සිංහල භාශාවේ පරිනාමය, ඉතිහාසය හා අනාගත හැඩගැසීම් පිලිබඳ සිතීමේ නිමග්න වීමේ දී අපට එක්තරා අත්තනෝමතික නොවන සැසඳීමක් කරන්න පුලුවන් මංසන්ධියක් හමු වෙනවා - අතීතයෙන්. මම ඒ අතීත අවස්ථාව සන්සන්දනය කරන්නේ බ්ලොග් අවකාශය හා අන්තර්ජාල ලේඛනයේ වර්තමාන තත්වය සමගයි.
ප්‍රථම මංසන්ධිය
දහ නව වැනි සියවසේ සිංහල පුවත්පත් හා සඟරා ආදිය මුද්‍රනය වීම ආරම්භ වුනු අවධියට අපි මඳකට ආපසු යමු. අඩසියවසක පමන කාලයක් තිස්සේ විවිධ හැල හැප්පීම්වලට ගොදුරු වෙමින් ඉහල පහල යමින් වර්ධනය වුනු මේ පුවත්පත් සඟරා ආශ්‍රිත ලේඛනය නිසා තමයි පසුකාලීන ව පෙරට ආ සිංහල නවකතාව, කෙටිකතාව ඇතුලු සාහිත්‍යාංග සඳහා සේ ම අනෙකුත් විවිධාකාර සන්නිවේදන අවශ්‍යතා සඳහා ද සුඛනම්‍ය සිංහල භාශාවක් වර්ධනය වුනේ. එම තීරනාත්මක අවධියේ සිංහලෙන් සිදු වුනු ප්‍රකාශන කටයුතු ප්‍රධාන වසයෙන් අංශ දෙකකින් සමන්විත වුනා.
1) පුරාන ප්‍රකාශන මාධ්‍යයන් හි එනම් පුස්කොල පොත් හා ජනශ්‍රැතියේ පිහිටෙන් ඒ දක්වා පැවත ආ සාහිත්‍යික අන්තර්ගතය(content) හා දැනුම, අලුත හඳුන්වා දුන් මුද්‍රිත මාධ්‍යයට පෙරලී, සංස්කරනය වී ප්‍රකාශයට පත් වීම.
2) නවතම පන්නයේ ප්‍රකාශන මාධ්‍ය එනම් පුවත්පත් සඟරා ද වෙනත් වාද විවාද සංග්‍රහ කෙරුනු ප්‍රකාශන ආදිය පැන නැඟීම.
භාශාව/ප්‍රකාශනය පිලිබඳ පෙරමුනු දෙකක්. වැඩ බිම් දෙකක්.
එලඹෙන 20 වැනි සියවසේ බුද්ධිමය - සංස්කෘතික ජීවිතය සපුරා ම අරක් ගැනීමට නියමිත ව තිබූ, බුද්ධිමය ජීවිතයේ ප්‍රධාන වැඩ බිම වූ මුද්‍රිත මාධ්‍ය සඳහා අවශ්‍ය පදනම සම්පාදනය කරනු ලැබුවේ මූලික වසයෙන් ම ඉහත අංශ දෙකෙහි නිරත වූ පුරෝගාමීන් විසිනුයි. ඔවුන් සියලු දෙනාම පාහේ පැවත ආවේ ඊට පෙර සියවසේ වැලිවිට සරනංකර හිමිපානන්ගේ පුරෝගාමීත්වයෙන් ඇවිල ගිය ශාස්ත්‍රීය ව්‍යාපාරයේ ශිශ්‍ය පුරුක් හැටියට යි. බටුවන්තුඩාවේ දේවරක්ශිත, හික්කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලානේ ධර්මාලෝක, ධර්මකීර්ති ශ්‍රී ධර්මාරාම, කුමාරතුංග මුනිදාස, ඩී. බී ජයතිලක ආදී ගිහි පැවිදි පඬිවරුන් පරම්පරා කිහිපයකගේ උර මතින් චිරන්තන සිංහල සාහිත්‍යය මුද්‍රිත මාධ්‍ය කරා ප්‍රවිශ්ට වීම ආරම්භ වුනා.
