වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

Flying Fish චිත්‍රපටයට සහ සංජීව පුෂ්පකුමාරට එරෙහි තර්ජන

| Comments

දෙස් විදෙස් සිනමා ලෝලීන් සිත් තුල පැහැබර අනාගත අපේක්ශා පුබුදුවමින් සිටින සම්මානිත සිනමාකරු සංජීව පුෂ්පකුමාරටත් ඔහුගේ කෘතිය Flying Fish චිත්‍රපටියටත් එරෙහි ව ආරක්ශක ලේකම්වරයාත් ස්වාධීන රූපවාහිනියත් ඊයේ රාත්‍රියේ යුද ප්‍රකාශ කලා. පහත දැක්වෙන්නේ ඒ පිලිබඳ පල කෙරුනු වියරු හා වෛරී “පුවත්” වාර්තාව යි:



මෙහි දක්නට ලැබෙන්නේ සිනමාකරුවාටත්, කෘතියටත්, ඊට දායක වූ සියලු පාර්ශ්වයන්ටත් කිසිදු නිදහසකට ඉඩක් හසරක් නොතබා සමස්තයක් හැටියට ම ගෙන කරන සාපරාධී, වෛරී හංවඩු ගැසීමක්. මේ අරුම පුදුම වාර්තාවට අනුව “දෙමල ඩයස්පෝරාව”, ඊනියා විදේශ බලවේග, “රටට එරෙහි” රාජ්‍ය නොවන සංවිධාන යනාදී සකල විධ බියකරු සතුරන්ට අපේ සිනමාකරුවා සම්බන්ධ යි!

අදාල “පුවතින්” ම හෙලි වන පරිදි මේ චිත්‍රපටියේ තිබෙන “රටත්, රට රැකගත් හමුදාවත්” අපකීර්තියට පත් කරනසුලු ගුනය ගැන ආරක්ශක ලේකම්වරයා දැනගෙන ඇත්තේ “පුවත” විකාශය කිරීමට යන්තම් දිනකට පෙර වුනත් ඔවුන් “හෙලිදරවු කරගෙන” තිබෙන “තොරතුරුත්” “හෙලි වෙමින් පවතින” තොරතුරුත් අප තුල ඇති කරන්නේ විස්මයක්. අපේ අංකුර සිනමාකරුවාගේත් කලාකෘතියට සම්බන්ධ වූ සියලු දෙනාගේත් ජීවිතවලට මෙමගින් එල්ල කෙරී පවතින තර්ජනය නො වේ නම් මෙය මහා හාස්‍යජනක විකාරයක් හැටියට බැහැර කරන්නත් පුලුවන්. නම් කරමින් හඳුනාගත හැකි රූප පල කරමින් අධ්‍යක්ශවරයා සහ නිශ්පාදකවරයාට එරෙහි ව එල්ල කරන තර්ජනය සුලුවෙන් තැකිය යුත්තක් නෙමේ. මෙවැනි වෛර ව්‍යාපාරයක පදනම හෝ හේතුව/අරමුන කවරක් වුනත් එහි ප්‍රතිඵලය වන්නේ ඔවුන්ගේ නිදහසටත් ආරක්ශාවටත් එල්ල වන බරපතල අවදානම යි.

මේ ප්‍රහාරය එන්නේ සාමාන්‍යයෙන් කලා කෘති වාරනයටත් කලාකරුවන් මැඬිමටත් නිල වසයෙන් පිහිටුවා තිබෙන ව්‍යුහයන්ටත් ඉහලින්. වාරනය මෙරටට අලුත් දෙයක් නොවුනත් දැනට පවත්නා පාලන තන්ත්‍රය එය අලුත් ස්වරූපයකින් පෙරට ගෙන යාමට සමත් ව සිටිනවා. ඔවුන් පුවත්පත්, පතපොත, අන්තර්ජාලය, සිනමාව, වේදිකාව යනාදී සෑම තැනකට ම මේ නිල ව්‍යුහයන්ටත් ඉහලින් කඩා පැනීමෙන් කුප්‍රකට වී සිටින අතර එම මදාවි හමුදා ක්‍රමයට ම TIME සඟරාවේ අලුත් ම කලාපය වාරනයට ලක් කලේ මීට දින කීපයකට ප්‍රථම යි.

