වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

මහජතාවට වෙඩි තබා සාක්කුවටත් විදීම

| Comments

සුනාමි ව්‍යසනයෙන් අවතැන් වූවන් සම්බන්ධයෙන් ආන්ඩුව කලෙත් මේකයි. දැන් ඊනියා ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය නිසා අවතැන් වූ ජනතාව සම්බන්ධයෙන් කරන්න යන්නෙත් එය ම බව පේනවා.

එක පැත්තකින් 1929 න් මෙපිට ලෝක ආර්ථිකයට එල්ල වූ බලගතු ම ප්‍රහාර හමුවේ තව මත් පහලට හැරුනු ගමනේ පවත්නා ආර්ථික අවපාතය. අනිත් පසින් තමන් ම වවාගෙන කමින් සිටින යුද්ධය හේතුවෙන් හටගෙන තිබෙන මානුශීය අර්බුදය (humanitarian crisis). දැන් ආන්ඩුව වැඩ දෙකකට සැරසෙනවා
1) මේ අවතැන් වූවන්ට ලැබෙන විදේශාධාර මත බදු පනවා එයින් ගානක් කොටා ගැනීම.

2) අවතැන් වූවන්ට “ආධාර කිරීම” මෙරට සාමාන්‍ය සිවිල් ජනයා මත පැටවීම. (මෙය නිකං ඇවිදින්න බැරි එකාට අලු කුල්ලකුත් අරන් ඇවිදින්න කිව්වාට සමාන නරුම වැඩක්)
මේ හදිසි අවතැන් ජනකාය කෙසේ ප්‍රාදුර්භූත වූ පිරිසක් ද? “ලෝකයේ විශාලතම ප්‍රාන ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම” වසයෙන් තමන් ම කියා ගත් යුද මෙහෙයුම්වල ප්‍රතිඵලයක් හැටියට ආන්ඩුවේ පාලන ප්‍රදේශයට දස දහස් ගනනින් ජනයා පලා එද්දී මේ පලා ඒම “නිදහස සඳහා දෙන යෝධ ඡන්දයක් වසයෙන්” ද හඳුන්වන්න ආන්ඩුව පසුබට වුනේ නැහැ. එහෙත් සැබෑ තත්වය නම් ඊනියා යුද මුක්ත කලාපය තුල ආන්ඩුව විසින් ම නිර්මානය කරනු ලැබූ කුසගින්න, සෞඛ්‍ය පහසුකම් නොමැතිකම හා ඉවක් බවක් නැතිව වස්සනු ලබන කාල තුවක්කු හා බෝම්බ ප්‍රහාරයෙන් බේරීමට බුරුතු පිටින් ජනයා පලා ආ බවයි. එහි තතු යථා පරිදි වාර්තාකරනයට තව මත් පනවා තිබෙන සම්බාධක තහවුරු කරන්නේ මේ ව්‍යසනය දැන් ම නැවැත්වීමට ආන්ඩුව සූදානම් නැති බව මිස අන් කුමක් ද? එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, ජාත්‍යන්තර රතු කුරුසයත් දැනට මත් අනතුරු අඟවා ඇත්තේ අවි නොගත් සාමාන්‍ය ජනතාව සම්බන්ධ අර්බුදය ඉදිරියේ දී තවත් දරුනු අතට හැරිය හැකි බවටයි.

මේ සිටින සරනාගතයින්ගේ ශාරීරික තත්වය ම අර්බුදයේ මරනීය බව මනා ව විදහා පානවා. නිසි ආහාරයක්, සෙවනක් හා සෞඛ්‍ය පහසුකමකින් තොර ව මාස ගනනාවක් සිටීම නිසා ඇට සැකිලි බඳු ව ගිය ශරීර ඇති සියගනන් තුවාල ලැබූවන්ගෙන් වවුනියා රෝහල පිරී ඉතිරී ගොස් තිබෙන බව වාර්තා වෙනවා. මොවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් ශෙල් පතුරුවලින් ලද තුවාල නිසා ඔත්පල ව ඉන්නා අය. මෙය මා අතිත් දමා කියන්නක් නොව මෙද්සැං සොං ෆ්‍රන්තියේර් - Médecins Sans Frontières (MSF) - සංවිධානය පසුගියදා යථාතතු ප්‍රකාර වාර්තා කල අන්දමයි. එම සංවිධානය ම සැපයූ වීඩියෝ වාර්තාවක් සඳහා මේ පිටුව ද ලංකාව සම්බන්ධ ඔවුන්ගේ සියලු වාර්තා සඳහා මේ පිටුව ද බලන්න. මේ ප්‍රහාර වනාහි හමුදාව වට කොට වවුලන් එලවීමට රතිඤ්ඤා දමන්නාක් මෙන් මහජනතාව එලවා දැමීමට කල ප්‍රහාරයෙහි ප්‍රතිඵලයි. මේ “මුදා ගත්” ජනකායට දැන් අත් ව තිබෙන ඉරනම පසුගිය දශක ගනනාව තිස්සේ යුද්ධය නිසා අවතැන් වූවන්ට අත් වූ ඉරනමට වෙනස් නැහැ. හමුදාව විසින් හෝ වෙනත් ආකාරයකට පාලනය කරනු ලබන සිර කඳවුරුවලට නොදෙවෙනි දහජරා අනාථ කඳවුරුවල අනියත කාලයක් ගත කිරීමට සිදු වීම හැර අන් විකල්පයක් පෙනෙන මානයක නැහැ.

