හැබැයි ඒවා ලබන සතියේ” කියමින්! හැකිතාක් දීර්ඝ කාලයක් තිස්සේ මේ කතාව අද්දා, දිග්ගස්සා, උපරිම රසාස්වාදය ලබා දෙන බවට තමයි ඒ පොරොන්දුව. හරියට කොටස් වශයෙන් ටෙලි නාට්‍යයක් පෙන්නනවා වගේ. විමල් වීරවංශ කළ අපයෝජනවලට නොදෙවෙනි අපයෝජනයක් මේ “වාර්තාකරණයෙනුත්” සිද්ධ වෙන්නෙ නැද්ද?