වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

හංවඩු ගැහිල්ල, පච්ච කෙටිල්ල සහ තවත් සංස්කෘතික කටයුතු

| Comments

පච්ච කෙටීමත් හංවඩු ගැහීමත් දෙක ම අපේ සංස්කෘතියේ බොහෝ දුර ඈත අතීතයේ පටන් පැවතගෙන එන දේවල්. රාජ්‍ය බලය සහ බුදු සසුන ප්‍රචන්ඩ සන්ධානයකට ගොස් සිටි තවත් එක්තරා අවිචාර සමයක මහාවිහාරයේ අදහස්වලට විපක්ශ මතිමතාන්තර (වෛතුල්‍යවාදී අදහස්) දැරූ භික්ශූන්(දුසිල් මහනුන්!?) පිරිසකගේ සිවුරු අරවා පිටේ හංවඩු ගසා පිටුවාහල් කල සිදුවීමක් පිලිබඳ අහන්න ලැබෙනවා. මේ හංවඩු ගැහීම කලේ ඒ පිරිසට නැවතත් ආපහු එන්න බැරි වෙන්න, ජීවිතාන්තය දක්වා දුන් දඬුවමක් හැටියට. දෙවැනි ලෝක යුද සමයේ යුදෙව්වන්ට එරෙහි නාසි මර්දනය හා සංහාරය තුල විවිධ වර්ගවල හංවඩු ගැසීම් භාවිත වුනා. එකල අවුශ්විට්ස් වැනි කඳවුරු තුල රැඳවියන්ගේ මිනිසත් බව අවප්‍රමාන කරන්න යොදාගැනුනේ හංවඩු ගැසූ අංකයක්. අපේ පැරැන්නෝ ගව මහිසාදීන්ගේ අයිතිය තහවුරු කරගත්තේත් ඒ සතාගේ පිටේ හංවඩුවක් ගහලයි. පිට පුලුස්සන්නේ නැතුව වුනත් පහුගිය කාලේ ගහපු කොටි ත්‍රස්තවාදී හංවඩුව නිසා බොහෝ දෙනෙකුට රටේ ඉන්න බැරුව ගියා.

හංවඩු ගැහිල්ල බලවත් පාර්ශ්වයක් සිය බලයට යටත් පිරිස් හඳුනාගන්න, බැහැර කරන්න, අවමන් කරන්න එහෙමත් නැතිනම් පාලනය කරන්න යොදාගන්න ක්‍රමයක් බවත් අනිත් අතට පච්ච කෙටිල්ල කැමැත්තෙන් සිය සිරුරට එකතු කරගන්නා අලංකරනයක් – විභූශනයක් බවත් ඒ පද දෙකේ භාවිතයෙන් දැන් තහවුරු වෙලා තියෙනවා. සමකාලීන සිංහල බසට එකතු වී ඇති අලුත් පදය වන ටැටූ එක මීට වඩා නාගරික, සමකාලීන, පොප් වැඩ ගනනාවක් ඇඟවුම් කරනවා. මේ “ටැටූ සංස්කෘතිය” ඇතුලේ පච්චයේ පන්ති පදනම, බලපුලුවන්කාරකම පවා වෙනස් වෙලා ඒක ප්‍රධාන ධාරාවකට ඇවිත්.

මගේ මිත්තනියගේ ඤාති සහෝදරයෙක් එක් උරහිසක බුදුරුවත් අනෙක් උරහිසේ මොනර රුවකුත් පච්ච කොටාගෙන හිටි හැටි මට මතක යි. ඒ කාලේ තවත් ඇතැම් ගැමියෝ ගාථා කොටස්, ඇතැම් මන්ත්‍රවල කොටස් යනාදියත් පච්ච කොටාගත්තා. බෞද්ධ දර්ශනය පිලිබඳ කීර්තිධර පේරාදෙනි මහාචාර්යවරයෙකුත් මේ විදිහට බෞද්ධ පච්චයක් පපුවේ කොටාගෙන හිටි බවට කයිකතන්දරයක් අපි පාසැල් ගිය කාලේ පැතිරිලා තිබුනා! ඒ පච්ච කතාවේ ඇත්ත නැත්ත කෙසේ වුනත් කතන්දරෙන් ඇඟවුනේ ඔහු කෙතරම් දැඩි විදියට අදහස්වල එල්ලිලා හිටියද කියන එකයි. ආගමික රූප හා වැකි පච්ච කොටාගැනීම දහමට හා අදහස්වලට සිය පක්ශපාතීත්වය දිවි හිමියෙන් ප්‍රදර්ශනය කරන අදහසින් කරන දේවල්. පසුගිය සතියේ ලංකාවට පැමින පොලිස්-රාජ්‍ය අඩන්තේට්ටම්වලට ලක් ව පිටුවාහල් වෙන්න සිදු වුනු සංචාරිකාව කර තිබුනු අපරාධය වුනේ සිය බාහුවේ බුද්ධ රූපයක් පච්ච කොටාගෙන තිබීම. වාර්තා වෙන පරිදි ඇයත් බෞද්ධයෙක්. වෙනත් “බෞද්ධ රටවල්” ගනනාවක ආගමික ස්ථානවල සංචාරයේ යෙදී පලපුරුදු බෞද්ධයෙක්. බුද්ධ රූප සහිත පච්ච කොටාගත් සංචාරකයන් ගැන මේ විදිහේ ම හාහෝවක් තායිලන්තයේත් කලකට පෙර ඇති වුනා. මෙහේ වගේ ම බුද්ධිමත් සංස්කෘතික ඇමති කෙනෙක් එහෙත් ඉන්න වග මම දැනගත්තේ ඒ ගැන කියවනකොට යි. ඒ වුනත් ඒ තායිලන්තයේ මත් තවත් ඇතැම් ඇතැම් අග්නිදිග ආසියාතික රටවලත් බෞද්ධ භික්ශූන් වහන්සේලාගේ සිරුර පුරා “බෞද්ධ පච්ච” තිබෙනු දකින්න පුලුවන්. තායිලන්තයේ ඇතැම් බෞද්ධ නිකායක භික්ශූන් ඉතා බැරෑරුම් ආගමික වතාවතක් හැටියට සක් යන්ත් නමැති පච්ච කෙටීමේ චාරිත්‍රය කරනවා. භීක්ශුවක් ලවා මේ වර්ගයේ පච්ච කොටාගැනීම මහත්ඵල ලබාදෙන්නක් බව ඇතැම් බෞද්ධයින් විශ්වාස කරනවා. මේ පච්ච උත්සවශ්‍රීයෙන් සමරන අවස්ථාත් තියෙනවා.

