වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

බ්ලොග්කරුවකුට තර්ජනය කිරීමට පෙර සිතා බැලිය යුතු දෑ : දන්නෝ දනිත්!

| Comments

ඊයේ උදේ පාන්දර 12.30ට පමන මට එක්තරා පුද්ගලයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබුනා. ඔහු ඉල්ලීමක් කලා. ඒ මේ බ්ලොග් අඩෙවියේ පල ව තිබූ එක්තරා ලිපියක් ඉවත් කරගන්න කියලයි.

ඔහු පිලිබඳ දරුනු විවේචනයක් මේ බ්ලොග් අඩෙවියේ කලකට පෙර පල ව තිබුනා. ඇත්තෙන් ම එම බ්ලොග් සටහනේ අන්තර්ගත වුනේ තිබුනේ ඔහු විසින් ම මට එවනු ලැබූ විද්‍යුත් ලිපියක්. තර්ජනාත්මක ලිපියක්. (මේ සිදුවීමේ පසුබිම සහ නම් ගම් එවක බ්ලොග් අවකාශයේ ගැවසුනු අය හොඳින් දන්නවා. එයින් පරිබාහිර ව මේ සිද්ධිය ප්‍රචාරනය කිරීමට මගේ අදහසක් නැහැ. නමුත් අදාල සිද්ධීය පිලිබඳ කිසියම් තක්සේරුවක් කිරීම පොදුවේ ප්‍රයෝජනවත් වේ ය කියා හිතන බැවින් මෙය ලියනවා.)

මම මේ තර්ජනයට මුහුන දිය යුත්තේ කෙසේ ද යන්න eff සහ බ්ලොග්කරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කරමින් උන් වෙනත් පිරිස් සමග කතා කොට උපදෙස් ගෙන ක්‍රියාමාර්ගයක් ගත්තා. මගේ ආරක්ශාවට. මම කලේ ඔහු එවූ ලිපිය කෙලින් ම මගේ බ්ලොග් අඩෙවියේ පල කොට මේ තර්ජනයේ ස්වභාවය පාඨකයින්ට දන්වා සිටීම යි. ඉන් අනතුරු ව ඔහු ඊට පිලිතුරු වසයෙන් එවූ තවත් විද්‍යුත් ලිපි කීපයක් ද සමුච්චය කරමින් දෙවැනි ලිපියක් ද පල කෙරුනා.

දැන් සෑහෙන කලකට පසු, කල කම් නිසි පරිදි පල දී ඇති සෙයක් පෙන්නුම් කෙරෙනවා. යකුන් ගස්වලින් බසින යාමයේ දුරකථනයෙන් ඔහු මට කියා සිටි පරිදි දැන් ඔහුගේ නම ගූගල් සෙවුම් යතුරෙන් සෙවූ කල්හි පලමු ප්‍රතිඵලය හැටියට ලැබෙනුයේ මගේ බ්ලොග් ලිපියයි! අදාල පුද්ගලයා අන්තර්ජාලයේ විවිධ වූ කටයුතු, ව්‍යාපාර, ප්‍රජා සංවිධාන ආදිය පවත්වාගෙන යන්නෙක්. ඒ සියලු වෙබ් අඩෙවි පරයා ඔහු එල්ල කල තර්ජනය පිලිබඳ ලියැවුන ලිපිය ගූගල් විසින් අංක 1ට ඔසවනු ලැබ තියෙනවා!! මෙය තමාටත් සිය පවුලේ අයටත් සිත්වේදනා උපදවන තත්වයක් බව ඔහු කියා සිටියා. සිය දියනිය පවා මේ පිලිබඳ විමසන බවත් කීවා. ගූගල් වෙත පැමිනිලි කිරීම ආදී විවිධ උපක්‍රම මගින් මෙය සෙවුම් යන්ත්‍රයෙන් ඉවත් කිරීමට ගත් වෑයම් ද අසාර්ථක වූ බවත් ඔහු අතිරේක වසයෙන් පැහැදිලි කලා.

මම මේ බ්ලොග් අඩෙවිය පවත්වාගෙන යන්නේ කාගේ වත් අඹුදරුවන්ට දුක් ගිනි දීමට හෝ පලිගැනීමේ චේතනාවෙන් හෝ නොවන නිසා මේ තත්වය සානුකම්පිත ව සලකා බලා අදාල බ්ලොග් සටහන් දෙක ඉවත් කරන්න තීරනය කෙරුවා. අදාල පුද්ගලයාගේ තර්ජනය මම පල කලේ මගේ ආරක්ශාවට මිස ඔහුට හානි ගෙන දීමේ අටියෙන් නොවෙයි. ඔහුට හානි සිදු කලේ ඔහු ම ලියූ ලිපිය යි. (ඔහුගේ ම කර්මයයි ?) ඒ නිසා මම කල්පනා කරනවා එය පල කිරීමේ අරමුන මේ වන විට ඉටු වී හමාර බව.