කලාව (එහි උසස් ම තලයට නැඟුනු කල්හි) බොරුව අනාථ කොට එලිදරවු කරන, එමෙන් ම සත්‍යය ඥානනය කරන මාර්ගයක් හැටියට ක්‍රියාත්මක වී තිබෙන බව කලාවේ ඉතිහාසය දෙස බලන විට පෙනී යනවා. සත්‍යයට තිබෙන බිය, එනිසා ම ඇතැම් විටෙක කලා කෘති කෙරෙහි වූ බියක්, විරෝධයක් හෝ පිලිකුලක් හැටියට පිටාර ගලන්න ඉඩ තියෙනවා. මේ සිදු වෙමින් තිබෙන්නේ එවැන්නක් දැයි නිගමනය කිරීමට හැකියාවක් තව ම මට නැත්තේ Flying Fish චිත්‍රපටිය නරඹන්න තව ම අවස්ථාවක් නොලැබුනු නිසයි.  ඒත් ගොනා හැරෙන්නේ පැලේ කන්න බවත් මේ චිත්‍රපටිය ඉතා දැඩි වාරනයකට ලක් වීමට ඉඩ ඇති බවත් සැකයක් නැහැ. මිලිටරිය කලා කෘති ගැන හා  කලාකරුවන් ගැන තීන්දු තීරන ගැනීමත්, කලා කෘති පරිශීලනයට අපට ඇති අයිතිය අවුරාලීමත් අප ඉවසිය යුතු ද? මේ චිත්‍රපටිය නැරඹීමට අපට ඇති අයිතිය අවුරාලීමට එරෙහි ව අප කොන්දේසි විරහිත ව හඬ නැඟිය යුතු නො වේ ද? සිනමා රසික සහ පුරවැසි අප සියලු දෙනා අබියස කලාකරුවකු මෙවැනි අඩන්තේට්ටමකට ලක් වීම පෙරලා අභියෝගයට ලක් කල යුතු සිදුවීමක් නො වේ ද? කලාකරු සංජීව පුෂ්පකුමාරගේත් මේ සිනමාපටයට දායක වූ සියලු දෙනාගේත් නිදහස සහ ආරක්ශාව පිලිබඳ ප්‍රශ්නය අප සියලු දෙනාගේ ම ප්‍රශ්නයක් නො වේ ද?

“බොදු බලයට” එරෙහි ව “බොදු බලය”?

| Comments

බොදු බල සේනා සංවිධානයට එරෙහි ව “ධර්මය” නඟා සිටුවන බවට ශපථ කරමින් කැඳවුම් කෙරුනු විරෝධතාවක් ඊයේ පොලිසියේ මැදිහත් වීමෙන් අඩපන කොට විසුරුවා හරිනු ලැබුවා. Buddhists Questioning Bodu Bala Sena නමින් හැඳින්වුනු Facebook පිටුවක් වටා ගොනු වුනු මේ විරෝධතාකරුවන්ගේ ප්‍රකාශිත අරමුන “බොදු බල සේනා සංවිධානය ධර්මයට එකඟ ව ක්‍රියා කරන්නේ ද?” යනාදී ප්‍රශ්න ගනනාවක් මතු කොට “ධර්මය” සහ බොදු බල සේනාව අතර විසංසන්දනයක් පෙන්නුම් කිරීම බව පෙනී ගියා.

පොලිසිය සෑම විටක ම බොදු බල සේනාවට හිතපක්ශපාතී ආකාරයෙන් හැසිරෙන බවත් ඊට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන බවත් මෙතෙක් හටගත් සෑම සිද්ධියකින් ම පාහේ පැහැදිලි ව පෙන්නුම් කෙරුනා. බොදු බල සේනාවට “බෞද්ධ විරෝධී” සාප්පු, මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන යනාදිය වටලන්නත්, බඩුභාන්ඩ අත්අඩංගුවට ගන්නත් “පොලිස් බලතල” ලැබී තිබුනු සෙයක් පෙනී ගිය අතර පොලිසිය නිහඬ ව ඒ අසලට වී සිටිනු ද දකින්න ලැබුනා. ඉතින් මේ අවස්ථාවේ දීත් පොලිසිය ක්‍රියා කල ආකාරය තර්කානුකූල යි, උචිත යි. ඔවුන් බොදු බල සේනා විරෝධය අඩපන කරන්නත් විරෝධතාකරුවන් ත්‍රස්ත කරන්නත් විධිමත් ව මැදිහත් වුනා.



අදහස් පල කිරීමට, රැස්වීමට හා උද්ඝෝශනයට ඇති අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අතිශය වැදගත් ලක්ශනයක්; අවශ්‍යතාවක්. මෙහි දී මර්දනයට පාත්‍ර වූ උද්ඝෝශකයන්ගේ අයිතීන් ආරක්ශා කිරීමට එක පැහැර අප ඉදිරිපත් විය යුත්තේ එනිසයි.

