වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

ජාතික සංස්කෘතික ප්‍රතිපත්ති කෙටුම්පත් යෝජනාව සහ සම්පාදකවරුන්ගේ ප්‍රතිචාර

| Comments

අලුතින් යෝජනා වෙමින් පවතින “ජාතික” සංස්කෘතික ප්‍රතිපත්තිය පිලිබඳ මීට පෙර සටහන පල කරන්න උත්තේජනය සැපයුනේ එම ප්‍රතිපත්ති කෙටුම්පත් යෝජනාව සකස් කල කමිටුවේ සාමාජිකයකු වන එම්. සෆීර් මහතා සමග ඊට සුලු මොහොතකට පෙර කෙරුනු දුරකථන සංවාදයකිනුයි. ඒ කතාබහ අහම්බයක්; සංස්කෘතික ප්‍රතිපත්ති පිලිබද අදහස් හුවමාරු කරගන්නා කරන අටියෙන් කෙරුනක් නෙමේ. නමුත් කතාබහ අතර ඔහු එම කෙටුම්පත් සම්පාදන ක්‍රියාවලිය “බොහොම හොඳින්” කෙරීගෙන යන බව සඳහන් නිසා මමත් ඒ කතාවට ප්‍රතිචාර දක්වන්න වුනා.

මේ කෙටුම්පත සමාජගත කරනවා කිව්වට ඒක කෙහේවත් හොයාගන්න නැත්තේ මොකද කියලා මම ඔහුගෙන් ඇහුවා. එවිට ඔහු කිව්වේ ලියවිල්ල ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා සිය Facebook පිටුවේ පල කර තිබෙන බව. ඒත් හාරා හොයාබැලුවත් එවැන්නක් එහි තිබුනේ නෑ. ඒ වෙනුවට තිබුනේ මාධ්‍ය නිවේදනයක්. අදාල ලියවිල්ල “ජනගත” කිරීමේ අවස්ථාව පිලිබඳ මාධ්‍ය නිවේදනයක්. ඒ වුනත් එම “ජනගත” කිරීම සිදු වෙන්නේ කවර ස්ථානයක, කවර වේලාවක දැයි එහි සඳහන් ව නෑ. ඊට පෙර දින දෙකක දී එකී “යෝජනා සහ නිර්දේශ” ඇතුලත් කෙටුම්පත ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඉදිරිපත් කල බව ද එහි සඳහන් වෙනවා. එමෙන් ම එම Facebook නිවේදනයට ප්‍රතිචාර දක්වමින් (comment කරමින්) සිය ඊමේල් ලිපිනය එහි සටහන් කරන අයට සුනිල් විජේසිරිවර්ධන මහතා එම ලේඛනයේ පිටපත් යවන්න ඉදිරිපත් ව සිටින බවත් පෙනී ගියා. ඊට අමතර ව අදාල “ජනගත” කිරීමේ දී ගනු ලැබූ ඡායාරූප කිහිපයක් ද – එම අවස්ථාවෙන් පසු පල කරුනු – තවත් Facebook සටහනක දකින්න ලැබුනා. ඒ Facebook පිටුවේ මීට අදාල ව මට දකින්න ලැබුනේ එපමනක් බව කියාසිටි විට අදාල කෙටුම්පතේ පිටපතක් ලැබෙන්න සලස්වන්න සෆීර් මහතා පොරොන්දු වුනා. මගේ සටහනේ ලියා තිබෙන අදහස් මම ඔහුටත් කිව්වා: “ඕනෑකමක් තියෙනවා නම් මේ වගේ ලියවිල්ලක් බාගන්න සලස්සන එක බොහෝම ලේසි වැඩක්. ඕක Word document එකක් හරි PDF එකක් හරි වෙන්න ඕන නේ. ඇයි ඒක සංසරනය කරන්න ඔච්චර අමාරු?”. ඔහු අදාල ලියවිල්ල සොයා මට ඊමේල් කරන අතර මා මේ සටහන ලියා පල කලා; එම සටහනේ අවසන් වැකිය හැර සෙසු කොටස මගේ Facebook පිටුවේත් පල කලේ මේ ලේඛනයේ සම්පාදකවරුන්ගෙන් ඇතැමෙක් (“එලිමහන්” අන්තර්ජාලයේ වෙනුවට) සිය Facebook ගිනුම් මගින් මේ සම්බන්ධ කරුනු කාරනා යම් මට්ටමකින් සන්නිවේදනය කරමින් සිටිනු දකින්න ලැබුනු නිසා. ඊයේ සුනිල් විජේසිරිවර්ධන මහතා මගේ අදහසට ප්‍රතිචාර දක්වා තිබුනා.

ඒත් මම Facebook සංවාදකරුවෙක් නොවන නිසා එලිමහන් අන්තර්ජාලය මට වඩා ප්‍රිය යි. ඒ විතරක් නෙමෙයි, බ්ලොග් අඩෙවියක පල වූ දෙයක්, හටගත් සංවාදයක් හෝ සාකච්ඡාවක් වඩා විධිමත් ව ගොනු වී තියෙනවා; පසු කාලයක පහසුවෙන් හොයාගන්නත් පුලුවන්. ඒ නිසා ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සිය Facebook බිත්තියේ ලියා තිබෙන ප්‍රතිචාරය මෙතැනත් උපුටා දක්වන්න කැමති යි:

