“නෙළුම් පොකුණ අපට අභිමානයක්. එහි මිල අඩු කළොත් නූගතයි, උගතයි හැම කෙනාම ඇවිත් මේක විනාශ කරන්න පුළුවන්. රඟහලක කටයුතු ගැන අපි දැනගෙන ඉන්න ඕනෑ. අපි එයට යන්න පෙර පුහුණුවීම් කළ යුතුයි. රඟහලක හැසිරෙන ආකාරය, එහි මෙවලම් පාවිච්චි කරන ආකාරය අපි ඉගෙනගත යුතුයි. නැතුව ඒවාට බැණ වදින එක නොවෙයි කළ යුත්තේ. අද කලාකරුවන්ගේ විනයක් නෑ. තමන්ගේ වැඩේ කරගන්නවා විතරයි. අනෙක් අය ගැන බලන්නේ නෑ. ඒක විශාල අභාග්‍යයක්”
පසුගිය සිකුරාදා (2014 මැයි 2) ලංකාදීප පුවත්පතේ රසවින්දන අතිරේකයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පටාචාරා නෘත්‍ය නාට්‍යයේ අධ්‍යක්ශිකා ජානකී හිල් ගර්ජනා කර තිබුනේ එහෙම යි. ඇගේ කෘතිය දෙවැනි වතාවටත් නෙලුම් පොකුන (ආන්ඩුවේ වියාකරනයට අනුව නෙළුම් පොකුණ) මහින්ද රාජපක්ශ ජාතික රඟහලේ වේදිකාගත වීමේ මූල්‍ය ශක්තිය ලබලා. මංගල දැක්මට ගිය වියදම රුපියල් කෝටියක් ලු! ඉහත උපුටාගත් කතාවට ඉලක්ක වුනේ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල කර තිබූ ප්‍රකාශයක්. සංවාදය මෙහෙයවූ සමන්ත යහම්පත් ඇසූ ප්‍රශ්නය මෙහෙම යි: “වේදිකා නාට්‍යවලට නෙළුම් පොකුණ සුදුසු රඟහලක් නොවන බව පසුගියදා පරාක්‍රම නිරිඇල්ල නාට්‍යවේදියා සඳහන් කර තිබුණා, මේ පිළිබඳ ඔබ දරන මතය කුමක්ද?”
පරාක්‍රම නිරිඇල්ල මහතා මෙවැනි ගර්ජනාවක් අහගන්නා තැනට වැඩ සිද්ද කරගත් අන්දම ගැන වෙනම ලිපි පෙලක් ලියන්න වටිනවා. ජානකී හිල්ට අනුව පරාක්‍රම නිරිඇල්ල කියන්නෙත් තමුන්ගේ මට්ටමේ කෙනෙක් නෙමෙයි. මේ වගේ වැදගත් තැන්වලට යන විදිහ දන්නේ නැති නූගතෙක්.
මේ ආන්ඩුවේ සංස්කෘතික පිලිවෙතේ අතිශයින් ම තිරශ්චීන ප්‍රකාශන තව ම එලියට එන්න පටන්ගත්තා විතර යි. ස්ත්‍රීන්ගේ ගවුම්වල දිග ගැන නිර්දේශ සපයන්න මහාචාර්යවරයකුගෙන් යුත් ඒකපුද්ගල කමිටු පත් කරන විට, නාට්‍යවල දුම්බීමේ දර්ශන අල්ලන්න ලයනල් වෙන්ඩ්ට් රඟහලට පොලිසියෙන් පනින විට ගොඩක් අය හිතුවේ වෙන්න තියෙන නරක ම දේ වෙලා ඉවරයි කියලයි. ඒත් මට පේන විදිහට දේවල් වෙන්න පටන්ගත්තා විතර යි. මේ අමන සංස්කෘතික පිලිවෙත්වලට උපත සපයන දේශපාලන දෘශ්ටීන්ට අනුගත වුනු කලාකරුවන් ම තමුන්ගේ දේශපාලන හා මිලිටරි හාම්පුතුන් වෙනුවෙන් බුරන්න ඉදිරිපත් වීම ඇරඹූ විට තත්වය කෙතරම් ජුගුප්සාජනක ද යන්න දැන් පේන්න පටන්ගෙන තිබෙනවා. ඉස්සර මෙවැනි අය හිටියේ නාට්‍ය අනුමන්ඩලය, සාහිත්‍ය අනුමන්ඩලය වැනි තැන්වල විතර යි. නමුත් මේ විදිහට බුරන්නේ නැතුව තමුන්ගේ වැඩේ කරගන්න බැරි බව අන්තර්ඥානයට හසුකරගන්නා ඇතැම් “බුද්ධිමත්” “කලාකරුවෝ” ඔය බුරන වැඩේට අතගහන යුගය ඉස්සරහට එනවා.