ඒත් ධර්මය නඟා සිටුවන අටියෙන් ද බොදු බල සේනාව ප්‍රශ්න කරන අටියෙන් ද පැවැත්වුනු මේ ධාර්මික ජනරාශිය හරියට ම බොදු බල සේනා සංවිධානයේ මධ්‍යස්ථානය ඉදිරිපිට සිදු කිරීමෙන් අදාල සංවිධායකයින් අපේක්ශා කලේ කුමක් ද යන්න මට ප්‍රශ්නයක්. මෙවැන්නකින් ප්‍රකාශිත පරිදි සාධනක (constructive), “බෞද්ධ” බලපෑමක් ඇති කල හැකි ද? එමගින් ඊයේ වැනි දිනෙක, කොලඹින් පිට ව සිටි දහස් සංඛ්‍යාත මහජනතාව ධර්මයෙහි පිහිටුවා උගන්වාගැනීමේ අවස්ථාවක් විවර වුනා ද? එහෙමත් නැත්නම් ඔවුන්ගේ අපේක්ශාව වුනේ බොදු බල සේනා සංවිධානය මෛත්‍රියේ බලයෙන් “දමනය” කරගැනීම ද? ප්‍රකාශිත අරමුනු කුමක් වුනත් සත්‍ය වසයෙන් ම සිදු වුනේ කුමක් ද? පොලිසිය ලවා අදාල උද්ඝෝශනයට එරෙහි ව ප්‍රතික්‍රියාවක් ජනනය කරගැනීම; බොදු බල සේනා සංවිධානය පැත්තෙන් ප්‍රචන්ඩ පිලිතුරක් ලැබීම (එය මීට වඩා ප්‍රචන්ඩ ස්වරූපයක් ගන්න ඉඩ නොතිබුනා නෙමෙයි); ශ්‍රී ලංකාව තුල සාමකාමී ව රැස්වීමට හා අදහස් පල කිරීමට අවකාශයක් නැති බව “ඔප්පු වීම” යනාදිය නෙමෙයි ද? මේ කිසිදු කරුනක් අලුතින් ඔප්පු කිරීමට ඇවැසි ව තිබුනු දෑ නෙමෙයි. අද උදෑසන වාර්තා වුනේ යාපනය උදයන් පුවත්පත් කාර්යාලය කිසියම් පිරිසක් විසින් ගිනි තබනු ලැබ ඇති බව යි. මේ සියල්ල අඛන්ඩ ව ඇවිල යන දේශපාලන අර්බුදයක ප්‍රකාශන. ඒවා “දේශපාලනයෙන්” තොර ව “ධර්මයෙන්” විසඳිය හැකි ප්‍රශ්න ද? කිසියම් අන්තවාදී සංවිධානයකට එරෙහි ව දේශපාලන ප්‍රශ්න මතු කිරීමකින් තොර ව “ධර්මයෙන්” සන්නද්ධ ව සංවිධානය වීමෙන් ලබාගත හැකි ප්‍රතිඵලය කුමක් ද? එකී අන්තවාදී සංවිධානය තමා ම ප්‍රකාශයට පත් කරගෙන සිටින අරමුනු එහි සැබෑ අරමුනු වසයෙන් ගනිමින්, එහි දේශපාලන අක්මුල් සාකච්ඡාවෙන් බැහැර කරමින් ගොඩනඟන විරෝධයක් අවසන් විග්‍රහයේ දී ප්‍රකාශයට පත් කරන දේශපාලනය කුමක් ද? එම විරෝධය අවසානයේ කෙබඳු දේශපාලනයක ගොදුරක් බවට පත් වේ ද?

මගේ අදහස නම් ඊයේ ප්‍රයත්නයෙන් කිසිදු “බෞද්ධ” ප්‍රතිඵලයක් නොලැබුනු බව යි. එසේ ම එවැනි “බෞද්ධ” හා “ධාර්මික” ප්‍රතිඵලයක් ලැබීමට නියමිත ව තිබුනු බවක් ද මුල සිට ම පෙනෙන්නට තිබුනේ නෑ. එය ස්වභාවයෙන් ම මෙවැනි (නැතහොත් මීට වඩා ප්‍රචන්ඩ) ප්‍රතික්‍රියාවක් බොදු බල සේනා පාර්ශ්වයෙන් අවුලුවාගැනීමේ හැකියාව, විභවය සහිත ව ආරම්භ වූවක්.

බොදු බල සේනාවේ “බෞද්ධ බව” ප්‍රශ්න කරන්නට ගිය පිරිසේ “බෞද්ධ බව” ප්‍රශ්න කිරීමට බොදු බල සේනා සාමාජිකයින් ඉදිරිපත් ව සිටිනු දකින්න ලැබීම තවත් උත්ප්‍රාසවත් කාරනයක්. දැන් මේ ලියන මම ඉහත ක්‍රියාවලියේ “බෞද්ධ බව” ප්‍රශ්න කරමින් ඉන්නවා. මට සිහි වෙන්නේ සද්ගුනවත් බූරුවා මහතාගේ ආගම ප්‍රශ්න කෙරුනු අවස්ථාව.

බලයා සහ තවත් කතා

| Comments

බල මාලු කෑමෙන් ජපනා බුද්ධිමතෙකු වූ සැටි අනාවරනය කරන්න ඇමැති විමල් වීරවංශ මහතා සමත් වීම ජාතියේ භාග්‍යයක්. මුල්ලේරියාව ප්‍රදේශයේ කිසියම් ස්ථානයක දී මේ පිලිබඳ අදහස් දක්වා ඇති අමාත්‍යවරයා ජපනාගේ දියුනුවේ රහස අධ්‍යාපනය සහ කෑම බීම රටාවේ වෙනස බව පෙන්වා දී තිබෙනවා. ලෝක යුද්ධයෙන් කුඩුපට්ටම් වී ගිය ජපානය දියුනුවෙන් දියුනුවට ගියේ එහෙමයි.

මේ වන විට අධ්‍යාපනය “වෙනස් කිරීමේ කටයුත්ත” සැලකිය යුතු දුරකට රැගෙන යන්න ආන්ඩුව සමත් වී ඇතත් ජනතාවට බල මාලු කැවීම වැනි වැදගත් අංශ අතපසු වී තිබෙන තත්වයක් තුල වීරවංශ මහතාගේ මැදිහත් වීම අතිශය තීරනාත්මක පුරෝගාමී කටයුත්තක් බව සඳහන් කල යුතු ම යි. මම හිතන්නේ බල මාලු පිලිබඳ ඇමති ධුරය එතුමාට ලබා දීමෙන් පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ ජනතාව ශක්තිමත් හා බුද්ධිමත් කරන්න කාලය ඇවිත්.