“අපි කැමති වුනත් නැතත් රාජ්‍යය සහ එහි සංස්කෘතික ආයතන රටක කලාවේ පැවැත්මට බලපානවා. එතනින් යට, සමාජය කලාවට සම්බන්ධ වන ආකාරය තීරණය කරන සමාජ- සංස්කෘතික සාධක රාශියක් තියෙනවා. ඉතින් කල්පනා කරන මිනිස්සු එකතු වෙලා මේ ගැන සොයල තත්ත්වය දියුණු කරගන්න අවශ්‍ය නැද්ද?. රජය කළ යුතු දේ නොකොට නොකළ යුතු දේ කරන කොට එයට අන්ධව ඉන්න එකද හරි? ඔබේ සැකය සාධාරණ නමුත් මේ කාරණය කියන්න කැමතියි. මම මේ කෙටුම් පත් කමිටුවේ සාමාජිකයෙක්. නමුත් මේ කමිටුව ස්වෙච්චා කණ්ඩායමක්, ඒ නිසා අහවල් තැනින් කෙටුම් පත ගන්න කියල ආයතනයක් නම් කරන්න අපට බැහැ. මේ කෙටුම් පත අපි ප්‍රසිද්ධියේ ජනතාවට ඉදිරිපත් කලා පසුගිය 29දා කොළඹදී. එතනදී අපි විශේෂ email ලිපිනයක් සහ තව contacts ලබා දුන්නා මේක ගෙන්න ගන්න අවශ්‍ය කෙනෙකුට භාවිතා කරන්න. මේක රහසේ කරපු වැඩක් නෙමේ, මීට කළින් කලාකරුවන්ගේ ප්‍රසිද්ධ සභා ගණනාවක දි මේ ගැන කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඉදිරි මාස 06දි අපිම සංවිධානය කරන සාකච්චා සම්මන්ත්‍රණ ගණනාවක් තියමින් රට පුරා යන්න අපි බලාපොරොත්තු වෙනවා, මේ කෙටුම් පත සාකච්චා කරලා එය සංවර්ධනය කිරීමේ බලාපොරොත්තුවෙන්. ‘මම එතැන නැත්නම් ඒක වැරදියි’ කියල නොහිතන අය අපට ආරාධනා කරනවා සාකච්චා සඳහා ; කැලණිය විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය ඒ අතර. මීගමුවේ ජනාවබෝධ කේන්ද්‍රය ඇතුළු සමාජ සංස්කෘතික සංවිධාන කිහිපයක් එකතුවෙලා ජූනි 14දා සම්මන්ත්‍රණයක් පවත්වනවා.., ඉදිරියේ එවැනි සිදුවීම් බොහෝ වෙයි. මහාචාර්ය සුමනසිරි ලියනගේ ලියා තිබුණා මේක ආකර්ශනීය ආරම්භයක් ; ප්‍රතිපත්ති සම්පාදනය දේශපාලකයින්ගෙන් ජනතාව /සිවිල් පරදු දරන්නන් අතට ගැනීමේ අභියෝගය සම්බන්ධයෙන් හිතන විට – ඔහුත් ආර්ථික ප්‍රතිපත්ති ගැන සාකච්චා කෙටුම් පතක් සකස් කිරීම සඳහා උත්තේජනයක් ලැබුවා කියා. එහෙමත් මේ ගැන හිතන්න පුළුවන් – ඔබ හිතන විදිහට විරෝධය දක්වන්නත් පුළුවන්. මේක කෙටුම් පතක් පමණයි, අපේ උත්සාහය දකුණේ සහ උතුරේ හැකි තරම් විශාල පිරිසක් කරා මේ අදහස් මාලාව ගෙන ගොස්, තෙරපුමක් ප්‍රතිපත්ති තීරකයන් මත ඇතිකරන්න. නිසැකින්ම ඔබට ඉඩ තියෙනවා පැත්තක් තෝරා ගන්න. මේක පිටු 12-13 ක ලේඛණයක් ; උත්සාහ කරනවා එය පහසුවෙන් ගන්න ක්‍රමයක් සකස් කරන්න.”

“කලාව හා සංස්කෘතිය සඳහා වූ නව ජාතික ප්‍රතිපත්තියක් සදහා ධවල පත්‍රිකාව”

එම්. සෆීර් මහතාගෙන් ලැබුනු කෙටුම්පතින් PDF ගොනුවක් සකස් කොට මෙතැනින් බාගන්න සලස්වන්න මම කල්පනා කලා. සම්පාදකවරුන් එය හඳුන්වන්නේ “කලාව හා සංස්කෘතිය සඳහා වූ නව ජාතික ප්‍රතිපත්තියක් සදහා ධවල පත්‍රිකාව” යන නමින් (බාගැනීම සඳහා මෙතන ක්ලික් කරන්න) ඔවුන්ට අනුව මේ 2015 මැයි 08 වැනි දින සංස්කරනය.

අදාල කෙටුම්පත අධ්‍යයනය කර අදහස් දක්වන්න දැන් පෙරට වඩා වැඩි දෙනෙකුට ඉඩ ලැබේ ය කියලා මම හිතනවා. ඇත්තට ම මේ ලියවිල්ල සකස් කරපු පිරිස මැදිහත් වුනා නම් මීට වඩා එලිමහනට, වැඩි දෙනෙක් අතට ඒක යවන්න හැකියාව ලැබෙන්න තිබුනා. මේ අදහස් හුවමාරුවෙන් එවැන්නකට උත්තේජනයක් ලැබුනා නම් ඒක ගැන සතුටු යි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මම ලියූ අදහස් වඩා සමබර සන්දර්භයකට ගේන්න මේ සියල්ල පල කිරීමෙන් යම් තරමකට හැකි වුනා කියලත් මම කල්පනා කරනවා. යෝජිත ප්‍රතිපත්ති ලේඛනය ගැන වැඩිදුර අදහස් දක්වන්න නම් ඒක කියවන්න වෙනවා, අධ්‍යයනය කරන්න වෙනවා.

අදාල පැරනි සටහන්:
* අපි නොදන්න ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය – අංක 2
* අපි නොදන්න ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය

අපි නොදන්න ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය - අංක 2

| Comments

අලුතින් කෙටුම්පත් කරගෙන යනවාය කියන ඊනියා ජාතික සංස්කෘතික ප්‍රතිපත්ති පිලිබඳ ලේඛනය (ධවල පත්‍රිකාව/කෙටුම්පත/draft එක, “අරක”, “මේක”) සමාජගත කරලා සාකච්ඡාවට ලක් කරනව කිව්වට ඒක හොයාගත හැකි තැනක් තියෙනව ද? ඒක බාගත හැකි වෙබ් අඩෙවියක් තියෙනව ද? නැත්නම් ඒ පිලිබද සාකච්ඡාව විවෘත ඒක සකස් කරන උදවියගේ හිතමිත්‍රාදී කල්ලිවලට විතර ද? Word document එකක්, PDF ගොනුවක් බාගන්න සලස්සන්න (අවශ්‍ය නම්) අද මොන තරම් ක්‍රම තියෙනව ද?

