“ජාතික ආන්ඩුවක්” පිහිටුවනු ලැබූ බවත් මින් ඉදිරියට පවතිනු ඇත්තේ “සම්මුතියේ” පාලනයක් බවත් පසුගිය දිනවල මහ ඉහලින් නිවේදනය කෙරුනා. ජනපතිවරනයේ දීත් මහමැතිවරනයේ දීත් “පවුල් පාලනය” පරාජය කිරීම ඒකායන අරමුන කරගෙන වැඩට බට වමේත් දකුනේත් පිරිස් තව මත් – යම් යම් පසුබට වීම් තිබුනත්- මේ “ජාතික” කටයුත්තට හිස නමමින් හුරේ දමමින් ඉන්නවා. “ජාතික ආන්ඩුව” ජාතිය තරම් ම ලොකු වීම ස්වභාවයක් නිසා දෝ දිනපතා ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති ආදී පත්වීම් ද දීගෙන දීගෙන යනවා. මේ ඇමති පත්වීම් ගැන හදිසියේ කම්පනයට පත් වෙන ඇතැමෙක් යන්තම් කෙඳිරියක් නැඟුවත් එයින් මේ ආන්ඩුව “යන ගමනට” හානියක් කරන්න ඔවුන්ගේ කැමැත්තක් නෑ. කලකිරීම උත්සන්න ම මට්ටමට නැඟුන විටක වුනත් ‘ආන්ඩුව පත් කරපු ජනතාව ඉවත් කර වෙනත් ජනතාවක් පත් කරගැනීම’ වැනි අපබ්‍රංස වැඩ සඳහා බර්ටෝල්ට් බ්‍රෙශ්ට්ගේ ප්‍රතිරූපය ඔසවා වනවනා හිඳීමෙන් ඔබ්බට යන කැරැල්ලක් මේ වීරයින්ගෙන් පැන නඟින පාටක් නෑ.
ඒ අතර ජාතික ආන්ඩු ගැන ලියන ඇතැමෙක් පාන්ඩිත්‍යයෙන් අනූන ව එවැනි ආන්ඩු අටවනු ලැබූ අවස්ථා ඉතිහාසයෙන් ගෙන හැර පාමින් “විවිධ අර්බුද අවස්ථාවල” ජාතික ආන්ඩු පිහිටුවන්න ලොව විවිධ පාලකයින් පෙරට ආ බව කීවත් දැන් අප මුහුන පා සිටින්නේ කෙබඳු අර්බුදයක් දැයි කියන කෙනෙක් පේන්න නෑ. මේ “ජාතික ආන්ඩුව” මගින් විසඳාගැනීමට අදහස් කරන අර්බුදය කුමක් ද? “අපට” ජාතික ආන්ඩුවක් අවශ්‍ය ඇයි? එකමුතු වී වැඩ කිරීම “හොඳ ලමයින්ගේ” ගුනයක් නිසා වත් ද?
ශ්‍රී ලංකාව අනන්‍ය – අපරතන්ත්‍ර ආකාස කුසුමක් ලෙස (නොහොත් මාලු ටැංකියක් ලෙස)
ජාතික ආන්ඩුව ගැන ලියන ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යකරුවනුත්, දේශපාලන විශ්ලේශකයිනුත් ගන්නේ පසුගිය ජනාධිපතිවරනයේ දී ගත්තාට සමාන ප්‍රවිශ්ටයක්. මේ ශ්‍රී ලංකාද්වීපය අනන්‍ය – අපරතන්ත්‍ර ඒකකයක් බවත්, ලෝක ගෝලයේ සිදු වන දේශපාලන හා සමාජ-ආර්ථික චලනයන්ට අසම්බන්ධිත ක්‍රියාවලියක් ඒ තුල සිදු