බල මාලු අනුභවයේ වැදගත්කම ගැන කතාබහ කරමින් ඉන්නා අතර මගේ මිතුරෙක් ෆේස්බුක් පැත්තේ දී ඇසූ කතාන්දරයක් මට කියාදුන්නා. කතාවට වාක්‍ය තුන යි:

“ඔන්න දවසක් මහින්ද රාජපක්ශ කියල මිනිහෙක් ගමනක් යනකොට වලස්සු දෙන්නෙක් මුලිච්චි වුනා. එක වලහෙක් දඩිබිඩි ගාලා ගහකට නැගල බේරුනා. අනිකා මැරුනා වගේ බිම නිදාගෙන ඉඳල බේරුනා.”

විශ්වරූපම් වාරනය

| Comments

කමල හසන් අධ්‍යක්ශනය කල විශ්වරූපම් සිනමාපටය මුලින් තාවකාලික ව තහනම් කල ශ්‍රී ලංකා ආන්ඩුව පසු ව තහනම ඉවත් කර තිබෙන බවට ආන්ඩු ගැති, උද්දාමිත සිරස්තල ලියූ උදවිය පුවත ඇතුලේ මුල්ලක හංගා දැමූ, ඇතැම් විට නිසි සේත් නොලියූ කරුනක් තියෙනවා. ඒ තමයි දැන් චිත්‍රපටය නිල වසයෙන් ම මෙරට තුල වාරනයට ලක් ව තිබෙන බව. මා මෙහි දී අදහස් කරන්නේ චිත්‍රපටිය නිසා හටගෙන තිබෙන කිසියම් ආතතියක් නිසා ප්‍රදර්ශනය අත්හිටුවීම හෝ තාවකාලික ව තහනම් කිරීම නමැති වාරනය ගැන නෙමෙයි. චිත්‍රපටියට දීර්ඝ කාලීන ව බලපාන අන්දමින් කෘතිය වාරනයට ලක් කිරීම ගැන.

දැන් මෙරට පෙන්වීමට අවසර දී තිබෙන්නේ චිත්‍රපටකරුවා තැනූ කෘතිය නො ව දර්ශන දෙකක් වාරනයට ලක් කිරීමෙන් අනතුරු ව මෙරට ආන්ඩුව තැනූ චිත්‍රපටියක්. චිත්‍රපටියේ අලුත් සංස්කාරක මහේශ් නාරායනන් නො ව ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මන්ඩලය යි. එනිසා හරිහමන් සිරස්තලයක් ලියන්නේ නම් ලිවිය යුත්තේ චිත්‍රපටිය මෙරට වාරනයට ලක් කර තිබෙන බව නෙමෙයි ද?

වාරනයට (සහ තාවකාලික තහනමට යන දෙකට ම) හේතුව චිත්‍රපටිය තුල ගැබ් ව තිබෙන මුස්ලිම් විරෝධී අදහස්/හැඟීම්/දර්ශන බව අහන්න ලැබෙනවා. චිත්‍රපටිය දැක නැති අපට ඒ ගැන හරිහැටි නිගමනය කරන්න සාක්ශියක් නැහැ. ඒ වුනත් මේ අවස්ථාවේ අප සියලු දෙනාෙග් අවධානය යොමු විය යුතු සහ යොමු කල හැකි අංශයක් තියෙනවා. මේ ඊනියා මුස්ලිම් හිතපක්ශපාතකම ශ්‍රී ලංකාවේ පහල වෙන්නේ කුමන වාතාවරනයක් තුල ද? එලිපිට ම ආන්ඩුවේ සහකාර දේශපාලකයින්ගේ දෘශ්ටිවාදාත්මක හා දේශපාලනික තල්ලුව සේ ම, 1983 සිහිගන්වමින් පොලිසියේ නිහඬ සහයෝගය ද සහිත ව මුස්ලිම් විරෝධී වර්ගවාදී උත්සන්නියක් රටපුරා දෝරෙගලා යමින් තියෙන අවස්ථාවක් මේක. මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත් බව කියැවෙන ව්‍යාපාරික ස්ථාන පොලිසියේ නිහඬ අනුග්‍රහය සහිත ව වටලා අඩන්තේට්ටම් කිරීමේ සිට ආගමික ස්ථානවලට ප්‍රහාර එල්ල කරමින් මදාවිකම් පෑම දක්වා පුලුල් පරාසයක පැතිරුනු වර්ගවාදයකට ඉඩ හැර සිටින පාලන තන්ත්‍රයක් කලා කෘතියක් වාරනය කරමින් මුස්ලිම් ජනතාවගේ හැඟීම් ගැන සංවේදී වෙන්න දරන වෑයම දකින අපට සිහිවෙන්නේ කුමක් ද? කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙන සැටි නෙමෙයි ද?