ඉහලින් කඩාපාත් කරන “ජාතික” ප්‍රතිපත්තිවලට මම කිසිම සහයෝගයක් දෙන්නෙ නෑ. ඒ වෙනුවට පහලින් “පැල කරලා” හදාවඩාගත්තා වුනත්, “ජාතික” පිලිවෙත් කියන්නේ බොහෝම විසකුරු ආහාරයක් කියලයි මම නම් පුුද්ගලික ව විශ්වාස කරන්නේ. කලාකරුවන්, සංස්කෘතික ක්‍රියාධරයින් හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් රාජ්‍ය තන්ත්‍රය සමග විධිමත් ව සම්බන්ධ කර ගැටගහන, නියාමනය කරන “ජාතික” ප්‍රතිපත්තිවලට මගේ කිසිම මනාපයක් වත් එකඟතාවක් වත් නෑ. ඒත් අපට “ලබාදෙන්න” යන “ප්‍රතිපත්තිය” මොකද්ද කියල දැනගන්න මටත් (මට වගේ ම මේ රටේ සෙසු ජනතාවටත්) අයිතියක් තියෙනවා. මේ ලියවිල්ල සකස් කරපු උදවිය මම අඳුනන අය නිසා ඒ අයට පුද්ගලිකව කතා කරලා මට මේක “ඉල්ලගන්න” පුලුවන් ඇති. ඒක නියම ක්‍රමය. “අපේ” “සංස්කෘතියට” ඒක හොඳට ගැලපෙනව. නියම ජාතික ක්‍රමයක් ඒක.

ප.ලි:

මීට කලින් තිබුනු ආන්ඩුවත්, ඔවුන්ගේ ගෝලබාල-අනුගාමික-හෙංචයි සනුහරයත් සංස්කෘතික පිලිවෙත් හදා ක්‍රියාත්මක කල හැටි අපට හොඳට මතක යි.

මිලිටරි කලාව

| Comments

නෙළුම් පොකුණ අපට අභිමානයක්. එහි මිල අඩු කළොත් නූගතයි, උගතයි හැම කෙනාම ඇවිත් මේක විනාශ කරන්න පුළුවන්. රඟහලක කටයුතු ගැන අපි දැනගෙන ඉන්න ඕනෑ. අපි එයට යන්න පෙර පුහුණුවීම් කළ යුතුයි. රඟහලක හැසිරෙන ආකාරය, එහි මෙවලම් පාවිච්චි කරන ආකාරය අපි ඉගෙනගත යුතුයි. නැතුව ඒවාට බැණ වදින එක නොවෙයි කළ යුත්තේ. අද කලාකරුවන්ගේ විනයක් නෑ. තමන්ගේ වැඩේ කරගන්නවා විතරයි. අනෙක් අය ගැන බලන්නේ නෑ. ඒක විශාල අභාග්‍යයක්”

පසුගිය සිකුරාදා (2014 මැයි 2) ලංකාදීප පුවත්පතේ රසවින්දන අතිරේකයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පටාචාරා නෘත්‍ය නාට්‍යයේ අධ්‍යක්ශිකා ජානකී හිල් ගර්ජනා කර තිබුනේ එහෙම යි. ඇගේ කෘතිය දෙවැනි වතාවටත් නෙලුම් පොකුන (ආන්ඩුවේ වියාකරනයට අනුව නෙළුම් පොකුණ) මහින්ද රාජපක්ශ ජාතික රඟහලේ වේදිකාගත වීමේ මූල්‍ය ශක්තිය ලබලා. මංගල දැක්මට ගිය වියදම රුපියල් කෝටියක් ලු! ඉහත උපුටාගත් කතාවට ඉලක්ක වුනේ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල කර තිබූ ප්‍රකාශයක්. සංවාදය මෙහෙයවූ සමන්ත යහම්පත් ඇසූ ප්‍රශ්නය මෙහෙම යි: “වේදිකා නාට්‍යවලට නෙළුම් පොකුණ සුදුසු රඟහලක් නොවන බව පසුගියදා පරාක්‍රම නිරිඇල්ල නාට්‍යවේදියා සඳහන් කර තිබුණා, මේ පිළිබඳ ඔබ දරන මතය කුමක්ද?”

පරාක්‍රම නිරිඇල්ල මහතා මෙවැනි ගර්ජනාවක් අහගන්නා තැනට වැඩ සිද්ද කරගත් අන්දම ගැන වෙනම ලිපි පෙලක් ලියන්න වටිනවා. ජානකී හිල්ට අනුව පරාක්‍රම නිරිඇල්ල කියන්නෙත් තමුන්ගේ මට්ටමේ කෙනෙක් නෙමෙයි. මේ වගේ වැදගත් තැන්වලට යන විදිහ දන්නේ නැති නූගතෙක්.

මේ ආන්ඩුවේ සංස්කෘතික පිලිවෙතේ අතිශයින් ම තිරශ්චීන ප්‍රකාශන තව ම එලියට එන්න පටන්ගත්තා විතර යි. ස්ත්‍රීන්ගේ ගවුම්වල දිග ගැන නිර්දේශ සපයන්න මහාචාර්යවරයකුගෙන් යුත් ඒකපුද්ගල කමිටු පත් කරන විට, නාට්‍යවල දුම්බීමේ දර්ශන අල්ලන්න ලයනල් වෙන්ඩ්ට් රඟහලට පොලිසියෙන් පනින විට ගොඩක් අය හිතුවේ වෙන්න තියෙන නරක ම දේ වෙලා ඉවරයි කියලයි. ඒත් මට පේන විදිහට දේවල් වෙන්න පටන්ගත්තා විතර යි. මේ අමන සංස්කෘතික පිලිවෙත්වලට උපත සපයන දේශපාලන දෘශ්ටීන්ට අනුගත වුනු කලාකරුවන් ම තමුන්ගේ දේශපාලන හා මිලිටරි හාම්පුතුන් වෙනුවෙන් බුරන්න ඉදිරිපත් වීම ඇරඹූ විට තත්වය කෙතරම් ජුගුප්සාජනක ද යන්න දැන් පේන්න පටන්ගෙන තිබෙනවා. ඉස්සර මෙවැනි අය හිටියේ නාට්‍ය අනුමන්ඩලය, සාහිත්‍ය අනුමන්ඩලය වැනි තැන්වල විතර යි. නමුත් මේ විදිහට බුරන්නේ නැතුව තමුන්ගේ වැඩේ කරගන්න බැරි බව අන්තර්ඥානයට හසුකරගන්නා ඇතැම් “බුද්ධිමත්” “කලාකරුවෝ” ඔය බුරන වැඩේට අතගහන යුගය ඉස්සරහට එනවා.