යුද්ධය අවසානයකට පැමිනි බවට ගසන කයිවාරු කෙසේ වතුදු යුද වියදම් සතයකිනුදු පහත හෙලීමට කිසිදු සූදානමක් නැති බව මීට පෙර සතියක නියෝජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඇඟවුම් කර සිටියා. ඔහු කී පරිදි වත්මන් යුද්ධය අවසන් වුවත් වත්මන් ආරක්ශක විධිවිධාන පද්ධතිය පෙනෙන මානයක දී අවසාන වනු නැහැ. එසේ නම් මේ උතුර පුනරුත්ථාපනය හා අවතැන් වූවන් යලි පදිංචි කිරීම පිලිබඳ කයිවාරු ඉටු කරනුයේ ගස්වලින් කඩන මුදලින් ද?

මේ වාතාවරනය පිලිබඳ කදිම විශ්ලේශනයක් සම්පාදනය කරන විජේ ඩයස් පෙන්වා දෙන පරිදි “සිවිල් යුද්ධය අවුරුදු 25ක් තිස්සේ ගොඩනඟා තිබෙන ආරක්ෂක තන්ත්‍රය අවසාන වනු ලබන්නේ හුදෙක් දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් පාගාදැමීමෙන් පමනක් නොවේ. එල්ටීටීඊයේ යුද්ධමය හැකියාව විනාශ කරන ආන්ඩුව දැන් වහාම සූදානම් වන්නේ මුලුමහත් කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට එරෙහි මහා ප්‍රහාරයකට ය. බංකොලොත්කමේ මුවවිටේ සරන ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙතෙක් ලබා ඇති සුවිසල්ම නය මුදල ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටී. ආන්ඩුව කම්කරුවන් ද ගොවියන් සහ තරුනයන්ද ඇතුලු තම අයිතීන් රැකගැනීමට සටන් වදින සකල ජනයාට එරෙහිව පොලිස් රාජ්‍ය පියවරයන් ගනු ඇත”

“එල්ටීටීඊයට එරෙහි ආන්ඩුවේ මිලිටරි ජයග්‍රහනයන් ගැන කොලඹ දේශපාලන සංස්ථාපිතය විසින් දැන් පවත්වාගෙන යනු ලබන යුදවාදී ඝෝෂාවේ සැබෑ අර්ථය මෙයයි. පසුගිය අවුරුදු තුන තිස්සේ රාජපක්ෂ ආනුඩුව වැඩ වර්ජනය කල කම්කරුවන්ට සහ පන්ති වර්ජනය කල ශිෂ්‍යයන්ට “කොටි ත්‍රස්තවාදීන්ගේ” හවුල්කරුවන්ය කියා ව්‍යාජ චෝදනා එල්ල කර ඇත. දැන් එල්ටීටීඊයේ පරාජයෙන් ශක්තිමත් කරනු ලැබූ ආන්ඩුව හා පාලක ප්‍රභූවේ වචාත්ම ප්‍රතිගාමී කොටස් වැඩි කල් යන්නට පෙර තම අලුත් ම සතුරා - කම්කරු පන්තිය ලෙයින් මඬින ලෙස ඉල්ලා සිටිනු ඇත…” වැඩි දුර කියවන්න ඉංගිරිසි / සිංහල(pdf)

වෙනත් වචනවලින් කියතොත් සියලු මර්දන නීති හා ආරක්ශක “විධිවිධාන” අඛන්ඩ ව පවත්වාගෙන යාමට අදිටන් කරගෙන සිටින ආන්ඩුව, ජනතාව හමුවේ තබන අනාගත වැඩ පිලිවෙල මෙහෙමයි - තව දුරටත් වැඩි වැටුප් ඉල්ලීම් එපා. උද්ඝෝශන එපා. මේ ජීවන කොන්දේසි දරාගෙන සිටීම වනාහි දේශප්‍රේමයයි. එයට එරෙහි ව යාම ත්‍රස්තවාදයයි. අනාථ ආධාරවලිනුත් කොටසක් අපට ඕනෑ. මුල්‍ය අරමුදලේ නයත් අපට ඕනෑ. එසේ තිබිය දීත් මහජනතාවෙනි අප වෙඩි තැබූ ජනතාවට තෙපි ම ආධාර ද දියවු!

“එල්ටීටීඊ ග්‍රහනයෙන් පලා ආ” ජනතාවටත් දකුනේ සෙසු පීඩීත ජනතාවටත් රාජපක්ශ පාලනය යටතේ ලැබෙන “විමුක්තිය” මෙය ද?

අදාල වෙනත් ලිපි
Imperialist hypocrisy over the Sri Lankan war

Halt the war crimes in Sri Lanka

Mounting civilian death toll in Sri Lankan war

යුද ගිනිදැල් අතරින් බේරී පැමිනියෝ

ශ්‍රී ලංකාවේ යුද අපරාධ නවතනු (pdf)!

Sri Lankan military continues shelling “no-fire zone”



.