ආණ්ඩුව සිය වියරු ආඥාදායක ගමන් මගේ තවත් සැතපුම් කණුවක් පසුගිය දා සම්පූර්ණ කළා. ඒ අන්තර්ජාල වාරණය ආරම්භ කිරීමෙන්. මීට දින දෙකකට පෙර ටැමිල් නෙට් වෙබ් අඩෙවියට පිවිසීමට නොහැකි වූ තැන සැණෙකින් මසිතට පැමිණි සැකය වූයේ මෙය වාරණය කර ඇති බවයි. ඒ වෙද්දී මේ ආරංචිය පුවත් මගින් ප්‍රචලිත ව තිබුණේ නැහැ. මම වහා ලන්ඩනයේ වෙසෙන හිතවතකු අමතා ටැමිල්නෙට් අඩෙවියට පිවිසිය හැකි දැයි විමසා බලද්දී ඔහු මගේ සැකය ඔහු තහවුරු කළා. ලංකාවෙන් තමයි පිවිසෙන්න බැරි. ඒත් ටැමිල්නෙට් පුවත් වයරයේ rss ඔස්සේ එන පුවත් කියවීමට හැකි ව තිබුණා. ඊට අමතර ව තවමත් එහි ජර්මානු සංස්කරණයට පිවිසීමට පුළුවන්. දැන් විවිධ අය එම වෙබ් අඩෙවිය කියවිය හැකි තවත් ක්‍රම පෙන්වා දී තිබෙනවා. ගූගල් පරිවර්තකය ඔස්සේ ජර්මානු සංස්කරණය ඉංගිරිසියට පෙරලාගන්නත් බැරි නෑ.
ටැමිල් නෙට් වෙබ් අඩෙවිය සිය 10 වැනි සංවත්සරය සැමරුවේ පසුගිය 7 වැනි දා. මෙයට පෙර පාතාලගත කල්ලියක් විසින් එහි හිටපු කර්තෘ, සුප්‍රකට මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් ඝාතනය කෙරුණා. දැන් එම වෙබ් අඩෙවිය හිර කර තිබෙනවා. මේ සිදුවීම්වලින් සන්නිදර්ශනය වෙන්නේ අන් කිසිවක් නෙවෙයි, අදහස්වලට පාලක පන්තිය දක්වන මාරක බිය. ටැමිල්නෙට් වෙබ් අඩෙවිය වනාහි කොළඹ අහසේ බිය දනවමින් පියාසර කරන ප්‍රහාරක කොටි ගුවන් යානයක් නෙවෙයි. එය මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුත් නෙවෙයි. ක්ලෙමෝ බෝම්බයකුත් නෙවෙයි. එය සිදු කළේ හරියට ම සිළුමිණ පුවත්පත සහ ලේක්හවුස් පත්තර රොත්ත ඉටු කරන කාර්යයට සමාන කර්තව්‍යයක්. වෙනස තිබුණේ ඔවුන් කඹුරන්නේ ලේක් හවුස් පත්තර කඹුරන කට්ටියගේ විරුද්ධ පාර්ශ්වයට වීම පමණයි. කෙසේ වෙතත් වචනවලට වචනවලින් - අදහස්වලට අදහස්වලින් පිළිතුරු දීගත හැකි තත්වයක අද ලංකාවේ ආණ්ඩුව නැහැ. ඔවුන් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනවර්ග හමුවේ පෙරමුණු ගණනාවක දී ම කුජීත වී හමාරයි. රැකියා - බඩුමිල - මානව හිමිකම් - පරිසරය - බලශක්තිය - ආර්ථිකය - ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මේ ආදී හැම ක්ෂේත්‍රයක ම කටඋත්තර නැති තත්වයක සිටින ආණ්ඩුවක් මේ. පසුගිය මැතිවරණයේ දී අහස උසට දුන් පොරොන්දු එකක් වත් ඉටු නො කොට අපකීර්තියට පත් වනවාට අමතර ව මර්දනකාරී භිෂක පාලනයක් දියත් කර ඇති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සිය අර්බුදවලින් ගැලවීමේ එක ම මග ලෙස දකින්නේ, ප්‍රහාරය, මර්දනය සහ තවත් මර්දනය - තවතවත් මර්දනය! අද යම් කෙනෙක් රැකියා වියුක්තිය ගැන, ජීවන වියදම ගැන පමණක් නොව අත්තනෝමතික ආකාරයේ පරිපූරක ඇස්තමේන්තු ගැන පවා හඬ නගන විට ඒ අය ත්‍රස්තවාදයට අනුබල දෙන්නන් ලෙස හෝ කෙලින් ම ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසීම තමයි ආණ්ඩුවේ ප්‍රතිචාරය! මේ ආණ්ඩුවත් එල්ටීටීඊ ය සේ ම මෙරට ජනතාවට දී ඇති එක ම දායාදය යුද්ධය.