හිල්ට අනුව නෙලුම් පොකුන මේ තරම් “අස්ප ගනන්” වීම හරි ම හොඳ දෙයක්. මොකද “නූගතයි, උගතයි” හැම එකා ම ඇවිත් මේ අගනා සංස්කෘතික අවකාශය විනාශ කිරීම ඒ නිසා වැලකෙනවා! මේක ඇත්තට ම ඉතා වැදගත් ප්‍රකාශයක්. කවුරුත් මේක නැවත වාරයක් කියවා බැලීම වටිනවා. ඇය එම සාකච්ඡාව තුල නෙලුම් පොකුනේ හමුදා පරිපාලනය ප්‍රශංසාවට ලක් කරනවා. ඒකත් නාට්‍යකරු පරාක්‍රම නිරිඇල්ලගේ චෝදනාවකට ප්‍රතිචාරයක් හැටියට:

“මගේ නාට්‍යයේ වැඩිපුරම ඉන්නේ ගැහැනු ළමයි. ඒ අය තරුණ අය. සාමාන්‍ය රඟහලකට ගියොත් මෙවැනි ළමයින්ට උසුළු විසුළු කරන අය දකින්න පුළුවන්. මෙතැන සිටින්නේ හමුදාවේ අය. ඔවුන්ට මනා විනයක් තියෙනවා. ඒක අපට ලොකු පහසුවක් වුණා. නැත්නම් ගැහැනු ළමයින් ආරක්ෂා කරගන්න අපට වෙනම කණ්ඩායමක් පත් කරන්න වෙනවා. අනෙක අප එතැනට යන විට ඒ ගැන දැනුම්වත් වී යා යුතුයි. එයට කලින් පෙරසූදානම් විය යුතුයි. කලාකරුවන් එහෙම නොවී එතැන වැඩ කරන්න ගියොත් අපහසුතා ඇති වෙන්න පුලුවන්.” නාට්‍ය රඟදැක්වීමට පවා ඉඩ නොදී වේදිකාව “ආරක්ශා කරන” මේ හමුදා “විනය” කලාවේ මුරකාරකමට සුදුසුකමක් හැටියට සහතික දෙන පිරිස ඉදිරියේදී තවත් ඉහල යාවි.

පසුගිය වකවානුව පුරා ක්‍රමයෙන් වැඩී ප්‍රකාශයට පත් වුනු මොවුන්ගේ ආන්ඩුවේ සංස්කෘතික ප්‍රතිපත්තිය නිරීක්ශනය කරන කෙනෙකුට පැහැදිලි ව පේන්න තිබුනු දෙයක් තමයි “උගතටයි – නූගතාටයි” හිතේ හැටියට කලා නිර්මාන කරන්න, ඒකරාශී වෙන්න, සංවාදයේ යෙදෙන්න තිබුනු අවකාශ සියල්ලක් ම පාහේ බුල්ඩෝසර් කර හකුලා දමන්න කටයුතු කෙරුනු අන්දම. ඉතුරු වුනු බොහෝ තැන්වල ඔත්තු බලන්න CCTV කැමරාත් “ලංකාව රක්නා” බලකායනුත් රඳවනු ලැබුවා. රුපියල් පන්දහසක පමන මුදලකට, ආලෝකකරන උපකරන හා ශබ්ද වාහිනී ද සමගින් රඟහලක් ලබාගන්න තිබුනු අවසාන අවස්ථාව ජෝන් ද සිල්වා රඟහල සමග මරා දමනු ලැබුනා. දැන් “කොල්ලටයි බල්ලටයි උගතටයි නූගතාටයි” හැමෝටම කලාව “විනාස කරන්න” අමාරු වේගනයි එන්නේ. ඒ වෙනුවට මුදල් ගෙවිය හැකි වැදගතාට කලාව නිර්වචනය කොට, රැකගෙන, නියාමනය කරගෙන පවත්වාගෙන යාමේ අවකාශය විවර වේගන යනවා. ඒ උදවිය තමයි සංස්කෘතියේ භාරකාරයෝ.

මරා දැමූ ජෝන් ද සිල්වා රඟහලට යාබද ඉඩමේ තියෙන නෙලුම් පොකුනේ ප්‍රධාන රඟහලේ වත්මන් ගාස්තු මෙහෙමයි:

  • පලමු දර්ශනය සඳහා රුපියල් 840 000
  • දෙවැනි දර්ශනය සඳහා රුපියල් 672 000
  • අතිරේක පැයකට රුපියල් 168 000
  • පෙරහුරු සහ සංවිධාන කටයුතු සඳහා පැයකට රුපියල් 112 000
  • අාපසු ගෙවනු ලබන තැන්පතුව රුපියල් 150 000

ජානකී හිල්ගේ මුවින් පිට වෙන අදහස්වලින් පිලිබිඹු වෙන්නේ අද මෙරට විවිධ නිල කලා සංස්ථාවන්ට හා කර්මාන්තයන්ට අරක්ගත් බහිරවයින්ගේ පිලිවෙත. “හැම කොල්ලටම – බල්ලටම” පොත් ලියන්නත් පල කරන්නත් තියෙන නිදහස වැට බැඳ නියාමනය කරන්න පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ගුනසේන විතාන ප්‍රමුඛ ප්‍රවනතාවක් ඉදිරිපත් වී ඉන්නවා. ඔවුන්ගේ අරමුනත් මීට සමාන යි. ගුනසේන විතාන මහතා රිවිර පුවත්පතට ප්‍රකාශ කර තිබූ අන්දමට නම් මේ උප්පරවැට්ටිය ක්‍රියාවට දැමීමේ දී රජය සමග අත්වැල් බැඳගන්නත් ලොකු උද්‍යෝගයක් එතුමාට තියෙනවා. ස්ටැලින්වාදී සෝවියට් සංගමය සෙට්ටපෝච්චි වී යනතුරු ම එයට දනගසා වන්දනාමාන කරමින් සමාජ සත්තා යථාර්ථවාදය නමැති රාජ්‍ය කලා මතවාදය ප්‍රචාරය කල කල ඔහු වැන්නෙකුට පතපොත සංස්කරනය හා ප්‍රකාශනය නියාමනය වෙනුවෙන් රාජ්‍ය තන්ත්‍රය සමග අත්වැල් බැඳගැනීම ඉතා රුචිය වඩවන දෙයක් වුනත් පොත් ප්‍රකාශකයින්ගෙන් බහුතරයක් ඒ අදහසට එකඟ වේය කියා හිතන්න අමාරුයි. ඒත් මේ නියාමන වැඩපිලිවෙල පෙරට දැමීම ගැන ඔවුන් බොහෝ සෙයින් ඒකමතික අදහසක ඉන්න බව පේනවා. මේ යටතේ පොතපත පල කිරීමට ප්‍රථම ප්‍රකාශන ආයතනය (සහ ගුනසේන විතානට අනුව රජයේ මැදිහත් වීමෙන්) සංස්කරන ක්‍රියාදාමයකට යටත් කිරීම, ලේඛකයින් හා ප්‍රකාශකයින් අතර ගිවිසුම් යනාදී විධිවිධාන ඇතුලත් “ජාතික” ප්‍රඥප්තියක් ගෙන ඒමට යෝජිත යි. මේ අතර එක්තරා මන්ත්‍රීවරයකුගේ පෞද්ගලික යෝජනාවක් වසයෙන් මීට සමාන යමක් සැකසී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුනු බව ද දැනගන්න තියෙනවා. ඇත්ත!: කර්තෘ ප්‍රකාශන හැටියට “හිතුමතේ, හිතෙන හිතෙන දේ ගැන” පොත් ගහන “කොල්ලන්ට බල්ලන්ට” මේකෙන් වැට බඳින්න පුලුවන්.