හිල්ට අනුව නෙලුම් පොකුන මේ තරම් “අස්ප ගනන්” වීම හරි ම හොඳ දෙයක්. මොකද “නූගතයි, උගතයි” හැම එකා ම ඇවිත් මේ අගනා සංස්කෘතික අවකාශය විනාශ කිරීම ඒ නිසා වැලකෙනවා! මේක ඇත්තට ම ඉතා වැදගත් ප්‍රකාශයක්. කවුරුත් මේක නැවත වාරයක් කියවා බැලීම වටිනවා. ඇය එම සාකච්ඡාව තුල නෙලුම් පොකුනේ හමුදා පරිපාලනය ප්‍රශංසාවට ලක් කරනවා. ඒකත් නාට්‍යකරු පරාක්‍රම නිරිඇල්ලගේ චෝදනාවකට ප්‍රතිචාරයක් හැටියට:
“මගේ නාට්‍යයේ වැඩිපුරම ඉන්නේ ගැහැනු ළමයි. ඒ අය තරුණ අය. සාමාන්‍ය රඟහලකට ගියොත් මෙවැනි ළමයින්ට උසුළු විසුළු කරන අය දකින්න පුළුවන්. මෙතැන සිටින්නේ හමුදාවේ අය. ඔවුන්ට මනා විනයක් තියෙනවා. ඒක අපට ලොකු පහසුවක් වුණා. නැත්නම් ගැහැනු ළමයින් ආරක්ෂා කරගන්න අපට වෙනම කණ්ඩායමක් පත් කරන්න වෙනවා. අනෙක අප එතැනට යන විට ඒ ගැන දැනුම්වත් වී යා යුතුයි. එයට කලින් පෙරසූදානම් විය යුතුයි. කලාකරුවන් එහෙම නොවී එතැන වැඩ කරන්න ගියොත් අපහසුතා ඇති වෙන්න පුලුවන්.” නාට්‍ය රඟදැක්වීමට පවා ඉඩ නොදී වේදිකාව “ආරක්ශා කරන” මේ හමුදා “විනය” කලාවේ මුරකාරකමට සුදුසුකමක් හැටියට සහතික දෙන පිරිස ඉදිරියේදී තවත් ඉහල යාවි.
පසුගිය වකවානුව පුරා ක්‍රමයෙන් වැඩී ප්‍රකාශයට පත් වුනු මොවුන්ගේ ආන්ඩුවේ සංස්කෘතික ප්‍රතිපත්තිය නිරීක්ශනය කරන කෙනෙකුට පැහැදිලි ව පේන්න තිබුනු දෙයක් තමයි “උගතටයි – නූගතාටයි” හිතේ හැටියට කලා නිර්මාන කරන්න, ඒකරාශී වෙන්න, සංවාදයේ යෙදෙන්න තිබුනු අවකාශ සියල්ලක් ම පාහේ බුල්ඩෝසර් කර හකුලා දමන්න කටයුතු කෙරුනු අන්දම. ඉතුරු වුනු බොහෝ තැන්වල ඔත්තු බලන්න CCTV කැමරාත් “ලංකාව රක්නා” බලකායනුත් රඳවනු ලැබුවා. රුපියල් පන්දහසක පමන මුදලකට, ආලෝකකරන උපකරන හා ශබ්ද වාහිනී ද සමගින් රඟහලක් ලබාගන්න තිබුනු අවසාන අවස්ථාව ජෝන් ද සිල්වා රඟහල සමග මරා දමනු ලැබුනා. දැන් “කොල්ලටයි බල්ලටයි උගතටයි නූගතාටයි” හැමෝටම කලාව “විනාස කරන්න” අමාරු වේගනයි එන්නේ. ඒ වෙනුවට මුදල් ගෙවිය හැකි වැදගතාට කලාව නිර්වචනය කොට, රැකගෙන, නියාමනය කරගෙන පවත්වාගෙන යාමේ අවකාශය විවර වේගන යනවා. ඒ උදවිය තමයි සංස්කෘතියේ භාරකාරයෝ.
