වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

මර්වින් නාටකය (දුටු ගැමුනු නාඩගම) පිලිබඳ කෙටි විචාරයක්

| Comments


රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ සිට විකාශය කෙරුනු ඉල ඇදෙන විහිලු සහ ත්‍රාසජනක සටන් සහිත සජීව ජවනිකාව හමාරයි. ජනමාධ්‍යවේදීන්ට මදාවිකම් පාන අටියෙන් කුලු මීමෙකු සේ පිඹගෙන කඩාපාත් වූ ආචාර්ය මර්වින් සිල්වා සූරීන් හිස පලා, රත්පැහැයෙන් නහවා මීමින්නකු සේ බියෙන් අලලවා පොලිස් හමුදා රැකවල් මැද පලවා හැරීමට සමත් වූ රූපවාහිනී සංස්ථා සේවක සමූහයාට මගේ උනුසුම් ආචාරය මුලින් ම පල කල යුතුයි! ඔවුන් සියලු දෙනාට ගරු කිරීමක් වසයෙන් මම අදත් හෙටත් රාත්‍රී 8.00 ට ඔවුන්ගේ “ප්‍රවෘත්ති” නැරඹීමට තීරනය කලා. එසේ වුවත් රටතොට සිදුවන දේ දැනගැනීම අත්‍යවශ්‍ය නිසා අනිද්දා පටන් යලිත් ප්‍රවෘත්ති චැනල වෙත මාරු වීමට සිදු වෙනවා. (සභාවේ තදින් සිනා)

ආචාර්ය සිල්වානන්ට තද වී තිබුනේ පෙරේදා මාතර දී ස්වකීය ශ්‍රී මුඛයෙන් වදාල ‘හරවත්’ දේශනය ශ්‍රවනය කිරීමේ භාග්‍යය රූපවාහිනී පුවත් නරඹන්නන්ට ලබා නොදීම නිසා. එම දේශනයේ දී ආචාර්ය සිල්වා එක්තරා දේශපාලක පවුලක ලිංගිකත්වය, පීතෘත්වය ආදිය අලලා ගත් බැරෑරුම් විශ්ලේශනයක් කල බව සැලයි. (සභාවේ යලිත් සිනා) මේ තරම් වැදගත් බුද්ධිමය දායාදයක් රටට අහිමි කල වරදකරු ප්‍රවෘත්ති සංස්කාරක ටී එම් ජී වන්ද්‍රසේකර බව තීරනය කල ආචාර්ය සිල්වා ඊට දඬුවම් දීම තමාටම පවරාගනිමින් අනාගත ආචාර්ය උපාධිලාභින් පිරිසක් බලමුලුගන්වාගෙන රූපවාහිනී සංකීර්නයට අවතීර්න වුනා.


ඒත් විමසා බැලිය යුතු ගැටලු ගනනාවක් ඉතිරි ව තිබෙනවා. මේ උනුසුම මධ්‍යයේ නිකුත් කෙරෙන ආවේගශීලී සහ භාවාතිශය ප්‍රකාශවලට ඔබ්බෙන් පවතින්නේ මුහුන දියයුතු, මගහැර යා නොහෙන අර්බුද ජාලයක්.