“ප්‍රමිතිකරනයට”, ජාතික ප්‍රතිපත්තිවලට, ප්‍රඥප්තිවලට මුවා වී නිදහස් අදහස් හා නිර්මාන පල වීමේ අවකාශ අහුරාලීමේ නැඹුරුව එක විදිහක විලාසිතාවක් වගේ එක ස්තරයක් අතර පැතිරීගෙන යනවා. සමහරු බෞද්ධ ප්‍රකාශන නියාමනය කරන්න හඩනඟනවා. මේ නියාමනය කෙරෙන්නේ කාගේ බුද්ධාගමට අනුකූල ව දැයි තව ම නිර්වචනය කරගෙන නෑ. තවත් පිරිසක් ගීත සම්බන්ධයෙන් ද මෙවැනි නියාමනයක් ඉල්ලා හඬ නඟනවා. ඊනියා “කොපිරයිට්ස්” ගැන විශේශඥයින් හැටියට රඟපාමින් අලුත් උජාරුවකින් ලියන ඇතැම් ලේඛක භවතුනුත් මේ වගේ. හැමෝම අපට ගිලින්න ආරාධනය කරන ලනු සමානයි. “අර අරහේ” තියෙන දියුනු රටවල වැඩ කෙරෙන විදිහ මේක යි. ඉතින් අපිටත් දියුනුවෙන් දියුනුවට යන්න, ආසියාවේ ආශ්චර්යය වෙන්න නම් මේ දියුනු ක්‍රම සහ විධි පාවිච්චි කරන්න ඕනෑ. ඔය වගේ බනක් තමයි නිතර අහන්න ලැබෙන්නේ. මේ කතා අහන අයගෙන් සුලුතරයක් දෙනා වත් මේවා ඇත්තද, එහෙමත් නැත්නම් අමු කෙප්ප ද කියලා ටිකක් නැවතිලා හොයා බැලීම වටිනවා. රටක් වුනාම කිසිම කෙනෙකුට මුදලට ගන්න බැරි ජාතික රඟහලක් තියෙන්න ම ඕනැ ද? එවැනි රඟහල් ඉදි කිරීම ලෝකේ දියුනු රටවල ක්‍රමය ද? මහධන රංග කලා නිකේතනවලට අමතර ව ලොව වටා විකල්ප රඟහල්, නිදහස් අවකාශ පිලිබඳ තත්වය මොකක් ද? පොත් ප්‍රකාශන ආයතන වටේ ලේඛකයන් බැඳ දඬුකඳේ ගසාගැනීමට නීති ගිවිසුම් විධිවිධාන දියත් කිරීම අද ලෝක ප්‍රවනතාව ද? මෙවැනි ප්‍රවේශයන් පොත් ප්‍රකාශනයේ දියුනුවට හේතු වුනා ද? එහෙමත් නැත්නම් ඒකේ අනිත් පැත්ත ද? අද කාලේ ලේඛකයින් ප්‍රකාශන ආයතන (publishing houses) කේන්ද්‍ර කරගත් මුද්‍රන/ප්‍රකාශන කර්මාන්තයෙන් ඔබ්බට යන්න උත්සාහ කරනවද නැද්ද? කර්තෘ ප්‍රකාශන/ස්ව-ප්‍රකාශන (self publishing) වැනි දේවල් අලුත් ප්‍රවනතාවක් හැටියට ලොව පුරා ඉදිරියට එමින් තියෙනවද, නැද්ද? මේවා ගැන හොයන විමසන උදවිය ඉන්නා තාක් දුරට මේ පන්ඩිතයින්ට (කේවට්ටයින්ට) හිතේ හැටියට නටන්න ඉඩක් ලැබෙන්නෙ නෑ. ඒ විතරක් නෙමෙයි, එහෙම හොයා බැලුවොත් මේ පන්ඩිතයින් – දැන හෝ නොදැන – හැසිරෙන්නේ සිය මිලිටරි හාම්පුතුන්ගේ සංස්කෘතිය වෙනුවෙන් බුරන ඔඩොක්කු කුක්කන් හැටියට බවත් අනාවරනය වෙන්න ඉඩ තියෙනවා.

