වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

ජාතික සංස්කෘතික ප්‍රතිපත්ති කෙටුම්පත් යෝජනාව සහ සම්පාදකවරුන්ගේ ප්‍රතිචාර

| Comments

අලුතින් යෝජනා වෙමින් පවතින “ජාතික” සංස්කෘතික ප්‍රතිපත්තිය පිලිබඳ මීට පෙර සටහන පල කරන්න උත්තේජනය සැපයුනේ එම ප්‍රතිපත්ති කෙටුම්පත් යෝජනාව සකස් කල කමිටුවේ සාමාජිකයකු වන එම්. සෆීර් මහතා සමග ඊට සුලු මොහොතකට පෙර කෙරුනු දුරකථන සංවාදයකිනුයි. ඒ කතාබහ අහම්බයක්; සංස්කෘතික ප්‍රතිපත්ති පිලිබද අදහස් හුවමාරු කරගන්නා කරන අටියෙන් කෙරුනක් නෙමේ. නමුත් කතාබහ අතර ඔහු එම කෙටුම්පත් සම්පාදන ක්‍රියාවලිය “බොහොම හොඳින්” කෙරීගෙන යන බව සඳහන් නිසා මමත් ඒ කතාවට ප්‍රතිචාර දක්වන්න වුනා.

මේ කෙටුම්පත සමාජගත කරනවා කිව්වට ඒක කෙහේවත් හොයාගන්න නැත්තේ මොකද කියලා මම ඔහුගෙන් ඇහුවා. එවිට ඔහු කිව්වේ ලියවිල්ල ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා සිය Facebook පිටුවේ පල කර තිබෙන බව. ඒත් හාරා හොයාබැලුවත් එවැන්නක් එහි තිබුනේ නෑ. ඒ වෙනුවට තිබුනේ මාධ්‍ය නිවේදනයක්. අදාල ලියවිල්ල “ජනගත” කිරීමේ අවස්ථාව පිලිබඳ මාධ්‍ය නිවේදනයක්. ඒ වුනත් එම “ජනගත” කිරීම සිදු වෙන්නේ කවර ස්ථානයක, කවර වේලාවක දැයි එහි සඳහන් ව නෑ. ඊට පෙර දින දෙකක දී එකී “යෝජනා සහ නිර්දේශ” ඇතුලත් කෙටුම්පත ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඉදිරිපත් කල බව ද එහි සඳහන් වෙනවා. එමෙන් ම එම Facebook නිවේදනයට ප්‍රතිචාර දක්වමින් (comment කරමින්) සිය ඊමේල් ලිපිනය එහි සටහන් කරන අයට සුනිල් විජේසිරිවර්ධන මහතා එම ලේඛනයේ පිටපත් යවන්න ඉදිරිපත් ව සිටින බවත් පෙනී ගියා. ඊට අමතර ව අදාල “ජනගත” කිරීමේ දී ගනු ලැබූ ඡායාරූප කිහිපයක් ද – එම අවස්ථාවෙන් පසු පල කරුනු – තවත් Facebook සටහනක දකින්න ලැබුනා. ඒ Facebook පිටුවේ මීට අදාල ව මට දකින්න ලැබුනේ එපමනක් බව කියාසිටි විට අදාල කෙටුම්පතේ පිටපතක් ලැබෙන්න සලස්වන්න සෆීර් මහතා පොරොන්දු වුනා. මගේ සටහනේ ලියා තිබෙන අදහස් මම ඔහුටත් කිව්වා: “ඕනෑකමක් තියෙනවා නම් මේ වගේ ලියවිල්ලක් බාගන්න සලස්සන එක බොහෝම ලේසි වැඩක්. ඕක Word document එකක් හරි PDF එකක් හරි වෙන්න ඕන නේ. ඇයි ඒක සංසරනය කරන්න ඔච්චර අමාරු?”. ඔහු අදාල ලියවිල්ල සොයා මට ඊමේල් කරන අතර මා මේ සටහන ලියා පල කලා; එම සටහනේ අවසන් වැකිය හැර සෙසු කොටස මගේ Facebook පිටුවේත් පල කලේ මේ ලේඛනයේ සම්පාදකවරුන්ගෙන් ඇතැමෙක් (“එලිමහන්” අන්තර්ජාලයේ වෙනුවට) සිය Facebook ගිනුම් මගින් මේ සම්බන්ධ කරුනු කාරනා යම් මට්ටමකින් සන්නිවේදනය කරමින් සිටිනු දකින්න ලැබුනු නිසා. ඊයේ සුනිල් විජේසිරිවර්ධන මහතා මගේ අදහසට ප්‍රතිචාර දක්වා තිබුනා.

ඒත් මම Facebook සංවාදකරුවෙක් නොවන නිසා එලිමහන් අන්තර්ජාලය මට වඩා ප්‍රිය යි. ඒ විතරක් නෙමෙයි, බ්ලොග් අඩෙවියක පල වූ දෙයක්, හටගත් සංවාදයක් හෝ සාකච්ඡාවක් වඩා විධිමත් ව ගොනු වී තියෙනවා; පසු කාලයක පහසුවෙන් හොයාගන්නත් පුලුවන්. ඒ නිසා ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සිය Facebook බිත්තියේ ලියා තිබෙන ප්‍රතිචාරය මෙතැනත් උපුටා දක්වන්න කැමති යි:

“අපි කැමති වුනත් නැතත් රාජ්‍යය සහ එහි සංස්කෘතික ආයතන රටක කලාවේ පැවැත්මට බලපානවා. එතනින් යට, සමාජය කලාවට සම්බන්ධ වන ආකාරය තීරණය කරන සමාජ- සංස්කෘතික සාධක රාශියක් තියෙනවා. ඉතින් කල්පනා කරන මිනිස්සු එකතු වෙලා මේ ගැන සොයල තත්ත්වය දියුණු කරගන්න අවශ්‍ය නැද්ද?. රජය කළ යුතු දේ නොකොට නොකළ යුතු දේ කරන කොට එයට අන්ධව ඉන්න එකද හරි? ඔබේ සැකය සාධාරණ නමුත් මේ කාරණය කියන්න කැමතියි. මම මේ කෙටුම් පත් කමිටුවේ සාමාජිකයෙක්. නමුත් මේ කමිටුව ස්වෙච්චා කණ්ඩායමක්, ඒ නිසා අහවල් තැනින් කෙටුම් පත ගන්න කියල ආයතනයක් නම් කරන්න අපට බැහැ. මේ කෙටුම් පත අපි ප්‍රසිද්ධියේ ජනතාවට ඉදිරිපත් කලා පසුගිය 29දා කොළඹදී. එතනදී අපි විශේෂ email ලිපිනයක් සහ තව contacts ලබා දුන්නා මේක ගෙන්න ගන්න අවශ්‍ය කෙනෙකුට භාවිතා කරන්න. මේක රහසේ කරපු වැඩක් නෙමේ, මීට කළින් කලාකරුවන්ගේ ප්‍රසිද්ධ සභා ගණනාවක දි මේ ගැන කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඉදිරි මාස 06දි අපිම සංවිධානය කරන සාකච්චා සම්මන්ත්‍රණ ගණනාවක් තියමින් රට පුරා යන්න අපි බලාපොරොත්තු වෙනවා, මේ කෙටුම් පත සාකච්චා කරලා එය සංවර්ධනය කිරීමේ බලාපොරොත්තුවෙන්. ‘මම එතැන නැත්නම් ඒක වැරදියි’ කියල නොහිතන අය අපට ආරාධනා කරනවා සාකච්චා සඳහා ; කැලණිය විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය ඒ අතර. මීගමුවේ ජනාවබෝධ කේන්ද්‍රය ඇතුළු සමාජ සංස්කෘතික සංවිධාන කිහිපයක් එකතුවෙලා ජූනි 14දා සම්මන්ත්‍රණයක් පවත්වනවා.., ඉදිරියේ එවැනි සිදුවීම් බොහෝ වෙයි. මහාචාර්ය සුමනසිරි ලියනගේ ලියා තිබුණා මේක ආකර්ශනීය ආරම්භයක් ; ප්‍රතිපත්ති සම්පාදනය දේශපාලකයින්ගෙන් ජනතාව /සිවිල් පරදු දරන්නන් අතට ගැනීමේ අභියෝගය සම්බන්ධයෙන් හිතන විට – ඔහුත් ආර්ථික ප්‍රතිපත්ති ගැන සාකච්චා කෙටුම් පතක් සකස් කිරීම සඳහා උත්තේජනයක් ලැබුවා කියා. එහෙමත් මේ ගැන හිතන්න පුළුවන් – ඔබ හිතන විදිහට විරෝධය දක්වන්නත් පුළුවන්. මේක කෙටුම් පතක් පමණයි, අපේ උත්සාහය දකුණේ සහ උතුරේ හැකි තරම් විශාල පිරිසක් කරා මේ අදහස් මාලාව ගෙන ගොස්, තෙරපුමක් ප්‍රතිපත්ති තීරකයන් මත ඇතිකරන්න. නිසැකින්ම ඔබට ඉඩ තියෙනවා පැත්තක් තෝරා ගන්න. මේක පිටු 12-13 ක ලේඛණයක් ; උත්සාහ කරනවා එය පහසුවෙන් ගන්න ක්‍රමයක් සකස් කරන්න.”

“කලාව හා සංස්කෘතිය සඳහා වූ නව ජාතික ප්‍රතිපත්තියක් සදහා ධවල පත්‍රිකාව”

එම්. සෆීර් මහතාගෙන් ලැබුනු කෙටුම්පතින් PDF ගොනුවක් සකස් කොට මෙතැනින් බාගන්න සලස්වන්න මම කල්පනා කලා. සම්පාදකවරුන් එය හඳුන්වන්නේ “කලාව හා සංස්කෘතිය සඳහා වූ නව ජාතික ප්‍රතිපත්තියක් සදහා ධවල පත්‍රිකාව” යන නමින් (බාගැනීම සඳහා මෙතන ක්ලික් කරන්න) ඔවුන්ට අනුව මේ 2015 මැයි 08 වැනි දින සංස්කරනය.

අදාල කෙටුම්පත අධ්‍යයනය කර අදහස් දක්වන්න දැන් පෙරට වඩා වැඩි දෙනෙකුට ඉඩ ලැබේ ය කියලා මම හිතනවා. ඇත්තට ම මේ ලියවිල්ල සකස් කරපු පිරිස මැදිහත් වුනා නම් මීට වඩා එලිමහනට, වැඩි දෙනෙක් අතට ඒක යවන්න හැකියාව ලැබෙන්න තිබුනා. මේ අදහස් හුවමාරුවෙන් එවැන්නකට උත්තේජනයක් ලැබුනා නම් ඒක ගැන සතුටු යි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මම ලියූ අදහස් වඩා සමබර සන්දර්භයකට ගේන්න මේ සියල්ල පල කිරීමෙන් යම් තරමකට හැකි වුනා කියලත් මම කල්පනා කරනවා. යෝජිත ප්‍රතිපත්ති ලේඛනය ගැන වැඩිදුර අදහස් දක්වන්න නම් ඒක කියවන්න වෙනවා, අධ්‍යයනය කරන්න වෙනවා.

අදාල පැරනි සටහන්:
* අපි නොදන්න ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය – අංක 2
* අපි නොදන්න ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය

Comments