වන බවත් මොවුන් විශ්වාස කරන බව පේනවා. අඩු තරමින් පාඨක අපට ඒත්තු ගන්වන්න හදන්නේ එහෙම යි. ජනාධිපතිවරනයෙන් පසු හටගත් පාලනතන්ත්‍ර මාරුව අතිසරල ලෙස “රාජපක්ශ පවුල් පාලනය” බිඳ වැටීමක් හැටියට, “ජනතා ජයග්‍රහනයක්” හැටියට “ප්‍රජාතන්ත්‍රවාදයේ ජයක්” හැටියට ගෙන හැර පෑමෙන් ඔවුන් තෘප්තියට පත් වෙනවා. කලාකරුවන්, “ක්‍රියාධරයින්”, “බුද්ධිමතුන්” ඇතුලු විවිධ රැඩිකල් කොටස් මේ චිත්‍රය නිර්මානය කරන්න දායක වෙනවා. ඔවුන්ට අනුව දැන් කල යුත්තේ මේ ජනතා ජය “ආපසු හරවන්න” ඉඩ නො දී “රැක ගැනීම” යි. ජනාධිපතිවරනය දක්වා කටක් නොහොල්ලා සිටීම “වෙනසක් අපේක්ශා කරන” සැමගේ වගකීම බව මොවුන් තිර කොට කියා සිටියා. වෙනත් විවේචනයක යෙදීම රාජපක්ශ සමාගමට වාසි ගෙන දෙනු ඇති; එහෙයින් ඡන්ද කඩා “පොදු” විපක්ශය දුර්වල කොට රාජපක්ශගේ බලය තහවුරු කිරීම නමැති අපරාධය නොකට යුතු යුතු බව “පොදු අපේක්ශකයාගේ” දේශපාලනය විවේචනය කරන අයට ලැබුනු අවවාදය යි. ජනවාරි 8 ට පෙර සහ පසු දෙකේ දී ම හැසිරිය යුත්තේ කෙසේ ද යන්න ගැන දැඩි, ඇතැම් විට ප්‍රචන්ඩ පවා වූ “අවවාද” දෙන්න ඉදිරිපත් වුනු මේ පිරිස් දැන් කියන්නේ මැතිවරනයට පසු “පුරවැසි වගකීම” ගැන යි. පෙනෙන විදිහට නම් දිගින් දිගට ම හොඳ කීකරු ලමාලපටි පිරිසක් අවශ්‍ය පාලන තන්ත්‍රයක් මේක.
මේ ගැන විකල්ප පැහැදිලි කිරීමක් නැද්ද?
ජනවාරියේ දී සිදු වූ ආන්ඩු මාරුව පසුපස පැවැති කලාපීය බල තුලනය පිලිබඳ ගතිකයන් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ භූමිකාව අනාවරනය කරමින් මැදිහත් වෙන්න සමත් වුනේ ලෝක සමාජවාදී වෙබ් අඩෙවිය සහ සමාජවාදී සමානතා පක්ශය පමන යි. ඔවුන් මෙරට භාවිත වන ප්‍රධාන භාශා තුනෙන් ම නිරවුල් ව කරුනු පැහැදිලි කලා විතරක් නෙමෙයි මේ මැතිවරන දෙකට ම තරගත් කලා. නමුත් ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය සහ “යහ පාලන චින්තකයින්”, දිගහැරෙමින් පැවතුනු පෙරලිය පිලිබඳ WSWS විශ්ලේශනය හිතාමතා ම යට ගැසූ බව මිස අනෙකක් මට නම් සිතාගත නොහැකි යි.
