වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

නත්තල් පුවත්...

| Comments

මම ඒ තරම් රූපවාහිනී ප්‍රවෘත්ති ගැන උනන්දු වෙන කෙනෙක් නොවුනත් පසුගිය දිනවල රූපවාහිනී නාලිකා කීපයක ම ප්‍රවෘත්ති නරඹන්න ලැබුනා, අහම්බෙන්. බොහොම ආකර්ශනීය දෙයක් එක පාරටම හිතට කාවැදුනා. ඒ තමයි ප්‍රවෘත්ති නිවේදක-නිවේදිකා යුවල වට කරගෙන තියෙන නත්තල් අසිරිය. නත්තල් අසිරිය හැටියට අපේ රටේ තියෙන්නෙ නත්තල් සීයාත්, නත්තල් ගහත්, හිම වැටීමත් තමයි. මේ කාලෙට නුවර එලිය වගේ කඳුකර පලාත්වලට විතරක් නෙමෙයි කොලඹට වුනත් තදින් හිම පතනය සිද්ද වෙන නිසා ඒක ප්‍රවෘත්ති මැදිරියක් තුල මේ විදිහට ප්‍රතිනිර්මානය කිරීම බොහොම කලාත්මක වගේම කාලෝචිත අදහසක්. රතු පැහැ විල්ලුදයෙන් සරසාපු මේසය… හිම කැටි වැනි සුදු පැහැ ඇතිරිලි… පසුබිමේ හිම කඳු… සමහර නාලිකාවක ප්‍රවෘත්ති මේසය මතත් පුංචි නත්තල් ගහක්. ප්‍රවෘත්ති ප්‍රකාශය සිද්ධ වෙන අතරවාරයේ හිම ඇදගෙන වැටෙනවා. බලන්න ලස්සනයි. රූපවාහිනී බාසාවෙන් කිව්වොත් “සුන්දරයි”.

අභාග්‍යසම්පන්න කාරනය නම් මේ නිවේදක නිවේදිකාවෙන් මේ සා දරුනු සිසිරයක් මැද කිසිම උනුසුම් ඇඳුමක් නැතිව දුක් විඳීමයි. මේ නාලිකාවල වගකිවයුත්තන් සීත කාලයට හරියන ඇඳුම් පැලඳුම් ද මොවුනට සපයා දීමට කටයුතු නොකිරීම කනගාටුවට හේතුවක්. අනිත් අතට එහෙව් තත්වයක් තුලත් හීතලේ වෙව්ලන්නෙ නැතුව කෙලින් ප්‍රවෘත්ති ටික කියාගන්න ශක්තිය තියෙන නිවේදක නිවේදිකාවන් ඉඳීම අපට අභිමානයක්. මීලඟ වසරේ ටෙලි සම්මාන දෙන උදවිය ඒ පැත්ත ගැනත් සලකා බැලුවොත් හොඳයි.



නිවේදක මහතා නත්තල් සීයා හැටියට වෙස් ගැන්නුවා නම් මේ ශෛලිය තවදුරටත් දියුනු කරන්න තිබුනා.


.