එක් අතකින් මේවා ටී එම් ජී වන්ද්‍රසේකර ඇතුලු රූපවාහිනී මාධ්‍යවේදීන්ට අමුතුවෙන් සිහිපත් කර දිය යුතු දේවලුත් නෙමෙයි. මේවා සිහිපත් කර දිය යුත්තේ මේ රංගයේ නලුනිලියන්ට නොවෙයි. ප්‍රේක්ශකයන්ට. ටී එම් ජී ට ප්‍රහාරය එල්ල වුනේ ඔහු ඒ මොහොත දක්වා ම බඩු කිරමින් හිටි කඩෙන් මයි! 1994 න් මෙපිට ශ්‍රී ලංකා නිදහස් පක්ශය ප්‍රමුඛව පිහිටවූ ආන්ඩු කිහිපයක ම මාධ්‍ය මර්දනය වසා සඟවා තබමින් ආන්ඩුවට සුදු හුනු ආලේප කල සුවච කීකරු අන්තේවාසිකයකු හැටියට ඔහුගේ ඓතිහාසික කාර්යභාරය මාධ්‍ය ඉතිහාසය තුල ලියැවී තිබෙනවා. මර්වින් සිල්වාගේ ප්‍රහාරයෙන් ඉතිහාසය මැකී යන්නේ නෑ. ටී එම් ජීගේ භූමිකාව සනිටුහන් වෙන්නෙ ඔහු සේවය කල ආන්ඩුවලට මහජන විරෝධයෙන් ආරක්ශා වී ගනිමින් හයේ පහරවල් එල්ල කරනු පිනිස දැන දැන දුර්වල පන්දු යැවූ සාකච්ඡා මෙහෙයවන්නකු ලෙස පමනක් නොවෙයි. මීට පෙර මාධ්‍ය මර්දනය රූපවාහිනී ප්‍රවෘත්ති අංශයට පුවතක් වුනේ නෑ. සිය ජනමාධ්‍ය සගයන් ආන්ඩුවේත් විශේශයෙන් මර්වින් සිල්වාගේ මත් ප්‍රහාරයට හා තර්ජනයට ලක් වෙද්දී ඒවා යට ගසා ආන්ඩුවේ මුසාකරනයන් විචිත්‍ර ආකාරයෙන් දොරට වැඩමවූ ප්‍රවෘත්ති අංශයේ අධිපති ලෙස ටී එම් ජී අද දක්වා ම කටයුතු කරනවා! හෙටත් එහි වෙනසක් සිදුවන ලකුනක් නම් නැහැ.

එක් අතකින් එවැනි චන්ඩි පාට් දමමින් ටී එම් ජීගේ කාර්යාලයට කඩා වැදීමට ආචාර්ය මර්වින් සිල්වා සූරීන්ට දිරියබල ලැබෙන්නේ එම් ජී ගේ ම අතීත දීන ක්‍රියාකාරකම් සහ ආචාර්ය සිල්වාගේ මදාවිකම යන දෙක ම එක් තැන් වූ කල්හි බව අමතක නොකල යුතුයි. ‘මූ අපේ බැලයා, මගෙ කතාව නොදාන්න තරං මූ ලොකු වුනේ කොහොමද’ කියල ආචාර්ය සිල්වට අනිවාර්යයෙන් ම හිතෙන්න ඇති ;-) මම අදත් කල්පනා කරන්නෙ නැහැ මර්වින් වැන්නෙකුට පුලුවන් කියල මාධ්‍යවේදය පිලිබඳ අධිකාරසම්පන්න පුද්ගලයෙකුට, මාධ්‍යවේදියකුට ඔහුගේ ම කාර්යාලය තුල අතක් උස්සන්න. සිය වෘත්තියේ මට්ටම, අධිකාරය සහ ගරුත්වය පවත්වාගෙන යාමේ වගකීමෙන් පිට පනින්න මාධ්‍යවේදීන්ට බැහැ. එහෙම වුනොත් මෙහෙම තමයි. එම අධිකාරය සහ බලය මර්වින් ඇතුලට යද්දී රූපවාහිනියටවත් ටී එම් ජීට වත් තිබුනෙ නැහැ. දැනටත් නැහැ. පුලුවන් නම් අන්න ඒ තත්වය ලබාගන්න බලන්න. දැන් තරම් ඊට අගනා අවස්ථාවක් තවත් නෑ.