ආසියාකරය තුල යුද තර්ජනය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ භූමිකාව
සමාජවාදී සමානතා පක්ශය සිය විශ්ලේශනය ආසියාකරයේ වැඩෙමින් පවතින යුද අන්තරාය පිලිබඳ හා ලෝක ආර්ථික අර්බුදය පිලිබඳ සන්දර්භයේ තැබුවා. චීනය වටා ඉන්දු-ආසියා-ශාන්තිකර කලාපය තුල යුද්ධයක් නොපවතින සමයක පැවත ඇති ඉහල ම වාර්තාගත මිලිටරි පෙලගැසීම සහිත ව ඇමෙරිකා එක්සත් ජනපදය අවි අමෝරාගෙන ඉන්නේ විනෝදය පිනිස නෙමෙයි. මේ මිලිටරිවාදය 2008 මෙපිට නොකඩවා පුපුරා ඇද වැටෙමින් පවතින ලෝක ආර්ථික පද්ධතියේ තත්වය පිලිබඳ ප්‍රකාශනයක්. සිය අර්බුදයෙන් ගොඩ ඒමේ මඟ හැටියට ඇමෙරිකා එක්සත් ජනපද පාලක පන්තියේ සැලකිය යුතු කොටසක් දකින්නේ මිලිටරිමය ආකාරයකින් චීනය දනගස්සා සමස්ත කලාපය ම සිය ඍජු අධිකාරයට නතු කරගත යුතු බව යි. චීනය තුල ප්‍රසාරිත ආර්ථිකයෙහි වැඩි “අයිතිය” ඇමෙරිකානු සමාගම් සතු වුවත්, එයින් නතර විය හැකි තත්වයක එක්සත් ජනපදය අද නැහැ. කඩා වැටෙන ආර්ථිකය විසින් ලොව පුරා පාලක පන්තීන් තුල ජනනය කර තිබෙන හිස ගිනිගත් කඩිකුලප්පුව (desperation) පිලිබඳ දර්ශකයක් ඒක. චීනය මිලිටරිමය ආකාරයෙන් වටලෑමට හා ඊට සමාන්තර ව එරට රාජතාන්ත්‍රික ව හුදෙකලා කොට කලාපීය බල තුලනය රූපාන්තරනය කිරීම එක ම ක්‍රියාවලියේ පැතිකඩ දෙකක්.
රාජපක්ශ පාලන තන්ත්‍රය චීනය සමග පවත්වාගෙන ගිය සමීප සම්බන්ධය බිඳීමට හැකි හැම වෑයමක් ම දරමින් සිටි එක්සත් ජනපදය හදිසි ජනපතිවරනයක් නිවේදනය කිරීමෙන් උදා වූ අවස්ථාව සිය වාසියට ඩැහැගත්තා. ක්ලින්ටන් පදනම සහ ඇමෙරිකානු පාලක ප්‍රභූ කව සමග සමීප සම්බන්ධතා පවත්වමින් සිටි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, එක්සත් ජාතික පක්ශ නායක රනිල් වික්‍රමසිංහ සමග මේ තන්ත්‍ර මාරු වැඩපිලිවෙල සම්බන්ධ “කපුකම” සිදු කල ප්‍රධාන කාරිකාවක්. ඔවුන් එතෙක් රාජ්‍ය නායකත්වයට විවෘත ව හිමිකම් කියා නොපෑ, රාජපක්ශ තන්ත්‍රය තුල සිටි දෙවන පෙල නායකයකු සුදු පිලි අන්දවා රහසින් පේ කොට දොරට වැඩැම්මූ ආකාරය අතිශය නාටකීය යි; ක්‍රමන්ත්‍රනකාරී යි. රාජපක්ශගේ අපේක්ශකත්වය නිවේදනය කරන අවසන් මොහොත දක්වා සිය සූදානම රහසිගත ව පවත්වාගෙන ගිය මේ කල්ලිය, කිසිදු දුරදිග යන දේශපාලන විශ්ලේශනයකින්, පැහැදිලි කිරීමකින් තොර ව එක රැයින් “පවුල් පාලනයට” එරෙහි පොදු අපේක්ශකයා කරලියට ගෙන ආවා. මේ කරුනු කියා පෑම රාජපක්ශ තන්ත්‍රයේ සුදුහුනු ගෑමක් නෙමෙයි; රාජපක්ශ පාලනයට එරෙහි ව වැඩී අවුත් තිබුනු පුලුල් මහජන විරෝධය නැතැයි කීමකුත් නෙමෙයි. පාලන තන්ත්‍ර මාරුව පිලිබඳ දේශපාලන වාතාවරනය සම්පූර්නයෙන් දැකගන්න මේ සියලු සාධක නැතුව බැහැ. ඒත් මෙරට සංස්ථාපිත මාධ්‍ය කටයුතු කලේ සම්පූර්නයෙන් ම මෙකී සාධක ගැන වගේ වගක් නැතුව යි.