ඉවත් කල පලමු ලිපිය තිබූ ස්ථානය
මේ දෙවැන්න තිබූ තැන

මට පමනක් නෙවෙයි වෙනත් කිසි ම කෙනෙකුගේ අදහස් පල කිරීමේ නිදහසට එරෙහිව නැවතත් මෙවැනි අවකල්ක්‍රියාවක් ප්‍රකට කලොත් නැවතත් ලිපි දෙක සහ ඒ තර්ජන සියල්ලත් ජාලගත කරන බවට පෙරලා දැනුම් දෙන්නත් මෙය අවස්ථාව කර ගන්න කැමතියි.

නමුත් අන්තර්ජාලය හා බ්ලොග්කරනය සම්බන්ධයෙන් යමක් සාකච්ඡා නොකර මේ සටහන අවසන් කරන්න බැහැ. මෙය පුද්ගලික සිද්ධියක් නෙවෙයි. අද කාලේ ලිවීමේ හෝ අදහස් පල කිරීමේ යෙදෙන කෙනෙකුට අතීතයේ කල ස්වරූපයෙන් ම තර්ජන එල්ල කිරීම ඒ තරම් ප්‍රායෝගික නොවෙන්න පුලුවනි :D ඒවා backfire විය හැකියි. අන්තර්ජාලයේ ගැවසුනත් තව ම කරුනු කාරනා ගැන තේරුම් ගන්නෙ පුස්කොල පොත් යුගයේ ක්‍රමයට නං, ඒ කියන්නෙ රජ කාලෙ ක්‍රමයට නං ඒක ලොකු වැරදීමක්. ඒ වගේ ම කැලෑ පත්තරවලින් නැත්නම් 88-89 කාලේ ක්‍රමයට එහෙමත් නැත් නම් සුදු වෑන් ක්‍රමයට මේවා විසඳන්න කල්පනා කරන අයත් ඉන්නවා. මුද්‍රනාලය ගිනි තැබීම වගේ දේවල් කරන්නත් දැන් බැහැ නොවැ.

නමුත් අන්තර්ජාලයට මිනිසුන්ට වඩා දිගු මතකයක් තියෙන්න පුලුවන් බව මේ අය අමතක කරන දෙයක්.

මේ අතරෙ මට එක එක්කෙනාගෙ කටවල් වැහීම ගැන තව දෙයක් සිහියට එනව. අදාල නෑ වගේ පෙනුනත් ඒකත් මේකටම ඔබනව….

මාස්ටර් සහ මාගරිටා නවකතාවේ එක තැනක ගිනිබත් කෙරුනු අත්පිටපත ගැන මෙහෙම කියැවෙනව.

- මොකක් ගැනද වෘතාන්තය?
- පොන්තී පිලාත් ගැන වෘතාන්තයක්.
මෙහිදී යළිත් වරක් ඉටිපහන් දිවවල් පැද්දෙමින් පනින්නට විය, වොලාන්ද් පිපිරුමක් සේ සිනාසිණ, නමුත් කිසිවකු එම සිනාවෙන් භීතියට පත් කළේ හෝ පුදුමයට පත් කළේ නැත. බෙගිමොත් කුමන හේතුවක් නිසා හෝ අත්පොළසන්දුන්නේ ය.
- මොකක් ගැනද, මොකක් ගැනද? කවුරු ගැනද? - වොලාන්ද් සිනහව නවත්වා කතා කළේ ය : ඒ මොකක්ද? විස්මයංනකයි! ඔබට බැරි වුණාද වෙන තේමාවක් හොයාගන්න? දෙන්නකො බලන්න, - වොලාන්ද් අත්ල උඩුබැලි කොට දිගු කළේ ය.
- කණගාටුයි, මට ඒක කරන්න බැහැ, - මාස්ටර් පිළිතුරු දුන්නේ ය,
- මොකද මම ඒක පෝරණුවෙ දාල පිච්චුව.
- සමාවෙන්න, මම විශ්වාස කරන්නෙ නැහැ, - වොලාන්ද් පිළිතුරු දුන්නේ ය, - ඒක වෙන්න බැහැ. අත්පිටපත් පිළිස්සෙන්නෙ නැහැ, - ඔහු බෙගිමොත් වෙත හැරී කීවේ ය: - බෙගිමොත්, මෙහෙ දීපං වෘතාන්තය.
පූසා ඇසිල්ලකින් පුටුවෙන් බිමට පැන්න අතර ඌ ඉඳගෙන සිටියේ අත්පිටපත් ගොන්නක් මත බව සියල්ලන්ටම පෙනිණ…”
මිහයීල් බුල්ගාකොව්, මාස්ටර් සහ මාගරිටා, පරි - පසන් කොඩිකාර, විදර්ශන, කළුබෝවිල, 1998, 322-323 පිටු

ස්ටැලින්වාදී වාරනයට ලක්ව දශක ගනනාවක් සෝවියට් ලේඛනාගාර පතුලේ හැංගී තිබුනු බුල්ගාකොව්ගේ අත්පිටපත් පසුව අතීතයෙන් මතුව එන නීලමහා යෝධයින් වගේ සාහිත්‍ය ක්ශේත්‍රය අරක්ගත්තා. වාරකයෝ, තර්ජකයෝ සහ මර්දකයෝ බුරුතු පිටින් ඉතිහාසයේ කුනුකූඩයට විසි වී ගියා.