වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

මට එරෙහිව X, Y සහ Z (මතු ආරක්ශාව පිනිස ලියා තබන වගයි)

| Comments

නීතිඥ උපදෙස් මත මෙය ලියා පල කරන්නේ මගේ මතු ආරක්ශාව පිනිස හා ඉදිරියේ කිසියම් නෛතික කර්තව්‍යයක දී අවශ්‍ය වුව හොත් යොදාගනු පිනිසයි.

මේ බ්ලොග් අඩෙවිය අරඹා දැන් වසර දෙකකුත් මාසයක් පමන වෙනවා. ඊටත් ඔබ්බට දිවෙන මගේ බ්ලොග්කරනය ඇරඹුනේ 2005 පෙබරවාරි හෝ ඒ ආසන්නයේ. එහෙත් මේ වෙලාවේ ලියන්න තියෙන්නෙ ඒ තරම් උත්කර්ශවත් සැමරුම් සටහනක් නෙමෙයි. කරුනු පැහැදිලි කිරීමක්.

පහුගිය වසරක පමන කාලය තුල මට එරෙහි ව එල්ල වුන ප්‍රධාන චෝදනාව (මඩ ප්‍රහාරය) තමයි සිංහල බ්ලොග් අවකාසයේ තිබෙන වෙනත් ආරූඪ නාමික බ්ලොග් අඩෙවි මවිසින් ලියනු ලැබූ ඒවා ය යන කතාව. සැඟව ගත් විවිධාකාර වංචකයින් මෙන් ම ඉඳ හිට මුහුනට මුහුන හමු වන අපභ්‍රශ්ටයින් ද මේ කතාව කියා පෑවා - කිසි ම විටෙක කිසිදු සාක්ශියකින් තොර ව. එසේ වුවත් එක ම බොරුව යලි යලිත් පුනරුච්චාරනය කෙරෙන කල්හි දුහුනන් සිත්හි එය ම සැබෑව බවට හැඟීමක් පහල වීම ස්වභාවයක්. එසේ ම එය වනාහි අන්තර්ජාලය තුල අප විසින් අතිමහත් සද්භාවයෙන් දියත් කොට පවත්වාගෙන යන විවිධ වූ කටයුතුවල කීර්තියෙහි ද හොඳ නමෙහි ද මඩ තැවරීමක්. දැන් ඊට අමතර තවත් තදබල අන්තරායක් මට පෙනී යනවා. කරුනු සොයා බලා නිගමනවලට එලඹීම යනු ස්වල්ප දෙනෙක් පමනක් අනුයන සද්චාරිත්‍රයක් බැවින් පැහැදිලි කිරීමක් සඳහා කාලයයි මේ.

මවිසින් රචිත බවට ඍජු ව හෝ අන් තන්හි ප්‍රතිචාර වසයෙන් චෝදනා කෙරුනු බ්ලොග් අඩෙවි සියල්ලේ ලැයිස්තුවක් පහත දැක්වෙනවා (මා දන්නා තරමින් තියෙන්නේ මෙපමනයි). දල වසයෙන්, කාලානුක්‍රමික ව දක්වන්නම්. ආරම්භය හැටියට වරහන් තුල තියෙන්නේ මට දැන් සොයාගත හැකි පරිදි මුලින් ම චෝදනාව සඳහන් වූ ස්ථානය යි :

  1. Unprotected Thoughts (ආරම්භක චෝදක - දෙඤ්ඤං බැටේ බ්ලොග් අඩෙවියේ ප්‍රතිචාරකරුවෙක්)
  2. දෙඤ්ඤං බැටේ (ආරම්භක චෝදක - දෙඤ්ඤං බැටේ බ්ලොග් අඩෙවියේ ප්‍රතිචාරකරුවෙක්)
  3. Made in Sri Lanka (චෝදනාව පවතින බව දැනගන්න ලැබුනේ ඩනිෂ්ක හරහා)
  4. අමුමිරිස් (මෙවැනි චෝදනාවක් පවතින බව බෝ, ඩනිෂ්ක සහ තවත් අය වාර්තා කල අතර නැවතත් එය උන්මත්තක නමැති බ්ලොග් අඩෙවියේ Anandawardhana නමින් පල වූ ව්‍යාජ ප්‍රතිචාරයකින් පුනරුච්චාරනය වුනා)
  5. මකබාස් (ආරම්භය උන්මත්තක නමැති බ්ලොග් අඩෙවියේ Anandawardhana නමින් පල කෙරුනු ව්‍යාජ ප්‍රතිචාරයක්)
  6. සාමාන්‍යයෙන් නොකියන කතා | Taboo Subjects (ආරම්භය උන්මත්තක නමැති බ්ලොග් අඩෙවියේ Anandawardhana නමින් පල කෙරුනු ව්‍යාජ ප්‍රතිචාරයක්)
  7. Beyond Frame (ආරම්භය උන්මත්තක නමැති බ්ලොග් අඩෙවියේ Anandawardhana නමින් පල කෙරුනු ව්‍යාජ ප්‍රතිචාරයක්)

ඊයේ හටගත් නවතම සිද්ධිය
Beyond Frame වෙබ් අඩෙවියට මගේ සම්බන්ධයක් පවත්නා බවට තමාට ඊමේල් ලැබෙමින් පවතින බව බ්ලොග් රචිකා බෝ මට දන්වා සිටියා. ඉතින් ඇය මගෙන් ඇසූ ප්‍රශ්නය වුනේ “ඔබ බියෝන්ඩ් ෆ්‍රේම් අඩවියට සම්බන්ධ කෙනෙක් ද?” යන්නයි!