මේ අතර, පුවත්පත් සඟරා හා ඒ ඔස්සේ හටගත් වාද විවාද බස හැඩගැස්වීමෙහි ලා අතිවිශේශ කාර්යභාරයක් ඉටු කලා. මාර්ටින් වික්‍රමසිංහ ලිවීමට හිඳගන්නා මොහොතේ භාශාව අහසින් කඩා වැටුනා නෙමෙයි. එදිරිවීර සරච්චන්ද්‍ර මහතා, මේ පූර්වගාමීන්ගේ කටයුතු මෙසේ තක්සේරු කරනවා -
“භාෂාව, ශාස්ත්‍රය හා ආගම අරබයා නොයෙක් සැක කටයුතු තැන් හෙළි කිරීම ද මේවා පිළිබඳ ව ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීම ද යට කියන ලද ප්‍රබෝධයේ එක්තරා ලකුණක් විය. මේ වාද විවාද බොහෝ විට ගැන නැඟුණේ නිසරු ප්‍රශ්නවලිනි. එයින් සාහිත්‍යය පෝෂණය වූවා ය යි කිව නොහැකි ය. අර්ධ ශතවර්ෂයක පමණ කාලයක් තුළ කෙරුණු මේ වාදවල ප්‍රධාන ප්‍රතිඵලය වූයේ, සිංහල භාෂාව, 20 වන ශත වර්ෂයේ ප්‍රාදුර්භූත වූ ලේඛකයන්ගේ කාර්යයට සුදුසු වූ සුඛනම්‍ය සරල උපකරණයක් වීම ය.”
(සරච්චන්ද්‍ර, සිංහල නවකතා ඉතිහාසය හා විචාරය, සරසවි පොත්හල, නුගේගොඩ, 1997, 10 පිටුව)
තවදුරටත් සරච්චන්ද්‍ර මහතාට සවන් දෙමු
“මේ සමයෙහි ඇති වූ වාද විවාද, සාහිත්‍යික වාද, ආගම් වාද හා කුල වාද වශයෙන් කොටස් තුනකට බෙදිය හැකි ය. මෙයින් වැඩි සංඛ්‍යාවක් ආගමික වාද බව කිව යුතු ය. ඒ හුදෙක් බෞද්ධ නිකායන් අතර වූ වාද හා ක්‍රිස්තියානීන් අතර වූ වාද වශයෙන් දෙකොටසකට බෙදිය හැකි ය.
“සමහර වාද කෙරුණේ පද්‍ය මාර්ගයෙන් වුව ද, ඒවා සඳහා වහල් කොටගන්නා ලද්දේ කථා ව්‍යවහාරයෙහි වාංමාලාව හා භාෂා රීතියත් ය. එළු සිලෝ නමින් හැඳින්වෙන එළිසම රහිත වෘත්තය මේ සඳහා උපයෝගී කොට ගැනීම ද, කථා ව්‍යවහාර භාෂාව අනුගමනය කිරීමට බෙහෙවින් තුඩු දුන් කරුණකි. පහත සඳහන් වන, “සව් සත්දම් වාදයේ” ඇතැම් පාඨවලින් මේ බව පැහැදිලි වේ.