ආසියාකරයේ සහ ලෝකපරිමාන ව පැන නැඟී ඇති යුද අවදානම විහිලුවක් බවත් ධනවාදය පෙරලා දැමීමේ අටියෙන් කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිතයින් සඳහා ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟීම මනස්ගාතයක් බවත් කියමින් යහපාලන චින්තකයින් යෝජනා කලේ එවැනි “ලොකු වැඩ” ජනවාරි 8 න් පසු, සහ නැවතත් අගෝස්තු 17 න් පසු ගොඩගන්නා තුරු වල දමන ලෙස යි! ඔවුන්ට අනුව කල යුතු, ඊට වඩා හදිසි, “ප්‍රායෝගික” වැඩ බොහෝමයක් තිබුනා. දැන් ඔවුන් අනුදැන වදාරන්නේ අලුත් පාලනය තුල “පුරවැසි” භූමිකා ගැන යි. හොඳ පුරවැසියන් වන සැටි යි.
“පොදු අපේක්ශකයාගේ” දේශපාලන වාර්තාව
රාජපක්ශ ආන්ඩුවෙන් එලියට බැස සිය අපේක්ශකත්වය නිවේදනය කරන මොහොත දක්වා මෛත්‍රීපාල සිරිසේන වැඩ කලේ ජනාධිපති රාජපක්ශගේ අග්‍ර ශ්‍රාවකයෙක් හා අන්තේවාසිකයෙක් හැටියට යි. කොටින් ම එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ අවසන් දිනවල විදේශගත වූ රාජපක්ශ වෙනුවට මිලිටරියේ ඉහල ම අනදෙන නිලධාරියා හැටියට රැඳවීමට පවා විශ්වාසය තබනු ලැබුවේ ඔහු මත යි. සෞඛ්‍ය ක්ශේත්‍රයේ වැඩවර්ජන බිඳීමට හමුදාව යෙදවීමෙන් කුප්‍රකට වූ මොහු රාජපක්ශ පාලන තන්ත්‍රය ආරම්භයේ සිට අන්තිම මොහොත දක්වා ම කල සියලු අපරාධවල හවුල්කරුවෙක්. මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලනය එම තන්ත්‍රයෙන් හා එහි පිලිවෙත්වලින් වෙන් කල හැක්කේ ඉතිහාසය යනු ජනාධිපතිවරනය කැඳවීමෙන් පසු ආරම්භ වූවක් හැටියට සලකන්නෙකුට පමන යි. ඒත් යහපාලන මාධ්‍ය-කලාකාර-විද්වත් පරපුර එක හඬින් අපට නිර්දේශ කලේ මොහු “පොදු අපේක්ශකයා” බවත් “යහ පාලනය” පිලිබඳ සුදෝ සුදු යහ ප්‍රාර්ථනා ඔහු තුලින් මූර්තිමත් වන බවත් පමන යි. විධායක ජනාධිපති ක්‍රමය අවසන් කොට යහ පාලනය තහවුරු කරන තුරු දේශපාලන සාකච්ඡා, විකල්පයන් ඉල්ලා හඬනැඟීම් නවත්වා දමන මෙන් මේ විද්වත්තු අපට නිර්දේශ කලා. එම යහපාලන පෙරහරේ ප්‍රධාන කසකරුවකු වුනු ගාමිනී වියන්ගොඩ ගිනි ගෙන දැවෙනා නිවෙස පිලිබඳ දෘශ්ටාන්ත කතාව/කවිය සමග අඹරා (තවත් වරක්, බර්ටෝල්ට් බ්‍රෙශ්ට් සමග කලතා) මහජනතාවට ඉදිරිපත් කල මේ ගුලිය පොදුවේ යහපාලන “චින්තකයින්ගේ” දෘශ්ටිය සම්පින්ඩනය කරන්නක්. විධායක ජනාධිපති ක්‍රමය “අවසන්” කල ආකාරය ගැනත්, “ගිනි නිවමින්” ගත කල දින සීයේ “යහපාලනය” ගැනත් දැන් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ, කවුරුත් දන්නවා.