දැන් මේ ප්‍රශ්නයට විරුද්ධ ව කෙනෙක් විතර්කයක් මතු කරන්න ඉඩ තියෙනවා: “මේක අහවල් අහවල් රටවලත් තහනම් කරලයි තියෙන්නේ. ඒ වගේ ම කමල හසන් ඉන්දියාවේ දීත් දර්ශන වාරනය කරන්න එකඟ වෙලා ඉන්න බව වාර්තා වුනා. ඉතින් තමුන්නාන්සේට තියෙන කැක්කුම මොකද්ද? මේ ගැන ඔහොම ලියලා වැඩක් තියෙනව ද?”

මේ ගැනත් කලින් ම උත්තරයක් දිය යුතු යි. ඉන්දියාවේ තියා මොන තූත්තුකුඩියක වුනත් චිත්‍රපටියක දර්ශන නියෝග මගින් ඉවත් කෙරුනා නම් ඒක වාරනයක් බව නිවැරදි වචනවලින් සඳහන් කිරීම වැදගත්. කලාකරුවා මුලින් සකස් කල ස්වරූපයෙන් වෙනස් විකෘත නිර්මානයක් ප්‍රදර්ශනයට අවසර දීම කිසි සේත් පිලිගත නොහැකි, අනුමත කල නොහැකි තත්වයක්. ඒ ගැන යථා පරිදි නියම වචනවලින් ලිවිය යුතු බවත්, සිහිය පිහිටුවාගත යුතු බවත් මගේ අදහස යි. නිකම් ම “Ban lifted” කියා අතපිහදාගන්න එවැනි අවස්ථාවක හැකියාවක් තිබීම ම ප්‍රශ්නකාරී නැද්ද? එවැනි අවස්ථාවක ලියැවෙන ලිපිවල, වාර්තාවල, සිරස්තලවල ගුරුත්ව කේන්ද්‍රය යොමු විය යුත්තේ වාරනය දෙසට නෙමෙයි ද?

ඒ වගේ ම මේ හැම පාලන තන්ත්‍රයක් ම පාහේ කලාකෘතියක් බඳු සාපේක්ශ වසයෙන් “වැදගත්”, බුද්ධිමය හා “හානිකාරක නොවන” (වෙනත් වචනවලින් කියතොත් අඩුවෙන් “විනාශකාරී”) තලයක ක්‍රියාත්මක වන මාධ්‍යයකට වැට බඳිමින් මුස්ලිම් ජනතාවට ඇහුම්කන් දෙන බව පෙන්වන්න උත්සාහ කරනවා. ඒ වුනත් මහමග එලිපිට කායික තර්ජන එල්ල කරමින් වැඩී එන වර්ගවාදය සිය පාලනය ගෙන යනු පිනිස දඩමීමා කරගෙන ඉන්නවා. මේ කපටි ආරක්ශකයින්ට කෙලින් උත්තරයක් දෙන්න අද අපේ රට තුල මුස්ලිම් ජනතාවට අවකාශයක් නැහැ. විවිධ තැන්වල සිදු වෙමින් පවතින මුස්ලිම් විරෝධී අඩන්තේට්ටම්වලට එරෙහි ව සාමකාමී උද්ඝෝශනයක වත් නිරත වෙන්න පුලුවන්කමක් මුස්ලිම් ජනතාවට තියෙනව ද? ඔවුන්ට සිදු ව ඇත්තේ ප්‍රවේසමෙන්, හිස නමාගෙන මේ අවදානම් කාලපරිච්ඡේදය ගත කරන්න යි.

ඒරොන් ශ්වාර්ට්ස්

| Comments

ඒරොන් ශ්වාර්ට්ස්ගේ මරනය පසුගිය මාසය පුරා අන්තර්ජාල වාසීන් අතර ආන්දෝලනයට මෙන් ම බලවත් සන්තාපයට ද තුඩු දුන් සිදුවීමක් වුනා. අද හැක්ටිවිස්ට් යනුවෙන් හැඳින්වෙන, අන්තර්ජාලය පාදක කරගත් ක්‍රියාධරයන් අතර ඔහු ප්‍රමුඛයෙක්. ගෙල වැල ලාගෙන සියදිවි හානි කරගන්නා විට ශ්වාර්ට්ස් ඉතා දුශ්කර නඩු විභාග ක්‍රියාදාමයක් තුලින් ගමන් කරමින් සිටියා. ඇමෙරිකා එක්සත් ජනපදයේ MIT ආයතනය තුල සිට JSTOR වෙබ් අඩෙවියෙන් ශාස්ත්‍රීය හා පර්යේශන ලිපි මිලියන 4.8 ක පමන ප්‍රමානයක් අධිවේගයෙන් බාගැනීමේ “වරදට” ඔහුට එරෙහි ව නඩු පවරනු ලැබුනා. ශ්‍රී ලංකාවේ රාවය වැනි ඇතැම් පුවත්පත් මෙන් ම විවිධ “ජාත්‍යන්තර” මාධ්‍ය ද ඔහු JSTOR අඩෙවිය “හැක්” කල බව ලියා තිබුනත් එය තාක්ශනික ව සත්‍යය නොෙවයි. දැන් දැන් අඹ ගහකට ගල් ගැහුවත් “අන්න හැක් කෙරුවෝ!” කියන පුරුද්දක් ජනමාධ්‍ය අතර වගාදිගා වේගන යනවා. ඒත් ඔහු සිදු කලේ සාමාන්‍ය පරිදි MIT ආයතනය තුලින් සැපයුනු සුජාත දොරටුවකින් එම අඩෙවියට පිවිසී ලිපි නීත්‍යනුකූල ස්වරූපයෙන් බාගැනීමයි. එහෙත් ඔහු සිය අවශ්‍යතාව නිසා එක වර ලිපි බොහෝ සංඛ්‍යාවක් බාගත හැකි ස්ක්‍රිප්ට් එකක් රචනා කලා. එමගින් එක වර සිදු කල බෑමේ තරම කෙතරම්ද කියතොත් JSTOR අඩෙවිය තාවකාලික ව අකර්මන්‍ය වුනා. ඉන් පසු හානිය අවම කරනු පිනිස MIT ආයතනයට ලබා දී තිබුනු JSTOR පිවිසුම තාවකාලික ව වසා දැමීමට පියවර ගැනුනා. මෙය JSTOR අඩෙවියේ රීති උල්ලංඝනය කිරීමක් බව නම් ඇත්ත.

