වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

ජාල ජංජාල හෙවත් "Enawa-yanawa Effect"

| Comments

මේක බ්‍රහස්පතින්දා රාත්‍රියේ ලිවීමට පටන් ගත් සටහනක්. එදා පල කරන්න ලැබුනෙ නෑ ජාල ජංජාල නිසා ම:

මම පසුගිය සති අන්තයේ සිට මේ දක්වා අන්තර්ජාලයට සම්බන්ධ වෙමින් ඉන්නේ කොලඹින් බැහැර මහනුවරට ආසන්න ස්ථානයක සිට යි. ලබන මාසේ බ්ලොග් මැරතන් දුවන්න අදහස් කලෙත් මෙහේ ඉඳලයි. අලුත් අවුරුද්දනෙ. ඒත් තත්වය අතිභයානකයි!!!

මෙය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ඒ ඩී එස් එල් සම්බන්ධයක් වුනත් දැන් තියෙන්නේ ගොලුබෙලි වේගයක්. ඒ වගේ ම නිතර නිතර අසම්බන්ධිත(disconnect) වෙනවා. මේ බාධා නිසා ගිය සතියේ ඉතා වැදගත් online කතාබහ ගනනාවක් ම අතරමැද දී මස්තබාල්දු වී ගියා. දැන් විශේශ හාස්‍යජනක නමකුත් භාවිතා වෙනවා මේ තත්වයට - Enewa Yanawa effect :D (copyrights - Malinthe Samarakoon :-P)

වර්ශාව පටන්ගත්තාම දුරකථනයෙනුත් ඇහෙන්නේ බියකරු හ්ම් නාදයක් සමග මුසු වුනු බරබරයක්. පසුගිය දවස්වල අහල පහල දන්න අඳුනන අය සමග කල කතාබස්වලින් මේක සාමාන්‍ය තත්වයක් බව තේරුම් ගියා! පැමිනිලි කරන්න එස් එල් ටී හොට්ලයින් ඔස්සේ සම්බන්ධ වෙන්න දවසක් තිස්සේ උත්සාහ දැරුවත් අන්තිමේ දී ඊයේ රෑ තමයි පැමිනිල්ල කරන්න පුලුවන් වුනේ. ඔවුන්ගේ නිල වෙබ් අඩෙවියේ සම්බන්ධතා පෝරමය - contact form - වැඩ කරන්නේ නැහැ. අද උදේ දෙදෙනෙක් පැමින අබලන් ව පැවති කම්බියක් මාරු කලා. ඒත් හැන්දෑ වෙද්දී තත්වය යලිත් නරක අතට හැරුනා. මේ සටහන අද පල කරන්න ලැබේවිද දන්නෙ නැහැ. (මේ ලියන්නෙ බ්‍රහස්පතින්දා)

මට දැනගන්න ලැබුනේ පාරේ යටින් ගමන්ගන්නා දුරකථන රැහැන් තුලට වතුර යාම නිසා මේ තත්වය හටගන්නා බව. දුරකථනයෙන් ඇහෙන “හ්ම්” නාදයට හේතුව කම්බි ඔස්සේ ගලා එන ධාරාව අතරමග දී බාධා වී භූගත වීම (earth වීම) බව එස් එල් ටී කාර්මික මහතෙක් මට කාරුනික ව පහදා දුන්නා. ඒ කියන්නේ මොන ම වැසි තත්වයක දී වත් ඊට ඔරොත්තු දෙන්න පුලුවන්කමක් මේ ජාලයට නැහැ - සම්පූර්නයෙන් ජලමුද්‍රා සහිත නලවලට මාරු නොවුනොත්! වැහි වතුර ඉතින් කොහොමත් බහින්නෙ පොලව යටට නෙ…. වැස්ස ඉවර වුනත් සම්පූර්නයෙන් දුරකථන රැහැන් අවට පොලොවේ වතුර බහින තුරු අපට ඉවසාගෙන ඉන්න යි වෙන්නෙ. Sri Lanka is Ready කියන්නෙ මේ අයගේ උද්යෝග පාඨය.

මේක හරි කෙලියක්නෙ! ජංජාලයක්!!

පසුවදනක් - ලංකාවේ බොහෝ ප්‍රදේශවල අන්තර්ජාල සම්බන්ධයේ තත්වය මෙය බව පේනවා. මේ දින කීපය තුල පමනක් අහන්න ලැබුනු සහ කතා වුනු දේවල් බැලුවාම මෙය රටක් හැටියට ගත්තත් ඒ තරම් සෞඛ්‍ය සම්පන්න නැති බව කිව යුතු යි. වෘත්තීය, ව්‍යාපාරික සහ වෙනත් හදිසි අවශ්‍යතා සඳහා අන්තර්ජාල සම්බන්ධතා මත රඳාපවතින්න අපහසු තත්වයක් තමයි පවතින්නේ. පර්යන්ත ප්‍රදේශවල තබා ප්‍රධාන නගර ආශ්‍රිත ව වත් ස්ථාවර ජාල සම්බන්ධතා ගොඩ නොනඟා මේ රට පෙරට යන්නෙ කොහොම ද?