මෑතක දී බුද්ධ රූපය පුවත්පත්වල මුද්‍රනය තහනම් කල යුතු බවටත් එක්තරා බෞද්ධ භික්ශුවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වුනා. විවිධ ඇදුම් පැලඳුම් මත බුද්ධ රූපය මුද්‍රනය කර ඇති අන්දම ගැනත් මේ හා සමාන විරෝධයක් වරින් වර පල වෙනු දකින්න පුලුවන්. මේ සියල්ල සිදු වෙන අතරවාරයේ ලොව ලොකු ම, උස ම, පලල ම, දිග ම, ගලෙන් හදපු ලොකු ම, ගඩොලින් හැදූ ලොකු ම යනාදී වසයෙන් විශාලතම බුද්ධ ප්‍රතිමා හැදීමේ තරගයක පෙරමුනේ ලංකාව ඉන්නවා.

බුදුන්ගේ “සංස්කෘතිය” සහ අපේ සංස්කෘති

ඉතින් විවිධ සංස්කෘතීන්ට සහ ඓතිහාසික අවධීන්ට අනුව බුද්ධ රූපයට දක්වන ප්‍රතිචාරය සහ ඒවායේ අරුත් වෙනස් වෙන බව අමුතුවෙන් තර්ක කර පෙන්වා දිය යුත්තක් නෙමෙයි. පැරනි බුදුසමයට අයත් සේ සැලකෙන ලියවිලි පරීක්ශා කරන කෙනෙකුට බුද්ධ රූප වන්දනාව බුදුන් අනුදැන වදාල දෙයක් නෙමේ කියලත් තර්ක කරන්න පුලුවන්. වෙනත් වචනවලින් කියතොත් ප්‍රතිමා වන්දනාව “බුදුන්ගේ කාලේ” “බෞද්ධ සංස්කෘතියට” අයිති දෙයක් හැටියට තිබුනෙ නෑ කියල තර්ක කරන්න බැරිකමක් නෑ. බුදුන්ට “සංස්කෘතින්” රැකීම හා පවත්වාගෙන යාම ගැන උනන්දුවක් තිබුනද වගේ ප්‍රශ්නයකුත් ඒ එක්ක ම මතු වෙනවා. ඒත් අද වෙද්දී බොහෝ “බෞද්ධ සංස්කෘතීන්” තුල විවිධ ස්වරූපයෙන් බුද්ධ රූපය වන්දනයට පාත්‍ර වෙනවා. “බෞද්ධ වීම” පිලිබඳ ප්‍රකාශනයක් හැටියට, ආගමික හෝ දෘශ්ටිවාදී අනන්‍යතාවක් ප්‍රකාශ කරන්න, බෞද්ධ අවකාශයක අනසක සලකුනු කරන්න බුදු රුව යොදාන්නවා. බුද්ධ රූපය බිත්තියේ එල්ලනවා, ගෙලේ පලඳිනවා, පච්ච කොටාගන්නවා, හන්දි ගානේ හිටුවනවා. මේ එක් එක් සංස්කෘතීන්ට සාපේක්ශ ව බුද්ධ රූපය නෙලා හෝ චිත්‍රනය කර ඇති ස්වරූපයත් වෙනස්. ඇතැම් භාවනා සම්ප්‍රදායන් තුල බුද්ධ රූපය මනසින් මවාගැනීම හෝ තමන් අබියස බුදු රුවක් තබාගෙන ඒ කෙරෙහි ඒකාග්‍ර වීම අනුදැන වදාරනවා. ඒ ඒ යුගවලට අයත් බුද්ධ රූපවලින් ඉතිහාසයේ විවිධ අවධීන්ගේ සමාජ පිලිබඳ බොහෝ දේ කියවාගන්න පුලුවන්. දැන් වුනත් ඔය හන්දියක් හන්දියක් ගානේ දැකගන්න තියෙන පිලිමවල ප්‍රතිමාවේදය හා සෞන්දර්යවේදය අපේ යුගය ගැන, බලධාරී සංස්කෘතිය ගැන මොන තරම් දේ විචිත්‍ර ව කියා පානවද?

Comments