මීට පෙරත් ඔහු මේ ආකාරයේ බාගැනීමේ මෙහෙයුමක් දියත් කෙරුවා. ඒ ඇමෙරිකා එක්සත් ජනපද අධිකරන පද්ධතියට අයත් ලියවිලි අත්පත් කරගනු පිනිස. අධික මිලක් ගෙවා ලබාගතයුතු ලියවිලි මේ ක්‍රමයට තොග පිටින් බාගත් ඔහු, ඒ සියල්ල නොමිලේ සියලු දෙනාට පිවිසිය හැකි හැකි සර්වරයකට පිටපත් කලා. එවර ඔහුට එරෙහි ව කිසිදු පියවරක් ගැනීමට බලධාරීන්ට හැකියාවක් නොලැබුනේ ඒ සියලු ලියවිලි ඇත්ත වසයෙන් ම නෛතික ව පොදු පරිමන්ඩලයට (public domain) අයත් වූ නිසා.

ශ්වාර්ට්ස්ගේ අරමුනු
JSTOR යනු ඩිජිටලීකරනය කෙරුනු ශාස්ත්‍රීය ප්‍රකාශන, ලිපි, පත්‍රිකා ආදිය ඇතුලත් වුනු දැවැන්ත ලේඛනාගාරයක්. දායකත්ව ක්‍රමය (subscription) ඔස්සේ ලැබෙන මුදල් කතුවරුන්ට නො ව ප්‍රකාශන කර්මාන්තයේ මහධන සිටුවරුන් වූ ප්‍රකාශකයන් අතට ගලා යන, පාඨකයාට වැට බඳින JSTOR සංස්කෘතිය ශ්වාර්ට්ස්ගේ තියුනු විවේචනයට පාත්‍ර වුනා. එහි මුරකාවල් ලා රැකගෙන තිබුනු බොහෝ පර්යේශන පත්‍රිකා සැබැවින් ම සම්පාදනය කෙරුනේ මහජන මුදලින් නඩත්තු කෙරුනු ව්‍යාපෘති මගින්. එහෙත් ඒ පර්යේශනවල ප්‍රතිඵල භුක්ති විඳීමේ අයිතිය මහජනතාවට අහිමි කරනු ලැබ තිබීම ශ්වාර්ට්ස් දුටුවේ අතිශය මානව විරෝධී කටයුත්තක් හැටියට යි.

ඉතින් සුපුරුදු පරිදි මිලියන ගනනක් ලිපි බාගැනීමෙන් ඔහු අපේක්ශා කලේ ඒවා නිදහසේ සංසරනය වීමට සැලසීම යි. JSTOR අඩෙවිය මත් පසු ව ශ්වාර්ට්ස් අපේක්ශා කල සංස්කෘතියට ප්‍රවිශ්ට වෙමින් සිය ලේඛනාගාරය සියලු දෙනාට ක්‍රමානුකූල ව විවර කිරීමට කටයුතු කිරීම අසිරිමත් සිදුවීමක්. එපමනක් නෙමෙයි, ඔවුන් ශ්වාර්ට්ස්ට එරෙහි ව සිවිල් නඩුවක් පවත්වාගෙන යන්න උනන්දු වුනේ නෑ. බාගත් ලිපි ලේඛන “නැවත භාරදී” සංසරනය අත්හිටවූ පසු ඔවුන් එම ක්‍රියාවලියෙන් ඉවත් වුනා. MIT ආයතනය පවා පසු ව ලිහිල් පිලිවෙතක් අනුගමනය කලත් ඇටර්නි ජනරාල් තැන, අධිකරනය සහ රාජ්‍ය තන්ත්‍රය මෙහි දී ක්‍රියා කලේ මෙවැනි “සොරකම්” කරන සියලු දෙනාට “පාඩමක්” උගන්වන ආදර්ශවත් නඩුවක් බවට මෙය පෙරලාගන්නා අටියෙන්. ඔවුන් දත්ත සොරකම් කිරීම, පරිගනක වංචා යනාදී චෝදනා ගනනාවක් යටතේ නඩු පවරා ඔහු පසුපස නොකඩවා ලුහුබැන්දා. එනිසා ම ශ්වාර්ට්ස්ගේ ගෙල නීතියේ දඬුඅඬුවට හිරවෙන්න පටන්ගත්තා. වරද පිලිගැනීමට සූදානම් නො වූ ශ්වාර්ට්ස් අබියස පැවැති සිරදඬුවම අවුරුදු 35ක් පමන වූ බව පෙනී යනවා. ඇතැම් විශ්ලේශකයකුට අනුව ඔහුට හිමි වීමට ඉඩ තිබුනු දඬුවම ඊටත් වඩා දිගු යි. මෙය ඇතැම් මිනීමැරුම් නඩුවක පවා නොලැබෙන අන්දමේ දරුනු දන්ඩනයක්.

