වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

උපාධි ප්‍රදර්ශනය 2008 - Degree Show 2008, ස්ථාපන, සිතුවම් සහ වීඩියෝ කලා...

| Comments


කැලනිය විශ්ව විද්‍යාලයීය දෘශ්‍ය කලා, සැලසුම් හා ප්‍රසංග කලා ඒකකයේ අවසන් වසර සිසුසිසුවියන්ගේ චිත්‍ර හා ස්ථාපන ප්‍රදර්ශනයක් අප්‍රේල් 25 වැනි දා සිට මැයි 4 වැනිදා දක්වා කොලඹ ගාලු පාරේ බෙයාර්ෆුට් කලාගාරයේ දී පැවැත්වෙනවා. මේ ප්‍රදර්ශනය එම තරුන සිත්තර සිත්තරියන් කන්ඩායමේ අවසන් වසර “විභාග කටයුත්තකට” නිර්මානය වූ කෘති පෙලකින් සමන්විතයි. Degree Show යන නම වැටුනෙ ඒ නිසයි. ඒත් විභාග සමත් වීම හුදෙක් යන්තමින් මොනවා හෝ කොට සහතිකය ඩැහැ ගැනීමට සීමා කර නොගෙන මෙයාකාරයෙන් දෘශ්‍ය කලා රසික පර්ශද් සමග බෙදාහදා ගත හැකි මට්ටමේ වැඩක් කිරීමට බැරෑරුම් උත්සාහයක් දැරීම අතිශයින් ප්‍රශංසනීය යි.

මට මේ කලා කෘති සමහරක් දකින්න ලැබුනා. මේ පිරිස මාස ගනනාවක් තිස්සේ යෙදූ බුද්ධිමය කලාමය ශ්‍රමය නිරීක්ශනය කරන්නත් ලැබුනා. නමුත් ප්‍රදර්ශනය පටන් ගත්තායින් පසු ම ඒවා ගැන කතා කරමු. මේ පිරිසගේ මාර්ගෝපදේශක ආචාර්යවරයා හැටියට කටයුතු කරන කලාකරු කිංස්ලි ගුනතිලක මේ කෘති මාලාව සම්පාදනය කෙරුනු පසුබිම මෙහෙම පැහැදිලි කරනවා -

මෙහි අරුමය නම් ආයතන අර්බුදල අන පනත්, බන්ධන වැනි කිසිම බාධාවකින් “ආයතන සංස්කෘතිය” මේ ක්‍රියාවලියට හරස් නොවීමයි. සම්මතයක් ලෙස දෘශ්‍ය කලා ආයතනවල ක්‍රියාත්මක වන ජීව - මානව රූප අධ්‍යයන හෝ ශාස්ත්‍රාලීය ප්‍රායෝගික හැදැරිම් සහිත සූචනයක් ඔවුන් සතුව තිබුනේ නෑ. ඒ වගේම ඔවුන් සම්මත පහසුකම් සහිත නිශ්චිත ශාලිකා අවකාශ හෝ දෘශ්‍ය කලා නිශ්පාදනයට අදාල ද්‍රව්‍ය පරිභෝජන අවස්ථා වලින් පෝශනය නොවු, එවැනි අත්දැකිම් හීන අයයි. පරිකල්පනය සහිත නිර්මාන වෙනුවෙන් හැමවිටම ජීව- මානව රූප අධ්‍යයයනයන් අනිවාර්ය යැයි මා සිතන්නේ නැති නිසාත්, ඉහත කී ශාලිකා අවකාශ හා අමුද්‍රව්‍ය පරිහරනය අර්බුදකාරී ප්‍රශ්නයක් කර නොගත් නිසාත් ඒ කරුනු අභියෝග නොව සාධනක (constructive) තත්වයක් විදිහට බාර ගන්න පුලූවන් වුනා. මේ නිසාම මට සිදු වුනේ ආයතන ගත දෘශ්‍ය කලා න්‍යායික සංස්කෘතියට පිටින් ප්‍රවේශයක් ගැනීමටයි.

මේ තමයි පිරිස -

ක්‍රිශාන්ත බස්නායක, චාන්දනී හතරසිංහ, සංජුලා කෞමදී කරුණාරත්න, චිත්‍රපාලි චම්පා කුමාරි, අමාලි ශ්‍රීමනී කුමාරි, නෙලිකා ලක්මිණි, පටබැඳීගේ ශ්‍යාමලී, ධම්මිකා සිරිමාන්න, දුමින්ද සුභාෂණ සහ සඳුන් වීරසිංහ.

ඔවුන් ව පසසන්න, විමසන්න, ප්‍රශ්න කරන්න.

දවස් අප්‍රේල් 25 සිට මැයි 4 දක්වා බෙයාර්ෆුට් කලාගාරයේ දී


.