කාගේවත් වරදක් කියන්නට කමක් ඇත්තේ නැතැයි මා විසින්
පින්වත්වඋ මැතිඳුට මම් එම පවත් දන්වා එවුවා තමයි
ඒ ආකාර ලියා එවූ සඳ යළිත් මේ කව්හි යන්තම් නමුත්
ඇත්නම් යම්කිසි දෝෂයක් මෙහි කියා එව්වොත් හොඳයි කී නිසා
සසර සරණ සව්සත් දම් කිවූ තුන් ගෙණේහී
අගකුර නරකයි කිව්වා තමයි ඒ මිසක්වා
සඳ වියරණ ලක්නෙන් දොස් පෙනෙන්නේ නොමැත්මයි
මෙම පොත පද බැන්දා ඉතාමත් කදිමයි
“මෙහි වෘත්තය නොසලකා වචන පිළිවෙල ගද්‍ය රීතිය අනුව සකස් කළහොත් කථා ව්‍යවහාරයෙහි එන භාෂාවට එය කොපමණ ආසන්න ද කියා වැටහෙනු නිසැක ය. මේ භාෂාව, ව්‍යාකරණයෙන් හෙ රීතියෙන් පැරණි භාෂාවට වෙනස් බව පෙනේ. කථා ව්‍යවහාරයෙහි හැඩ ගැසුණු මේ බස පළමු වරට සාහිත්‍යික කටයුතුවල යෙදුණේ වාද සමයෙහි ය. 20 වන ශතවර්ෂයේ ලියූ නවකථාකාරයන්ගේ ප්‍රබන්ධවල ද ඇත්තේ කථා ව්‍යවහාරයෙන් මෙසේ සකස් වූ භාෂාව ය. එහි ව්‍යාකරණය හා රීතිය ද බොහෝ දුරට තහවුරු වූයේ වාද විවාද නිසා ය යි කීම අසාධාරණ නොවන බව මෙයින් පෙනේ.”
(සරච්චන්ද්‍ර 1997, 10-11 පිටු)
දෙවැනි මංසන්ධිය (වර්තමානය)
කාලයේ වැලි තලාවට ඉහලින් එසවී අද දවස මඳක් නරඹමු.
දැන් යලිත් ශතවර්ශයකට මඳක් වැඩි කාලයකට පසු සිංහල භාශා සන්නිවේදනය අර කී තත්වයට සමාන පිහිටීමක. මාධ්‍යය පිලිබඳ තීරනාත්මක හැරුම් ලක්ශ්‍යයක. ඉදිරි සියවස සංලක්ශිත වනු ඇත්තේ මුද්‍රිත මාධ්‍යය වෙනුවට (සහ එය පසෙකින් තිබිය දී) ඩිජිටල්/ඊ/විද්‍යුත් මාධ්‍යයක් ඒ තැන ගැනීම විසින්. කියවීම, අධ්‍යයනය, සන්නිවේදනය පමනක් නොව සාහිත්‍ය කලා ආදිය පිලිබඳවත් මෙය තීරනාත්මක යි. ජාලගත කෙරුනු, විද්‍යුත් ආකාරයෙන් ගබඩා කෙරුනු පරිගනකගත අන්තර්ගතයක් ප්‍රධාන වැඩ බිම බවට පත් වෙමින් පවතිනවා.
මේ පරිවර්තනීය අවස්ථාව රූපාකාරයෙන් 19 වැනි සියවසේ සිදු වූ සංක්‍රාන්තියට බෙහෙවින් සමාන යි.
නැවතත් අංශ දෙකක වැඩ අවශ්‍ය යි : එක් පැත්තකින්
මෙතෙක් පැවති සාහිත්‍යික අන්තර්ගතය හා දැනුම නව මාධ්‍යයට පරිවර්තනය කල යුතුයි. අනිත් අතින්
නව මාධ්‍ය හැටියට අන්තර්ජාලය තුල බ්ලොග්කරනය, ඊ පොත් හා දෙවැනි පරපුරේ (web 2.0) වෙබ් ප්‍රකාශන අවකාශ දියුනු තියුනු වෙන්න ඕනෑ.දැන් මගේ උපකල්පන සහ පෙරදැකීම් කීපයක් - මෙයට විරුද්ධ වන්න ඔබට අයිතියක් තියෙනවා. නමුත් මේ මම ඒත්තු ගෙන සිටින ආකාරය :
දැන් මෙතෙක් මුද්‍රිත මාධ්‍යය තුල ගැබ් ව පැවති දැනුම හා සාහිත්‍යය මේ අලුත් මාධ්‍යය තුලට රැගෙන යාමේ ඓතිහාසික අභියෝගය ඉදිරිපත් ව තිබෙනවා. මෙය ඉටු නොකල හොත් සිංහල සාහිත්‍යයේ මහාර්ඝ උරුමය එලඹෙන සියවස්වල ඉපදෙන පරම්පරාවන්ගේ ජීවිතවලින් දුරස් වූ කෞතුක වස්තූන් සමුදායක් බවට පත් වනු නිසැක යි. ලේඛකයින්, විවිධ ක්ශේත්‍රවල ප්‍රවීන වියතුන් මේ අවකාශයට ඇතුලු වී වැඩ කිරීම ඒ නිසා තීරනාත්මක වැදගත්කමක් දරනවා. සිංහල භාශාවෙන් ජාලගත කොට තිබෙන අන්තර්ගතයෙහි ප්‍රමානාත්මක හා ගුනාත්මක තත්වය ඉහල දැමීමේ වෙන කෙටි මඟක් නැහැ.