හංවඩු ගැහිල්ල, පච්ච කෙටිල්ල සහ තවත් සංස්කෘතික කටයුතු

| Comments

පච්ච කෙටීමත් හංවඩු ගැහීමත් දෙක ම අපේ සංස්කෘතියේ බොහෝ දුර ඈත අතීතයේ පටන් පැවතගෙන එන දේවල්. රාජ්‍ය බලය සහ බුදු සසුන ප්‍රචන්ඩ සන්ධානයකට ගොස් සිටි තවත් එක්තරා අවිචාර සමයක මහාවිහාරයේ අදහස්වලට විපක්ශ මතිමතාන්තර (වෛතුල්‍යවාදී අදහස්) දැරූ භික්ශූන්(දුසිල් මහනුන්!?) පිරිසකගේ සිවුරු අරවා පිටේ හංවඩු ගසා පිටුවාහල් කල සිදුවීමක් පිලිබඳ අහන්න ලැබෙනවා. මේ හංවඩු ගැහීම කලේ ඒ පිරිසට නැවතත් ආපහු එන්න බැරි වෙන්න, ජීවිතාන්තය දක්වා දුන් දඬුවමක් හැටියට. දෙවැනි ලෝක යුද සමයේ යුදෙව්වන්ට එරෙහි නාසි මර්දනය හා සංහාරය තුල විවිධ වර්ගවල හංවඩු ගැසීම් භාවිත වුනා. එකල අවුශ්විට්ස් වැනි කඳවුරු තුල රැඳවියන්ගේ මිනිසත් බව අවප්‍රමාන කරන්න යොදාගැනුනේ හංවඩු ගැසූ අංකයක්. අපේ පැරැන්නෝ ගව මහිසාදීන්ගේ අයිතිය තහවුරු කරගත්තේත් ඒ සතාගේ පිටේ හංවඩුවක් ගහලයි. පිට පුලුස්සන්නේ නැතුව වුනත් පහුගිය කාලේ ගහපු කොටි ත්‍රස්තවාදී හංවඩුව නිසා බොහෝ දෙනෙකුට රටේ ඉන්න බැරුව ගියා.

හංවඩු ගැහිල්ල බලවත් පාර්ශ්වයක් සිය බලයට යටත් පිරිස් හඳුනාගන්න, බැහැර කරන්න, අවමන් කරන්න එහෙමත් නැතිනම් පාලනය කරන්න යොදාගන්න ක්‍රමයක් බවත් අනිත් අතට පච්ච කෙටිල්ල කැමැත්තෙන් සිය සිරුරට එකතු කරගන්නා අලංකරනයක් – විභූශනයක් බවත් ඒ පද දෙකේ භාවිතයෙන් දැන් තහවුරු වෙලා තියෙනවා. සමකාලීන සිංහල බසට එකතු වී ඇති අලුත් පදය වන ටැටූ එක මීට වඩා නාගරික, සමකාලීන, පොප් වැඩ ගනනාවක් ඇඟවුම් කරනවා. මේ “ටැටූ සංස්කෘතිය” ඇතුලේ පච්චයේ පන්ති පදනම, බලපුලුවන්කාරකම පවා වෙනස් වෙලා ඒක ප්‍රධාන ධාරාවකට ඇවිත්.

මගේ මිත්තනියගේ ඤාති සහෝදරයෙක් එක් උරහිසක බුදුරුවත් අනෙක් උරහිසේ මොනර රුවකුත් පච්ච කොටාගෙන හිටි හැටි මට මතක යි. ඒ කාලේ තවත් ඇතැම් ගැමියෝ ගාථා කොටස්, ඇතැම් මන්ත්‍රවල කොටස් යනාදියත් පච්ච කොටාගත්තා. බෞද්ධ දර්ශනය පිලිබඳ කීර්තිධර පේරාදෙනි මහාචාර්යවරයෙකුත් මේ විදිහට බෞද්ධ පච්චයක් පපුවේ කොටාගෙන හිටි බවට කයිකතන්දරයක් අපි පාසැල් ගිය කාලේ පැතිරිලා තිබුනා! ඒ පච්ච කතාවේ ඇත්ත නැත්ත කෙසේ වුනත් කතන්දරෙන් ඇඟවුනේ ඔහු කෙතරම් දැඩි විදියට අදහස්වල එල්ලිලා හිටියද කියන එකයි. ආගමික රූප හා වැකි පච්ච කොටාගැනීම දහමට හා අදහස්වලට සිය පක්ශපාතීත්වය දිවි හිමියෙන් ප්‍රදර්ශනය කරන අදහසින් කරන දේවල්. පසුගිය සතියේ ලංකාවට පැමින පොලිස්-රාජ්‍ය අඩන්තේට්ටම්වලට ලක් ව පිටුවාහල් වෙන්න සිදු වුනු සංචාරිකාව කර තිබුනු අපරාධය වුනේ සිය බාහුවේ බුද්ධ රූපයක් පච්ච කොටාගෙන තිබීම. වාර්තා වෙන පරිදි ඇයත් බෞද්ධයෙක්. වෙනත් “බෞද්ධ රටවල්” ගනනාවක ආගමික ස්ථානවල සංචාරයේ යෙදී පලපුරුදු බෞද්ධයෙක්. බුද්ධ රූප සහිත පච්ච කොටාගත් සංචාරකයන් ගැන මේ විදිහේ ම හාහෝවක් තායිලන්තයේත් කලකට පෙර ඇති වුනා. මෙහේ වගේ ම බුද්ධිමත් සංස්කෘතික ඇමති කෙනෙක් එහෙත් ඉන්න වග මම දැනගත්තේ ඒ ගැන කියවනකොට යි. ඒ වුනත් ඒ තායිලන්තයේ මත් තවත් ඇතැම් ඇතැම් අග්නිදිග ආසියාතික රටවලත් බෞද්ධ භික්ශූන් වහන්සේලාගේ සිරුර පුරා “බෞද්ධ පච්ච” තිබෙනු දකින්න පුලුවන්. තායිලන්තයේ ඇතැම් බෞද්ධ නිකායක භික්ශූන් ඉතා බැරෑරුම් ආගමික වතාවතක් හැටියට සක් යන්ත් නමැති පච්ච කෙටීමේ චාරිත්‍රය කරනවා. භීක්ශුවක් ලවා මේ වර්ගයේ පච්ච කොටාගැනීම මහත්ඵල ලබාදෙන්නක් බව ඇතැම් බෞද්ධයින් විශ්වාස කරනවා. මේ පච්ච උත්සවශ්‍රීයෙන් සමරන අවස්ථාත් තියෙනවා.

මෑතක දී බුද්ධ රූපය පුවත්පත්වල මුද්‍රනය තහනම් කල යුතු බවටත් එක්තරා බෞද්ධ භික්ශුවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වුනා. විවිධ ඇදුම් පැලඳුම් මත බුද්ධ රූපය මුද්‍රනය කර ඇති අන්දම ගැනත් මේ හා සමාන විරෝධයක් වරින් වර පල වෙනු දකින්න පුලුවන්. මේ සියල්ල සිදු වෙන අතරවාරයේ ලොව ලොකු ම, උස ම, පලල ම, දිග ම, ගලෙන් හදපු ලොකු ම, ගඩොලින් හැදූ ලොකු ම යනාදී වසයෙන් විශාලතම බුද්ධ ප්‍රතිමා හැදීමේ තරගයක පෙරමුනේ ලංකාව ඉන්නවා.