මේ නවතම සිද්ධිය එක පැත්තකින් තරමක් ආනන්දය දනවන්නක්. මොකද Beyond Frame අඩෙවිය මා කියවන බ්ලොග් අතර ප්‍රියතම අඩෙවියක්. එවැන්නක් මට ලියන්න හැකි නම් අගෙයි! ඉහත සඳහන් Unprotected Thoughts සහ Taboo Subjects ගැනත් මගේ ආකල්පය එහෙමයි. මොන තරම් ගෞරවයක් ද? ඒත් අනිත් පැත්තෙන් මේ පුවත කිසියම් තැතිගැන්මක් ද ඇති කලා.

ඇයි බය?

Beyond Frame යනු මරනීය තර්ජයන්ට පාත්‍ර ව සිටින බ්ලොග්කරුවෙක්. එසේ ම ඔහු/ඇය සම්පූර්න ආරූඪ නාමික ලේඛනයක යෙදෙන කෙනෙක්. ලංකාව වගේ රටවල ලේඛකයින්ගේ ජීවිතවලට තිබෙන අවදානම නිසා ඒක ගැන ඒ තරම් පුදුම වෙන්න දෙයක් නැහැ. ඒ වගේ ම ආරූඪ නාමික ව ලිවීම ලේඛන කලාවට අලුත් දෙයක් ද නොවෙයි. (Beyond Frame බ්ලොග්කරුට එල්ල වූ ඇතැම් තර්ජන පිලිබඳ කියවන්න මේ සබැඳුම ක්ලික් කරන්න.) එනිසා ම එක් පසෙකින් එකී බ්ලොග්කරුගේ අනන්‍යතාව එලි කරගැනීමටත් දුරදිග යන ප්‍රහාර එල්ල කිරීමටත් එම අඩෙවියේ පල වන ලිපි නොරුස්සන ඇතැම් පාර්ශ්වයන්ට අවශ්‍ය ව පවතින බව නොරහසක්. ඒ ගැන මා ලියූ සටහනක් සඳහා මේ පිටුව බලන්න.

Beyond Frame අඩෙවියේ රචකයාට එල්ල ව තිබෙන තර්ජන ගර්ජන සියල්ල ප්‍රසිද්ධියේ බ්ලොග්කරනයේ යෙදෙන මා වෙත හරවා එවමින් මා ද නිහඬ කිරීම මේ තර්ජකයන්ගේ අරමුන බව පැහැදිලියි. මගේ ලිපිනය, දුරකථන අංක, නම-ගම යන එන තැන් දන්නා බොහෝ ගනනක් දෙනා අන්තර්ජාලයේ සිටිනවා. එ නිසා මා Beyond Frame ලියන බව පිලිගන්නා, ප්‍රචාරය කරන පිරිසක් සිටින තත්වයක් තුල එම අඩෙවියට එල්ල වන සියලු විරෝධතාත් එකී තර්ජන ගර්ජනත් මා මතින් ක්‍රියාත්මක වීමට ඉඩක් නැති බවට දිය හැකි සහතිකය කුමක් ද? Beyond Frame ලියන ලේඛකයාට එකී අදහස් පල කිරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින අතර ම ඔහු හෝ ඇය ලියන දෑ වෙනුවෙන් “නොමිලේ” ගුටි කෑමේ හා මරනීය ප්‍රහාරයට ලක් වීමේ ඉඩ මා වලකා ගත යුතු නොවේද? මේ නිවේදනය පල කලේ එනිසයි.

අවධාරනය :
ඉහත ලැයිස්තුගත එක ද බ්ලොග් අඩෙවියක හෝ කර්තෘත්වය, අඩෙවි පාලනය හෝ වෙනත් මොන ම හෝ සම්බන්ධයක් මට නැහැ!
එසේ ම මගේ blogspot ගිනුමෙන් හෝ එහි openID ද්වාරයෙන් තථ්‍යාකාරයෙන් පිවිසී (log වී) මිස මා කිසිදු බ්ලොග් ප්‍රතිචාරයක් නාමික ව, නිර්නාමික ව හෝ ආරූඪනාමික ව පල කර නැති බව ද අවධාරනය කරනවා. එනිසා ම මෙකී අපප්‍රචාර හේතු කොට ගෙන මට මුහුන දීමට සිදු වන කායික, මානසික හා අනෙකුත් අනතුරු-අවදානම් සම්බන්ධයෙන් එකී ප්‍රචාරයෙහි නිරත වන්නන් වගකිව යුතු බවත් පාඨකයින් හමුවේ කියා සිටිනවා.

ඒ අතර ම, මට අමතරව, මේ අර්බුදයට මැදි ව සිටින සියලු බ්ලොග්කරුවන්ටත් ස්වකීය අදහස් මර්දනයෙන් තොර ව නිදහසේ පල කිරීමට ඇති අයිතිය වෙනුවෙන් නැවතත් සහෝදරාත්මක සහයෝගය පල කර සිටිනවා.


.