තොත්ත බබුන්, විසකුරු සපුන් සමග අවංක පන්ඩිතයෝ
මෙතන දී කෙනෙක් අතුරු ප්‍රශ්නයක් අහන්න පුලුවන්, එතකොට මාධ්‍යවල ඉන්නේ තොත්ත බබ්බු ද? මේ දේශපාලන විශ්ලේශකයෝ, ක්‍රියාධරයෝ ඒ කරුනුකාරනා ගැන පාරප්‍රාප්ත විද්වත් උදවිය නෙමෙයි ද? මම හිතන්නෙ එයින් සමහරු තොත්ත බබ්බු තමයි. සමහරු දැනුවත් ව ඉතා සූක්ශ්ම ආකාරයෙන් මහජනතාවගෙන් මේ කරුනු වසන් කරන්න වැඩ කලා; තවදුරටත් වැඩ කරගෙන යනවා. ඉතා දැනුවත්, කෛරාටික ප්‍රතිගාමීත්වයක් පෙන්නුම් කරන කොට්ඨාසයක් ඒ. මීට අමතර ව ඇමෙරිකා එක්සත් ජනපද මැදිහත් වීම සාධනීය, ප්‍රජාතන්ත්‍රවාදී හා “යහපාලන” වර්ධනයකට හිතකර සාධකයක් හැටියට සලකන මාධ්‍යවේදීන් හා විශ්ලේශකයින් ද නැතැයි කියන්න බැහැ. එහෙම අය ඉන්නවා. ඉතින් සමස්ත චිත්‍රය නිර්මානය කරන්න මේ සියලු දෙනා අඩු වැඩි වසයෙන් දායක වුනා. ඒත් සිදු වූ දෙයත්, දැනට දිගහැරෙමින් පවතින දේශපාලන භූදර්ශනයත් තක්සේරු කරගත යුත්තේ එයට සහභාගී වන හා එය පැහැදිලි කිරීමෙහි යෙදෙන පාර්ශ්වයන්ගේ අවංකකම, පක්ශපාතීකම පාදක කරගෙන නෙමෙයි, එකී වර්ධනයන්ට අදාල වෛශයික නියාමයන්, ප්‍රවනතා හා සන්තතීන් පරීක්ශා කිරීමෙනුයි. ඒ ඒ සහභාගීන්ගේ අවංකත්වය හෝ අරමුනුවලින් ස්වාධීන ව ලෝක ආර්ථිකය එයට ආවේනික නියාමයන්ට අනුකූල ව චලනය වෙනවා. එම තත්වය තුල ඉහත වර්ග තුනේ ම උදවියට එක පසුපස එක එනු ඇත්තේ විස්මයෙන්, අන්දුන්කුන්දුන් වීමෙන්, තක්කුමුක්කු වීමෙන් පමනක් මුහුන දීගත හැකි සිදුවීම් පමන යි. ඊනියා සම්මුති කැබිනට්ටුව සමග ඒකාබද්ධ වෙමින් සිටින පැරනි හා අලුත් පාලක පක්ශ දෙකේ ඇමතිවරුන් වනාහි එහි ඉතා සුලු ආරම්භක සලකුනක් විතර යි. මීලඟට විදේශ සේවයේ තීරනාත්මක පත් කිරීම් හා වෙනස් කිරීම්, රාජ්‍ය අංශයේ “ප්‍රතිසංවිධාන”, අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ශේත්‍රවල දුරදිග යන වෙනස්කම් සහ කප්පාදු එක පසුපස එක පැමිනෙන විට මොවුන්ට සිදු වෙන්නේ එක්කෝ කිසිදු පූර්වාපේක්ශාවක් හෝ ඉදිරි දැක්මක් නැතුව දේශපාලනික ව ගල් වී හිරි වැටෙන්න; එහෙමත් නැත්නම් නැවතත් අලුත් කුලප්පුවකින් යුතු ව අලුත් අදූරදර්ශී උප්පරවැට්ටියක් වාත්තු කරගන්න.
“ජාතික ආන්ඩුව” සමග ඉදිරිය කෙබඳුද?