බුදුන්ගේ “සංස්කෘතිය” සහ අපේ සංස්කෘති

ඉතින් විවිධ සංස්කෘතීන්ට සහ ඓතිහාසික අවධීන්ට අනුව බුද්ධ රූපයට දක්වන ප්‍රතිචාරය සහ ඒවායේ අරුත් වෙනස් වෙන බව අමුතුවෙන් තර්ක කර පෙන්වා දිය යුත්තක් නෙමෙයි. පැරනි බුදුසමයට අයත් සේ සැලකෙන ලියවිලි පරීක්ශා කරන කෙනෙකුට බුද්ධ රූප වන්දනාව බුදුන් අනුදැන වදාල දෙයක් නෙමේ කියලත් තර්ක කරන්න පුලුවන්. වෙනත් වචනවලින් කියතොත් ප්‍රතිමා වන්දනාව “බුදුන්ගේ කාලේ” “බෞද්ධ සංස්කෘතියට” අයිති දෙයක් හැටියට තිබුනෙ නෑ කියල තර්ක කරන්න බැරිකමක් නෑ. බුදුන්ට “සංස්කෘතින්” රැකීම හා පවත්වාගෙන යාම ගැන උනන්දුවක් තිබුනද වගේ ප්‍රශ්නයකුත් ඒ එක්ක ම මතු වෙනවා. ඒත් අද වෙද්දී බොහෝ “බෞද්ධ සංස්කෘතීන්” තුල විවිධ ස්වරූපයෙන් බුද්ධ රූපය වන්දනයට පාත්‍ර වෙනවා. “බෞද්ධ වීම” පිලිබඳ ප්‍රකාශනයක් හැටියට, ආගමික හෝ දෘශ්ටිවාදී අනන්‍යතාවක් ප්‍රකාශ කරන්න, බෞද්ධ අවකාශයක අනසක සලකුනු කරන්න බුදු රුව යොදාන්නවා. බුද්ධ රූපය බිත්තියේ එල්ලනවා, ගෙලේ පලඳිනවා, පච්ච කොටාගන්නවා, හන්දි ගානේ හිටුවනවා. මේ එක් එක් සංස්කෘතීන්ට සාපේක්ශ ව බුද්ධ රූපය නෙලා හෝ චිත්‍රනය කර ඇති ස්වරූපයත් වෙනස්. ඇතැම් භාවනා සම්ප්‍රදායන් තුල බුද්ධ රූපය මනසින් මවාගැනීම හෝ තමන් අබියස බුදු රුවක් තබාගෙන ඒ කෙරෙහි ඒකාග්‍ර වීම අනුදැන වදාරනවා. ඒ ඒ යුගවලට අයත් බුද්ධ රූපවලින් ඉතිහාසයේ විවිධ අවධීන්ගේ සමාජ පිලිබඳ බොහෝ දේ කියවාගන්න පුලුවන්. දැන් වුනත් ඔය හන්දියක් හන්දියක් ගානේ දැකගන්න තියෙන පිලිමවල ප්‍රතිමාවේදය හා සෞන්දර්යවේදය අපේ යුගය ගැන, බලධාරී සංස්කෘතිය ගැන මොන තරම් දේ විචිත්‍ර ව කියා පානවද?

වලහා ආවෝ!: හාට්බ්ලීඩ්, ආරක්ශාව සහ මුරපද ගැන

| Comments

“ෆේස්බුක් මාරයා” ගැන විචිත්‍ර අධියථාර්ථවාදී සිතුවම් මවන, “වලහා එනවෝ”යි නිතර මොර දෙන, “ඔබේ දුව-පුතා අන්තර්ජාලයෙන් බේරාගන්නේ කෙසේ ද” යන්න ගැන පරිකල්පනයෙන් අනූන ලිපි කොටස් වසයෙන් ලියන, අපේ (සිංහල) පත්තර වීරයින් හාට්බ්ලීඩ් (Heartbleed) ව්‍යසනය ගැන පාඨකයින් දැනුවත් කලේ නෑ. එක පත්තරයක මේක වෛරසයක් කියල ලියල තිබුණා. ඒක හරියට පැපොල කියන්නේ දෙයියන්ගෙ ලෙඩක් කිව්ව වගේ කතාවක්. එනිසා ම දෝ මගේ මිතුරන් වැඩි දෙනෙක් හාට්බ්ලීඩ් ගැන මොන ම දෙයක් හෝ අසා තිබුනේ නැති බවත්, මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බවත් අද උදේ තේරුම් ගියා! මෙන්න ඒ ගැන ලියැවුණු එක ම හරිහමන් සිංහල ලිපිය, බ්ලොග්කරු සමීර ශාකුන්තලගෙන්. මෙවැනි දෑ ඉතා නිරවුල් ව නිවැරදි ව ලිවීමට සමත් ඔහු දක්ශ සන්නිවේදකයෙක්: http://blog.shaakunthala.com/2014/04/heartbleed.html

“වැඩි විස්තර වලට යන්න කලින් කෙටිම හැඳින්වීමක් කළොත්, “හාට්බ්ලීඩ් කියන්නේ අන්තර්ජාලයේ වෙබ් අඩවි වලින් තුනෙන් දෙකක පමණ තොරතුරු ආරක්ෂාව පිළිබඳ මෘදුකාංගයක පවතින, දීර්ඝ කාලීනව හඳුනා නොගත් දෝෂයක් හේතුවෙන් රහසිගත දත්ත සූක්ෂම අයුරින් බාහිර පාර්ශව අතට පත් වීමේ අවදානමක්” ලෙස හඳුන්වන්න පුළුවන්.”

“… කවුරුත් දන්නවනේ HTTPS කියන එක ගැන. Facebook යද්දි වෙබ් බ්‍රවුසරේ අර ඉබ්බා (padlock) මාක් එකක් එන්නේ… සාමාන්‍යයෙන් අපි දන්න හැටියට මේ ඉබ්බා තියෙනව කියන්නෙ ඒ වෙබ් අඩවිය ආරක්ෂිතයි….”

“හැබැයි, මෑතකදි පර්යේෂකයින් කණ්ඩායමක් හොයාගෙන තියෙනවා ඔය ඉබ්බා කඩන්න පුළුවන් කියල! නරකම ආරංචිය තමයි, ඉබ්බා කඩන්න පුළුවන් කියල ප්‍රසිද්ධියේ කවුරුත් නොදැන අවුරුදු දෙකක්ම ගෙවිලා ගිහින් කියන එක. ඒ කියන්නේ ඉබ්බා කඩන්න පුළුවන් කියල කවුරුහරි හොරෙක් (හැකර් කෙනෙක්) දැනගෙන, ඒ බව ප්‍රසිද්ධ නොකර හිටියා නම් ඒ හොරා සෑහෙන ප්‍රයෝජනයක් ඒ හැකියාවෙන් අරන් තියෙන්න ඉඩ තියෙනවා….”