ඒ සමග ම මේ නව මාධ්‍යය තුල භාවිතය සඳහා අපේ බස, අවස්ථාවෝචිත ව “සැකසී ඒම” අවශ්‍ය යි. නොවැලැක්විය හැකි ලෙස, අපේ භාශාවේ
ද්විරූපතාව ආශ්‍රිත ගැටලු හේතුවෙන්, වඩාත් සුඛග්‍රාහී, සන්නිවේදනය පහසු කරවන වර්ධනයක් ඉල්ලා සිටිමින් බස කැරලි ගසනවා. බසේ “ස්වාභාවික” වර්ධනය පවතින්නේ මේ ද්විරූපතාව අවම කිරීමේ දිශාවට යි. තවදුරටත් තිරිංග දමා තද කරගෙන සිටින, ද්විරූපතාවේ වත්මන් ස්වරූපය, වාන් දොරටු බිඳගෙන එන සන්නිවේදන ප්‍රවාහය විසින් නියත වසයෙන් පරසක්වල ගසනු ඇති. අද මම කිව්වා කියලා හිතා ගන්න :P මෙන්න මේ අංශයේ දී තීරනාත්මක ම කාර්යභාරය ඉටු කරමින් සිටින්නේ ද ඉදිරියේ දී ඉටු කරනු ඇත්තේ ද සිංහල භාශා බ්ලොග්කරුවන් විසින්. දැනට මත් බ්ලොග්කරනයෙහි උපයුක්ත භාශාව අතිවිශාල පීඩනයක් අන් සියලු අන්තර්ජාල ලේඛන මත ඇති කරමින් සිටිනවා. මෙය ඉදිරියේ දී තවතවත් තියුනු වේවි, ඒ ගැන සැක නෑ.
ඉහත පසුබිම තුල තබා නිරීක්ශනය කරන විට, අද සිංහල බ්ලොග් අවකාශයේ සිදු වන වාද විවාද හා කලබගෑනි සියල්ල ඉතා වැදගත් ඓතිහාසික සංසිද්ධින් බව (ඒවා මධ්‍යයේ සිටිමින් ම) මම කල්පනා කරනවා. ඒක අධිතක්සේරුවක් නෙවෙයි. මම බ්ලොග්කරනය ගැන මේ තරම් “සීරීයස්” ඒකයි :-)
—
[කලකට පෙර ලියූ සටහන් තුනක් ( 1*, 2*, 3* )නැවත සකස් කර මෙසේ පල කලේ මෙකී කරුනු කාරනා වැඩි දෙනාගේ අවධානයට ලක් කරනු පිනිසයි.]අදාල විය හැකි තවත් ලිපි
*මූර්ධජ ඉවරයි
*කතා කරන භාෂාවේ වියරණය, සිංහල භාෂාවේ අනාගතය සහ මහාචාර්ය නන්දසේන රත්නපාල
*කතා කරන බාසාවේ වියාකරනයක් තියෙනවා, ඒ වගේම ශෛලියකුත් තියෙනවා
.