මම දකින අන්දමට මෙහි භයානක සංඥාව ඇත්තේ වාරණය කොට ඇත්තේ කවර වෙබ් අඩෙවියක් ද යන ප්‍රශ්නය තුළ නෙවෙයි. ආණ්ඩුව අන්තර්ජාලයට අත තැබීම යන කාරණය අප බැරෑරුම් ව සැලකිල්ලට ගත යුතු යි. මීට වසර කීපයකට පෙර චීනය තුළ ගූගල් සෙවුම් යන්ත්‍රයට පෙරහනක්(filter) යෙදීම ඇරඹූ මොහොතේ අප කිහිප දෙනෙකු කළ සැකච්ඡාවක් මට මේ මොහොතේ සිහි වෙනවා. එහි දී සැලකිල්ලට ගැනුණු ප්‍රධාන කාරණය වූයේ ලංකාව වැනි රටවල පාලකයින් මේ අන්දමේ මාර්ගයකට පිවිසීමට වැඩි කලක් ගත වනු නැති බව. ඉන්දු - පාකිස්තාන - ඉරාන ආදී ආණ්ඩු සිදු කළ අන්තර්ජාල වාරණයන් ද මට මෙහි දී සිහියට එනවා. මෙයට පෙර මෙවැනි එක් පියවරකින් ආරම්භ වූ සෑම වාරණ විධික්‍රමයක් ම, වාරණ පන්නයක් ම එකී පළමු අවස්ථාව පූර්වාදර්ශ කරගනිමින් පුළුල් ම කප්පාදුවක් දක්වා ව්‍යාප්ත කිරීමට අර්බුද ග්‍රස්ත ආණ්ඩුවලට ගත ව ඇත්තේ වැඩි කාලයක් නෙවෙයි. පුවත් පත්, රූපවාහිනී, මහජන රැස්වීම් මෙකී නොකී සෑම සියලු ප්‍රකාශන කාර්යයක දී ම වාරණයේ පිහිට පතනු ලැබුවා. එක පුවතක් දෙකකින් පටන් ගෙන සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රය ම කතුරට හසු කළ අවස්ථා ඇත්තේ එකක් දෙකක් නෙවෙයි. නමුත් අන්තර්ජාලය සාපේක්ෂ වශයෙන් මේ සියලු වාරණ හමුවේ අපට පැවති තොරතුරු මූලාශ්‍රය වුණා. මේ අවදානම මී ළඟට අවශේෂ දේශපාලන පක්ෂ හා ව්‍යාපාරවල වෙබ් අඩෙවි කරා, නිදහස් මතධාරී බ්ලොග් අඩෙවි කරා විහිද පැතිර යාමේ අවදානම පවතින බවට මා අනතුරු අඟවන්නේ මෙයට පෙර ක්‍රියාවට නැඟුණු වාරණ ස්වරූප පුළුල් පරිමාණයෙන් භාවිතයට ගැනීමට ආණ්ඩු දැක්වූ උත්සුකය සිහිපත් කරමින්.
පැණි වරකා ගහටත් හෙණ ගහලා නම් … සෙසු මාධ්‍ය වාරණ ගැන කවර කතා ද?