“ඊළඟ නරක ආරංචිය තමයි, ඉබ්බා කැඩුවා කියල අහු වෙන්නෙ නැතුව හොරෙකුට ෂේප් වෙලා යන්න පුළුවන්කම. ඒකත් මේ ආරක්ෂක දුර්වලතාවයෙ හැටියක්. සාමාන්‍යයෙන් වෙනින් ජාතියක හැක් කිරිල්ලක් නං, දක්ෂ හොරෙකුගෙ වැඩක් නෙමෙයි නං වැඩේ මාට්ටු වෙනවා. නමුත් මේක එහෙම ලේසියෙන් මාට්ටු වෙන ඉබ්බො ඇරිල්ලක් නෙමේ කියල තමයි තතු දත් අය කියන්නෙ. ඊළඟ නරක ආරංචිය, ලෝකෙ තියෙන වෙබ් අඩවි වලින් තුනෙන් දෙකකම මේ අවදානම තියෙනවා. ඒ කියන්නේ, අපි එදිනෙදා පාවිච්චි කරන වෙබ් අඩවි වලිනුත් සැලකිය යුතු ප්‍රමාණයක අවදානම තියෙනවා/ තිබුණා කියල එක. ලොකුම උදාහරණයක් තමයි Yahoo සහ Flickr. (මේ වෙලාව වෙනකොට නම් Yahoo සහ Flickr මේ අවදානම් තත්වය මඟඇරල අළුත් ඉබ්බෙක් දාලයි තියෙන්නෙ :) )”

මේක ආරක්ශාවේ සිදුරක්. “ෆේස්බුක් මාරයා” ගැන පත්තරකාරයින් ලියූ මනස්ගාත වගේ නෙමෙයි, මේක සැබෑ අවදානමක්. මේක අනාවරනය වුනේ අප්‍රේල් මාසේ මුල් සතියේ වුනත් එතරම් පුලුල් දැනුවත් කිරීමක් දේශීය භාශාවන්ගෙන් සිදු ව නැති වීම ඛේදජනක තත්වයක්. මේ දෝශය නිසා අපේ මුරපදත් තවත් බෙහෝ දත්තත් බාහිර පාර්ශ්ව (හොරුන් තක්කඩින් කොල්ලකරුවන්) අතට පත් වී ඇතැයි අනුමාන කල හැකි නිසා මේක භයානක තත්වයක්. ඉතින් අප සතු වැදගත් සහ තීරනාත්මක දෑ සියල්ල ඒ අතර තියෙනවා විය හැකි යි. ඊමේල්, social networking අඩෙවි, බැංකු ගිනුම් යනාදී සියල්ලට මේ අවදානම අදාල යි! මේ වන විට ඔබේ yahoo, gmail, facebook, twitter, ඇතුලු බොහෝ මුරපද හතර අතේ අනුන් අතට ගිහින් තියෙන්න හොඳට ම ඉඩ තියෙනවා.

හාට්බ්ලීඩ් ගැන පසුබිම් විස්තර සහ තාක්ශනික තතු දැනගන්න ශාකුන්තලගේ සටහන සම්පූර්නයෙන් කියවන්න.

විසඳුම කුමක් ද? ඔබේ මුරපද (passwords) සියල්ල අලුත් කරන්න!

“කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. අන්තර්ජාලයෙ අපි පාවිච්චි කරන වෙබ් අඩවි එකින් එකේ පාස්වර්ඩ් වෙනස් කරන්නයි ඕනේ. හැබැයි හදිසි නොවී පොඩ්ඩිත්තක් ඉවසන්න වෙනවා. Heartbleed ගැටළුව තවමත් විසඳා නැති වෙබ් අඩවි වල පාස්වර්ඩ් වෙනස් කළාට වැඩක් නැහැ.”

ඔබ මුරපදය වෙනස් කරන වෙබ් අඩෙවිය හාට්බ්ලීඩ් සිදුරු වසාදමා (ශාකුන්තලගේ වචනවලින් කියතොත් අලුත් ඉබ්බෙක් දමා) සුරක්ශිත කර තිබේදැයි දැනගන්න මෙන්න මේ වෙබ් අඩෙවිය යොදාගන්න පුලුවන්. ඔබ මුරපදය වෙනස් කිරීමට අදහස් කරන අඩෙවියේ ලිපිනය (නිදසුන් yahoo.com හෝ facebook.com) එහි ටයිප් කොට විමසීමක යෙදෙන්න: https://filippo.io/Heartbleed/

වඩාත් භාවිත වන වෙබ් අඩෙවි අතරින් මේ අවදානමට ලක් ව ඇති අඩෙවි සහ මුරපද වෙනස් කිරීමෙන් ආරක්ශාව තහවුරු කරගත හැකි අඩෙවි ලැයිස්තුවක් මේ පිටුවේ දැක්වෙනවා: http://mashable.com/2014/04/09/heartbleed-bug-websites-affected/

ඉතින් එක වර අලුත් මුරපද දුසිම් ගනනක් මතක තබාගන්න අමාරු නම් ඊට උපකාර වන මෘදුකාංගයක් යොදාගන්න.

Password Safe: http://passwordsafe.sourceforge.net/

KeePassX: https://www.keepassx.org

KeePass: http://www.keepass.info

මේ ගැන මා කියැවූ තවත් අංගසම්පූර්න ලිපියක් Heartbleed and Passwords

හාට්බ්ලීඩ් ගැන ගැඹුරින් http://heartbleed.com/

ඔබ ඔබේ මුරපද වෙනස් කොට ආරක්ශාව තහවුරු කරගත යුත්තේ ඔබේ තොරතුරු සහ පුද්ගලිකත්වය ගැන හිතා පමනක් නෙමෙයි. ඔබ සතු ව ඔබේ මිතුරන් සහ වෙනත් අය එවූ දේත් තියෙන නිසා මෙවැනි අවස්ථාවක ආරක්ශාව සහ පුද්ගලිකත්වය ගැන සැලකිලිමත් වීම සමාජ වගකීමක් ද වෙනවා.