ඒ සියල්ල තිබිය දී මෙයත් කිව යුතුයි. මේ සිදුවීම මෙරට පවතින දේශපාලන සංස්කෘතිය හා වාතාවරනය පිලිබඳ බැරෑරුම් ප්‍රකාශනයක්. ප්‍රවෘත්ති විකාශනයන්ට ඇතුලත් විය යුත්තේ කුමක් ද බැහැර කල යුත්තේ කුමක් ද යන්න තීරනය කොට අන පැනවීමට දේශපාලකයින් ඉදිරිපත් වීමත් අතේ-පයේ-තුවක්කුවේ වැරෙන් ජනමාධ්‍ය පාලනය කිරීමට යාමත් සම්ප්‍රදායක් බවට පත් ව දැන් බොහෝ කල්. ආචාර්ය මර්වින් සිල්වා යනු මැතිවරනයෙන් අන්ත පරාජයට පත් ව සිටිය දීත් මහින්ද රාජපක්ශ ජනාධිපතිවරයාගේ ම පුද්ගලික උද්යෝගය මත පාර්ලිමේන්තුවට රිංගවනු ලැබූවෙක්. ඒ සඳහා පලමුව ඔහුගේ බිරිඳ ජාතික ලැයිස්තුවෙන් ඇතුලට යවා පසුව අස්කරවාගෙන හිස් තැනක් නිර්මානය කරවීමට තරම් උවමනාවක් ආන්ඩුවට තිබුනා. ඉන් පසු ආචාර්ය සිල්වාගේ පුත්‍ර රත්නය මාලක සිල්වාට නඩු වැටුනු කල්හි පුද්ගලික ව ම පොලිසියේ කටයුතුවලට මැදිහත් වූයේ අන් කිසිවෙක් නෙවෙයි. ජනාධිපති මහින්ද රාජපක්ශ. මැතිවරන සටන් ගෙනියන්න, ප්‍රාදේශීයව විරුද්ධ පක්ශ මර්දනය කරගන්න, කොටින් ම නොසෙල්වී බලයේ ඉන්න මේ වගේ අය නැතුව ආන්ඩුවට බැහැ. මාධ්‍යවේදීන් එල්ල කල මේ ප්‍රතිප්‍රහාරයේ දේශපාලනික ගම්‍යය කුමක් ද? එය මේ ආන්ඩුවට සේ ම එහි මාධ්‍ය පිලිවෙතටත් එල්ල වූ ප්‍රහාරයක් බව නොවේ ද? පැසවමින් පැවති විරෝධයක්, දුක්ගැනවිල්ලක් පුපුරා පිටාර ගැලීමක් නොවේ ද?

ඒ විතරක් නෙවෙයි. ආචාර්ය සිල්වාගේ අතීත ක්‍රියාකාරකම් නිරීක්ශනය කරන විට තවත් භයානක භව්‍යතාවක්(possibility) පේනවා. ඒ තමයි ඊයේ වීර ක්‍රියාව සිදු කල මාධ්‍යවේදීන් සහ රූපවාහිනී කාර්ය මන්ඩල සාමාජිකයින්ගේ ආරක්ශාව පිලිබඳ ප්‍රශ්නය. ඔවුන්ගේ ගේ දොර අඹුදරුවන් පවා දැන් අනාරක්ශිත තත්වයක නැති බවට සහතිකයක් මේ ආන්ඩුවටත් එහි පොලිසියටත් දිය හැකි ද? කම්කරු අමාත්‍ය ආචාර්ය සිල්වා තව මත් විනය පරීක්ශනයක් හෝ තටු සිඳීමක් නැතිව සියලු දේශපාලන බලතල සහිතව සිය ධුරයේ ඉන්නවා. මෙවැන්නක දී ප්‍රජාතාන්ත්‍රික පාලනයක් පවත්වාගැනීමට නම් සිදුවීම සම්බන්ධ පරීක්ශන අවසන් වන තුරු චූදිතයාගේ කටයුතු සීමා කිරීම අවශ්‍ය යි. ඔහුගේ නිලතල, බලතල අත්හිටුවීම අවශ්‍යයි. මේ එකක් වත් කිරීමේ හදිසියක් මහින්ද රාජපක්ශ ආන්ඩුවට ඇති බවක් තාම පෙනුනෙ නෑ. බලය ඇත්තන් හුදෙක් හෙලා දකිමින් පාරම් බෑම පමනක් සෑහෙන්නෙ නෑ. හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කිරීම විපක්ශයට අයිති වැඩක්. මේ ගැන පියවරක් ගැනීම ආන්ඩුවට අයිති වැඩක්. විපක්ශයේ අසුන් ගත් අනුර බන්ඩාරනායකගේ ඇමති පට්ටම එදා ගෙදර යාමටත් පෙර අහිමි කිරීමට තරම් කාර්යක්ශම වූ ආන්ඩුව, ආචාර්ය සිල්වා රූපවාහිනියේ රඟපා තඩි බා - ගුටි කා දවස් එකහමාරක් ගත ව තිබිය දීත් තක්කු මුක්කු වී සිටින්නේ ආචාර්ය සිල්වාට ආන්ඩුවේ මහ ම මහ තැනෙහි රැකවරන ඇති නිසා නොවේ ද?