මහින්ද රාජපක්ශ පාලනය අවසන් කොට ඔහු සාමකාමී ව ගෙදර බලා යන බවට සහතික කිරීමට “දුර සිට” මැදිහත් වූ එක්සත් ජනපද පාලනාධිකාරය, ඉන් පසු රාජ්‍ය ලේකම්වරයා එවිමෙනුත් ඉදිරියේ දී ජනපති බැරැක් ඔබාමාගේ ම සංචාරයකිනුත් සංඥා කර තිබෙන්නේ සිදු වුනු හා සිදු වෙමින් පවතින වෙනස්කම් කෙතරම් අර්ථභාරී ද යන්න යි. විදෙස් පිලිවෙතේ පැහැදිලි ලෙස පෙනුනු ප්‍රතිසංවිධානය මගින් මේ ආන්ඩුව තමන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සුවච ආධාරකරුවන් බවට සියලු කොඩි උස්සා තහවුරු කර අවසාන යි. මේ ගනුදෙනු මාලාවේ ම ඊලඟ අදියර හැටියට එතෙක් මෙරට යුද්ධයේ අවසාන අදියරේ සිදු වූ යුද අපරාධ පිලිබඳ ජාත්‍යන්තර පරීක්ශනයක් කල යුතු බවට තමන් එතෙක් කරමින් සිටි කැඳවුම අත්හැර දැමුනු බව සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් කොලඹ දී ම නිවේදනය කර සිටියා. මේ ඊනියා ජාත්‍යන්තර පරීක්ශනය පිලිබඳ රැවිලිගෙරවිලි එක්සත් ජනපදයට අවශ්‍ය වුනේ චීනයට එරෙහි කොල්ලකාරී මෙහෙයුමේ දී ශ්‍රී ලංකාව හිටගන්නේ මොන පැත්තේ ද යන්න තහවුරු කරගන්නා තුරු පමන යි!
ඒත් එතැන් පටන් යන ගමන ගැටුමින් ප්‍රතිවිරෝධයෙන් තොර ව යන්නක් නෙමෙයි. පාර්ලිමේන්තු මැතිවරනයට රාජපක්ශ කන්ඩායම නැවත තරග වැදීමෙන් ම පෙන්නුම් කරන්නේ එය යි. ඒත් අවසන් මොහොත දක්වා රාජපක්ශ අගමැති බවට පත් වෙමින් ලබන ජයක් හොඳින් හෝ නරකින් වලකන බවට එලිපිට ම ප්‍රකාශ කරමින් සටන් කරන තැනකට ජනාධිපතිවරයාත් අලුත් ආන්ඩු පක්ශයත් ගියේ ඇයි? කල් යල් බලා එලියට අදිනු ලැබූ මිනීමැරුම් නඩු, දූශන වංචා විමර්ශන ඇතුලු ජනමාධ්‍ය අබිමුව රඟදැක්වුනු ව්‍යාජ රංගයන් හැටියට පමනක් කෙලවර වුනා. ඒත් මැතිවරන ජය තහවුරු කරගත හැකි තාක් දුරට ඒ රංගනයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න “යහපාලන” ආන්ඩුව සමත් වුනා.
ප්‍රධාන ධනපති පක්ශ දෙක ඒකාබද්ධ කරමින් අටවනු ලැබූ ආන්ඩුව තේරුම් ගැනීමට එම ක්‍රියාවලිය සමග දිගහැරෙමින් පවතින අනෙකුත් ක්‍රියාවලීන් ද උදව් වෙනවා. දින සීයේ වැඩපිලිවෙලින් අඩ වසයෙන් සංඥා කෙරුනු, දැන් පැහැදිලි ලෙස කරලියට ගනිමින් තිබෙන පිලිවෙත් ක්‍රියාවට දැමීම සඳහා පිටිය පිරිසිදු කරගත යුතු තත්වයක ආන්ඩුව ඉන්නවා. ඒ පිරිසිදු කිරීමේ දී චීනය සමග පෙල ගැසී සිටි, එයින් ලාභ පොදි තර කර ගත් පාර්ශ්ව දේශපාලන පිටියේ තීරනාත්මක තැන් සියල්ලෙන් අතුගා දැමීම සිරිසේන-වික්‍රමසිංහ තන්ත්‍රයේ වෑයම බව පේනවා. එහෙම නොකර ඔවුන්ට එක්සත් ජනපද ආන්ඩුවේ කලාපීය සගයන් හැටියට පෙනී ඉන්න