මේ වාතාවරනය නිසා විශාදයට පත් ව සිටි ශ්වාර්ට්ස් ජනවාරි 11 වැනි දා සිය ජීවිතයට සමු දුන්නත්, ඔහු ඉල්ලා සිටි, සටන් වැදුනු පරමාදර්ශ පිලිබඳ උත්සුකය නව පනක් ලබා අලුගසා නැගිටින්න එම මරනය හේතුවක් වුනා. ලොව වටා විවිධ ක්‍රියාධරයන්, බුද්ධිමතුන් හා තරුන තරුනියන් විවිධ අන්දමින් ශ්වාර්ට්ස් අනුස්මරනයේ යෙදුනා. සුප්‍රකට ඇනොනිමස් කන්ඩායම සිය “යුතුකම” ඉටු කෙරුවේ කෙලින් ම MIT ආයතනයට අයත් අඩෙවි කිහිපයක් “හැක්” කිරීමෙන්.  හිටිවන ම පිබිද ආ අනුස්මරන ක්‍රියාකාරකම් අතර වඩාත් ආස්වාදජනක අංගය වුනේ ලොව දස දෙසින් විවිධ පොත්පත් සහ ශාස්ත්‍රීය පර්යේශන පත්‍රිකා ආදිය නිදහසේ අන්තර්ජාලයට මුදා හල #pdftribute ව්‍යාපාරය යි.

ශ්වාර්ට්ස් සටන් වැදුනේ කුමක් වෙනුවෙන් ද?
ඒරොන් ශ්වාර්ට්ස් යනු සරදියෙල් කෙනෙක් නෙමෙයි. ඔහු ඊට වඩා පුලුල් හා දැනුවත් ක්‍රියාවලියක කොටස්කරුවෙක්. ඔහුගේ වැඩකටයුතු හුදෙක් නිදහස් හා විවෘත ප්‍රවේශය - Open Access - පිලිබඳ ක්ශේත්‍රයට පමනක් සීමා වුනේ නැහැ. විකිලීක්ස් වෙබ් අඩෙවියට තොරතුරු සැපයූ බවට චෝදනා ලැබ සිටින බ්‍රැඩ්ලි මෑනිං පිලිබඳ ප්‍රශ්නයේ දී ශ්වාර්ට්ස් පෙන්නුම් කල නිර්භය බව මෙවර ඔහුට එරෙහි ව රාජ්‍ය තන්ත්‍රයෙන් එල්ල වූ දෘඪතර ප්‍රහාරයට තවත් හේතුවක් වන්නට ඇතැයි සැලකෙනවා. 2010 දී Freedom of Information Act නමැති පනත යටතේ නඩු මගට පිලිපන් හෙතෙම, බ්‍රැඩ්ලි මෑනිං බන්ධනාගාරගත ව සිටිය දී සැලකුම් ලබන අන්දම පිලිබඳ තොරතුරු ඉල්ලා සිටියා. රාජ්‍යය විසින් තිරය පසුපස ගෙනයනු ලබන සාපරාධී වදහිංසනයන්ට එරෙහි වීමේ දී ඔහු සිටගත්තේ විකිලීක්ස් සමග එක පෙලට.  පසුගිය වසරේ මුල් භාගයේ කූටප්‍රාප්තියට පත් වුනු SOPA විරෝධී අරගලයේ දී පුරෝගාමී මෙහෙවරක් ඉටු කල Demand Progress ව්‍යාපාරය ඔහුගේ සම-නායකත්වයෙන් නිර්මානය වූවක්. ශ්වාර්ට්ස්ගේ SOPA විරෝධය එක්සත් ජනපද පාලක ප්‍රභූව හා බලධාරීන් අතර ඇති කලේ ප්‍රසාදජනක ආකල්පයක් නෙමෙයි: ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔහුව දඩයම් කරන්න තවත් හේතුවක්.

ඔහුගේ වැඩකටයුතු එක්තරා ආකාරයක රොබින් හුඩ්/ සරදියෙල් පන්නයේ වීර ක්‍රියාවකට සමාන කරන්න ගත් උත්සාහය නිසා ඉස්මතු වුනේ සත්‍යයෙන් එක් පැත්තක් විතර යි. ඔහු ගැටුනු බලවේග ඔහුට වඩා බෙහෙවින් දැවැන්ත ද සංවිධානාත්මක ද වූ නිසා පුද්ගලයකු හැටියට “විනාශය” කරා ගියත් ඔහු දැරූ අදහස් හා පරමාදර්ශ පරාජය වුනේ නැති බව පැහැදිලි යි.