මරා දැමූ ජෝන් ද සිල්වා රඟහලට යාබද ඉඩමේ තියෙන නෙලුම් පොකුනේ ප්‍රධාන රඟහලේ වත්මන් ගාස්තු මෙහෙමයි:
- පලමු දර්ශනය සඳහා රුපියල් 840 000
- දෙවැනි දර්ශනය සඳහා රුපියල් 672 000
- අතිරේක පැයකට රුපියල් 168 000
- පෙරහුරු සහ සංවිධාන කටයුතු සඳහා පැයකට රුපියල් 112 000
- අාපසු ගෙවනු ලබන තැන්පතුව රුපියල් 150 000
ජානකී හිල්ගේ මුවින් පිට වෙන අදහස්වලින් පිලිබිඹු වෙන්නේ අද මෙරට විවිධ නිල කලා සංස්ථාවන්ට හා කර්මාන්තයන්ට අරක්ගත් බහිරවයින්ගේ පිලිවෙත. “හැම කොල්ලටම – බල්ලටම” පොත් ලියන්නත් පල කරන්නත් තියෙන නිදහස වැට බැඳ නියාමනය කරන්න පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ගුනසේන විතාන ප්‍රමුඛ ප්‍රවනතාවක් ඉදිරිපත් වී ඉන්නවා. ඔවුන්ගේ අරමුනත් මීට සමාන යි. ගුනසේන විතාන මහතා රිවිර පුවත්පතට ප්‍රකාශ කර තිබූ අන්දමට නම් මේ උප්පරවැට්ටිය ක්‍රියාවට දැමීමේ දී රජය සමග අත්වැල් බැඳගන්නත් ලොකු උද්‍යෝගයක් එතුමාට තියෙනවා. ස්ටැලින්වාදී සෝවියට් සංගමය සෙට්ටපෝච්චි වී යනතුරු ම එයට දනගසා වන්දනාමාන කරමින් සමාජ සත්තා යථාර්ථවාදය නමැති රාජ්‍ය කලා මතවාදය ප්‍රචාරය කල කල ඔහු වැන්නෙකුට පතපොත සංස්කරනය හා ප්‍රකාශනය නියාමනය වෙනුවෙන් රාජ්‍ය තන්ත්‍රය සමග අත්වැල් බැඳගැනීම ඉතා රුචිය වඩවන දෙයක් වුනත් පොත් ප්‍රකාශකයින්ගෙන් බහුතරයක් ඒ අදහසට එකඟ වේය කියා හිතන්න අමාරුයි. ඒත් මේ නියාමන වැඩපිලිවෙල පෙරට දැමීම ගැන ඔවුන් බොහෝ සෙයින් ඒකමතික අදහසක ඉන්න බව පේනවා. මේ යටතේ පොතපත පල කිරීමට ප්‍රථම ප්‍රකාශන ආයතනය (සහ ගුනසේන විතානට අනුව රජයේ මැදිහත් වීමෙන්) සංස්කරන ක්‍රියාදාමයකට යටත් කිරීම, ලේඛකයින් හා ප්‍රකාශකයින් අතර ගිවිසුම් යනාදී විධිවිධාන ඇතුලත් “ජාතික” ප්‍රඥප්තියක් ගෙන ඒමට යෝජිත යි. මේ අතර එක්තරා මන්ත්‍රීවරයකුගේ පෞද්ගලික යෝජනාවක් වසයෙන් මීට සමාන යමක් සැකසී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුනු බව ද දැනගන්න තියෙනවා. ඇත්ත!: කර්තෘ ප්‍රකාශන හැටියට “හිතුමතේ, හිතෙන හිතෙන දේ ගැන” පොත් ගහන “කොල්ලන්ට බල්ලන්ට” මේකෙන් වැට බඳින්න පුලුවන්.