හැකියාවක් නැහැ. නමුත් වත්මන් ආන්ඩුව රාජපක්ශ තන්ත්‍රයෙන් පීඩාවට පත් ව සිටි පුලුල් ජනකායන්ගේ (ගොවීන්ගේ , කම්කරුවන්ගේ, ශිශ්‍යයින්ෙග් සහ වෙනත් පීඩිත කොටස්වල) අවශ්‍යතා නියෝජනය කරන විකල්පයක් ද? මේ සියලු සාධක සලකා බලන කෙනෙකුට ගත හැකි අනිවාර්ය නිගමනය එය එසේ නොවන බව යි. දැනට මත් පුවත්පත් මර්දනය පිලිබඳ ප්‍රතිගාමී නීති පනගන්වාගැනීමට කිසිදු හිරිකිතයක්, පසුබට වීමක් තමන්ට නොමැති බවට ආන්ඩුව සංඥා කර අවසන්. දින සීයේ කාලය තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලා සිටි, එහෙත් ප්‍රතික්ශේප වුනු අරමුදල් සම්පාදනය කරගන්න නම් දැවැන්ත කප්පාදු වැඩපිලිවෙලකට යා යුතු යි. මෙය, කලිනුත් කී පරිදි රාජ්‍ය සේවය, සෞඛ්‍ය, අධ්‍යාපන හා ෙවනත් සුභ සාධන අංශවල කෙරෙන මහා පරිමාන කප්පාදුවක්. ඒ අතර සංවර්ධනය නමින් පෙර ආන්ඩුව චීනයට තුරුලු වී ක්‍රියාවට දැමූ වැඩ ම දැන් ඇමෙරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට හේත්තු වී ඉදිරියට ගෙනියන්න අලුත් “යහපාලන” ආන්ඩුව සැරසෙනවා. මහා නගර සංවර්ධනය, ස්ම්ාර්ට් සිටි, මෙගා සිටි, මෙගාපොලිස් යනාදී රූපයන්ගෙන් පැරනි තනුව ම වෙනත් “විදග්ධ” මුහුනුවරකින් දොරට වඩම්මනවා. සමාජයේ පහල ස්තරවල, දාරවල, පරිධියේ වෙසෙන ජනයාට උන්හිටි තැන් අහිමි කොට පලවා හරිමින් කරගෙන ආ “සංවර්ධනය” යලි පනගැන්වෙන අන්දම දැනටමත් දැකගත හැකි යි. ඊනියා ජාතික ආන්ඩුවේ “සම්මුතිවාදය” මේ වැඩපිලිවෙලට අනුමති මුද්‍රාව තබා ක්‍රියාවට දැමීම පිනිස මිස වෙන දෙයකට නෙමෙයි; පැහැදිලි ව ම අපි ඉන්නේ අඳුරු කාලපරිච්ඡේදයක මුව විට.
දැන් ඇමති මන්ඩලයට පත් කෙරුනු පැරනි ආන්ඩුවේ මදාවි ඇමතියන් ඉවත් කරන මෙන් කෙඳිරිලි නැඟීම වැනි ඉතා දියාරු වැඩවලට මේ යහපාලන චින්තකයින්ගෙන් සැලකිය යුතු පිරිසක් පල්ලම් බහිමින් ඉන්නවා. තවත් ඇතැමෙක් තමතමන් උත්සුකයක් දක්වන අමාත්‍යාංශවල ඇමතිවරුන් බලපෑම් දමා මාරු කරගන්න පුලුවන් වේ ය යන මනස්ගාතයෙන් යුතු ව සංවිධානය වෙනවා. මේ වැඩවල පදනමේ පවතින්නේ “මහත්වරුන්”(සහ “නෝනාවරුන්!), “ශිලාචාර දේශපාලකයින්” පාර්ලිමේන්තුවට/කැබිනට්ටුවට යවා, ඇතැයි කියන ඊනියා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ඔසවා ශක්තිමත් කිරීමෙන් සෙතක් උදා වේය යන මිථ්‍යාව යි. ඇත්ත, පාර්ලිමේන්තුවට යන ඒ “මහත්වරුන්ට” සෙතක් උදා වෙන බව ඇත්ත! නමුත් පාලන තන්ත්‍රයට සම්බන්ධ නැති පොදු මහජනතාව කලාපීය වසයෙනුත් දේශීය වසයෙනුත් කබලෙන් ලිපට වැටීමක් මේ “ජාතික ආන්ඩුවෙන්” සලකුනු කෙරෙනවා.