නිදහස් සංස්කෘතිය, විවෘත පිවිසුම්, අන්තර්ජාල නිදහස, භාශනයේ නිදහස ආදී උත්සුකයන් පෙරදැරි කරගෙන සාමූහික වත් තනිතනි වත් වැඩෙහි යෙදී සිටි ලොව වටා විවිධ පිරිස්, ශ්වාර්ට්ස්ගේ කාර්යභාරය සම්බන්ධයෙන් පැතිරගිය මරනාපර කීර්තියෙන් අලුත් වුනු උද්‍යෝගය හා ආවේශය ඇති ව ඒකරාශී වෙමින් ඉන්නවා. එක් පැත්තකින් අන්තර්ජාල අපරාධ සම්බන්ධ අත්තනෝමතික නීති ඉවත ලීමටත් ප්‍රතිසංස්කරනයටත් උද්ඝෝශනය කෙරෙන අතර තවත් පැත්තකින් විවෘත ප්‍රවේශය සහිත ශාස්ත්‍රීය සඟරා හා ප්‍රකාශන පිලිබඳ කතිකාව වැදගත් මට්ටමකට නැඟෙනවා. ඒ අතර ම මෙයාකාර හැක්ටිවිස්ට් භාවිතයන් සංකල්පනයට, නිර්වචනයට හා දිශාගත කිරීමට දැරෙන ප්‍රයත්න ද දැකගත හැකි යි. එය හැක්ටිවිස්ට් ප්‍රජාව තමන් ගැන ම - සිය භාවිතාව ගැන ම - ප්‍රශ්න මතු කරමින් ශබ්ද නඟා සිතන මොහොතක්.

RSS, ක්‍රියේටිව් කොමන්ස්, මාර්ක්ඩවුන් සහ තවත් වැඩ
ශ්වාර්ට්ස් බ්ලොග්කරනයේ යෙදෙන අපට බෙහෙවින් වැදගත් වන RSS 1.0 නමින් හැඳින්වෙන වෙබ් පෝශක ප්‍රභේදය නිපදවීමෙහිලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කලා. ඒ වන විට ඔහුට යන්තම් වයස අවුරුදු 14ක් පමන යි! මාර්ක්ඩවුන් ලේඛන විධික්‍රමය (plain text formatting syntax) සම්පාදනය කිරීමටත් ඔහු දායක වුනා. මා බොහෝ විට මේ බ්ලොග් සටහන් ලියන්නේ මාර්ක්ඩවුන් යොදාගෙන. එය ඉතා ම සුපැහැදිලි හා නිරවුල් ක්‍රමයක්. බොහෝ ම පහසුවෙන් “පිරිසිදු” බ්ලොග් ලිපියක් හෝ වෙබ් පිටුවක් ලියාගන්න එයින් පුලුවන්. පසුව Reddit සමග ඒකාබද්ධ කෙරුනු Infogami සමාගමේ නිර්මාතෘවරයා වුනු ශ්වාර්ස් ඒකාබද්ධ කිරීමෙන් පසු බිහි වූ මව් සමාගමෙහි සම අයිතිකරුවකු බවටත් පත් වුනා.

Creative Commons ව්‍යාපාරය සමග සමීප සම්බන්ධයක් පැවැත්වූ ඔහු විකිපීඩියානුවෙක් ද වුනා. 2006 වසරේ විකිපීඩියා අධ්‍යක්ශ මන්ඩල නිලවරනයට තරග කල ඔහු ලියූ Who Writes Wikipedia හිසැති ලිපිය ඉමහත් ගෞරවයට පාත්‍ර වෙනවා. ඉතා ලාබාල වියෙහි දී ම අසාමාන්‍ය බුද්ධි ප්‍රභාවක් මෙන් ම නායකත්ව ලක්ශන ද පෙන්නුම් කල මේ පුරෝගාමියාගේ නික්ම යාම පිරියම් කල නොහෙන හානියක්. එහෙත් ඔහුගේ ජීවිතය විසින් මෙන් ම මරනය මගින් ද ඉගැන්වූ පාඩම් කවර මට්ටමකින් හෝ මේ ක්ශේත්‍රවල නිරත වන, නිදහස අගයන ගැහැනුන්ට හා මිනිසුන්ට අනුප්‍රානයක් සපයන බව නිසැක යි.

පහත දැක්වෙන්නේ ඔහු වෙනුවෙන් පල කෙරුනු ශෝක ප්‍රකාශ යනාදියෙන් සමහරක්. සබැඳුම් පල කරන්නේ මෙය කියවන කෙනෙකු දෙන්නෙකු හෝ වැඩි දුර සොයාවි කියවාවි කියා හිතලයි.
ශ්වාර්ට්ස්ගේ වෙබ් අඩෙවිය http://www.aaronsw.com/
ශ්වාර්ට්ස් අනුස්මරන වෙබ් අඩෙවිය Remember Aaron Swartz

පහත දැක්වෙන්නේ අප SOPA නැවතූයේ කෙසේ ද? යන මැයින් ශ්වාර්ට්ස් පැවැත්වූ දේශනයක්



******************************
සේයාරුව විකිපීඩියා වෙතින්. CC-BY Fred Benenson