“ප්‍රමිතිකරනයට”, ජාතික ප්‍රතිපත්තිවලට, ප්‍රඥප්තිවලට මුවා වී නිදහස් අදහස් හා නිර්මාන පල වීමේ අවකාශ අහුරාලීමේ නැඹුරුව එක විදිහක විලාසිතාවක් වගේ එක ස්තරයක් අතර පැතිරීගෙන යනවා. සමහරු බෞද්ධ ප්‍රකාශන නියාමනය කරන්න හඩනඟනවා. මේ නියාමනය කෙරෙන්නේ කාගේ බුද්ධාගමට අනුකූල ව දැයි තව ම නිර්වචනය කරගෙන නෑ. තවත් පිරිසක් ගීත සම්බන්ධයෙන් ද මෙවැනි නියාමනයක් ඉල්ලා හඬ නඟනවා. ඊනියා “කොපිරයිට්ස්” ගැන විශේශඥයින් හැටියට රඟපාමින් අලුත් උජාරුවකින් ලියන ඇතැම් ලේඛක භවතුනුත් මේ වගේ. හැමෝම අපට ගිලින්න ආරාධනය කරන ලනු සමානයි. “අර අරහේ” තියෙන දියුනු රටවල වැඩ කෙරෙන විදිහ මේක යි. ඉතින් අපිටත් දියුනුවෙන් දියුනුවට යන්න, ආසියාවේ ආශ්චර්යය වෙන්න නම් මේ දියුනු ක්‍රම සහ විධි පාවිච්චි කරන්න ඕනෑ. ඔය වගේ බනක් තමයි නිතර අහන්න ලැබෙන්නේ. මේ කතා අහන අයගෙන් සුලුතරයක් දෙනා වත් මේවා ඇත්තද, එහෙමත් නැත්නම් අමු කෙප්ප ද කියලා ටිකක් නැවතිලා හොයා බැලීම වටිනවා. රටක් වුනාම කිසිම කෙනෙකුට මුදලට ගන්න බැරි ජාතික රඟහලක් තියෙන්න ම ඕනැ ද? එවැනි රඟහල් ඉදි කිරීම ලෝකේ දියුනු රටවල ක්‍රමය ද? මහධන රංග කලා නිකේතනවලට අමතර ව ලොව වටා විකල්ප රඟහල්, නිදහස් අවකාශ පිලිබඳ තත්වය මොකක් ද? පොත් ප්‍රකාශන ආයතන වටේ ලේඛකයන් බැඳ දඬුකඳේ ගසාගැනීමට නීති ගිවිසුම් විධිවිධාන දියත් කිරීම අද ලෝක ප්‍රවනතාව ද? මෙවැනි ප්‍රවේශයන් පොත් ප්‍රකාශනයේ දියුනුවට හේතු වුනා ද? එහෙමත් නැත්නම් ඒකේ අනිත් පැත්ත ද? අද කාලේ ලේඛකයින් ප්‍රකාශන ආයතන (publishing houses) කේන්ද්‍ර කරගත් මුද්‍රන/ප්‍රකාශන කර්මාන්තයෙන් ඔබ්බට යන්න උත්සාහ කරනවද නැද්ද? කර්තෘ ප්‍රකාශන/ස්ව-ප්‍රකාශන (self publishing) වැනි දේවල් අලුත් ප්‍රවනතාවක් හැටියට ලොව පුරා ඉදිරියට එමින් තියෙනවද, නැද්ද? මේවා ගැන හොයන විමසන උදවිය ඉන්නා තාක් දුරට මේ පන්ඩිතයින්ට (කේවට්ටයින්ට) හිතේ හැටියට නටන්න ඉඩක් ලැබෙන්නෙ නෑ. ඒ විතරක් නෙමෙයි, එහෙම හොයා බැලුවොත් මේ පන්ඩිතයින් – දැන හෝ නොදැන – හැසිරෙන්නේ සිය මිලිටරි හාම්පුතුන්ගේ සංස්කෘතිය වෙනුවෙන් බුරන ඔඩොක්කු කුක්කන් හැටියට බවත් අනාවරනය වෙන්න ඉඩ තියෙනවා.