වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

අටවක පුත්තු, නිර්මානකරනය, වියරනය සහ භාශා මූලධර්මවාදයේ වත්මන් තත්වය (1)

| Comments

ලියනගේ අමරකීර්ති ලියූ අටවක පුත්තු කෘතිය 2007 වසරේ පල වූ හොඳ ම සිංහල නවකතාව හැටියට මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවා. මේ සටහන එම නවකතාව ගැන නෙමෙයි. සම්මානය ගැනත් නෙමෙයි. අමරකීර්තිගේ කෘතිය හොඳ ම නවකතාව ලෙසින් සම්මානිත බැව් නිවේදනය වූ පසු විවිධ “සිංහල භාශා ප්‍රේමීන්” එම නවකතාවටත් අමරකීර්තිටත් එරෙහි ව දියත් කල විරෝධතා නිරීක්ශනය කිරීමත් ඒ ගැන අදහස් කිහිපයක් පල කිරීමත් මෙහි අරමුනයි. එහි දී භාශා පාරිශුද්ධතා ව්‍යායාමයේ වත්මන් තත්වය පිලිබඳ අවධානය යොමු කරමින් භාශා ව්‍යවහාරයේ පරිනාමය පිලිබඳ ලියැවෙන මීලඟ බ්ලොග් සටහනකට පාර කපා ගන්නත් බලාපොරොත්තු වෙනවා. උපුටන හැරුනු විට මෙහි ලියැවෙන දෑ මගේ පුද්ගලික අදහස්. වෙනත් අයට වෙනත් මත තිබිය හැකියි.

අටවක පුත්තු කෘතියට එල්ල වූ මේ විරෝධය ඉතා සංවිධිත ව ප්‍රකාශ වූ තැනක් හැටියට “භාෂා ප්‍රේමී සන්ධානය”(ඔවුන්ගේ ෂ යන්න සහිත ව) වෙනුවෙන් එහි සභාපති ප්‍රවීන මාධ්‍යවේදී ඩී. ඇෆ්. කාරියකරවන මහතා නිකුත් කල නිවේදනය මෙහි දී උපුටා දක්වන්න කැමතියි. මේ නිවේදනය මම උපුටා ගත්තේ එලඹෙන සති අන්තය සදහා (2008 සැප්තැම්බර් 21 ඉරිදා) පල ව ඇති හෙළදිව පුවත්පතේ 24 වැනි පිටුවෙන්. හෙළදිව පුවත්පතේ කිසියම් සකසුවකු නිවේදනයේ මුලට මෙයාකාර වැකි කිහිපයක හැඳින්වීමක් ද යොදමින් මුලුමනින් ම අවිවේචනාත්මක ව මෙකී විරෝධයට පක්ශපාතීත්වය පල කරනවා :

“…විශේෂයෙන් සාහිත්‍ය අනුමණ්ඩලය විසින් සිදුකරනු ලැබ ඇති වැරැද්ද නිසා රාජ්‍ය සාහිත්‍ය ප්‍රදානය ගර්හාවට පත් වී තිබේ.
“සම්මානිත කෘති අතර අටවක පුත්තු, බස මරා තිබේ. ඊට භාෂා ප්‍රේමී සංවිධානය නිවේදන නිකුත් කරමින් විරෝධය පාමින් යම් හඬක් නංවයි. මේ උපුටා දක්වනුයේ විමල් බලගල්ල, සුචරිත ගම්ලත්, ජේ. බී. දිසානායක, තිස්ස කාරියවසම්, ආනන්ද අබේසිරිවර්ධන යන මහාචාර්යවරුන් ද පණ්ඩිත සිරි තිලකසිරි මහතාණන් ද ඇතුළු සභාපති ඩී. එෆ්. කාරියකරවන සහ පණ්ඩුල ඇඳගම යන භාෂා ප්‍රේමීන් විසින් ‘හෙළදිව’ට එවනු ලැබූ මාධ්‍ය නිවේදනයයි.”

එම පූර්විකාව සම්පූර්නයෙන් කියවීමට කෙලින් ම අදාල පුවත්පතට යොමු වන මෙන් මම පාඨකයින්ගෙන් ඉල්ලා හිටිනවා. පුවත්පත හෝ භාෂා ප්‍රේමී සන්ධානය මෙයට යොදා ඇති සිරස්තලය “බස මරන අටවක පුත්තුන්ට දෙන රාජ්‍ය සම්මානවලට එරෙහි වෙමු” (!!!)

මෙහි දී මම අවධානය යොමු කරන්නේ කාරියකරවන මහතා නමින් පල කෙරුනු නිවේදනය වෙත පමනයි. උපුටන තුල block quotes හැටියට දක්වා ඇත්තේ එම නිවේදනයයි. ඒ අතර මැද මගේ “කියැවීම” බහාලන්න අදහස් කලා. එක දිගට කාරියකරවනයන්ගේ නිවේදනය කියවන්න මෙන්න මේ පිටුවට පිවිසෙන්න. නිවේදනය ආරම්භ වෙන්නේ මෙහෙම :

“අප මේ නිවේදනය නිකුත් කිරීමට අදහස් කළේ මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත් ‘අටවක පුත්තු’ නම් නවකතාව නිමිතිකොට ගෙන ය. එහි වස්තු විෂය සන්දර්භය හෝ ආඛ්‍යාන ශෛලිය පිළිබඳ ව අප කිසිවක් ප්‍රකාශ නොකරන අතර එම කෘතිය මඟින් කෙරෙන සිංහල බස් මැරිල්ල අපි තරයේ හෙළා දකිමු. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මඟින් කෙරෙන සිංහල බස් මැරිල්ලට එරෙහි ව කටයුතු කිරීමට පෙළ ගැසුණු අපට දැන් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබෙන කෘති ගැන ද කතා කරන්නට සිදු වීම සිංහල භාෂාවේ අභාග්‍යයක් මෙන් ම ඛේදවාචකයක් ද වේ. මෙම කෘතිය සම්මාන සඳහා නුසුදුසු ය යි කීම අපේ කාර්යය නොවේ.”

මේ අනුව එක් වර ම පෙනී යන්නේ කාරියකරවනයන් අටවක පුත්තු හොඳ ම නවකතාව ලෙස ඇගැයීමට විරුද්ධ නැති බවක්. අටවක පුත්තු කියන්නෙ නවකතාවක්, කලා කෘතියක්. එහි හොඳ නරක ගැන කතා කරන්න නම් වස්තු විශය සන්දර්භය සහ ආඛ්‍යාන රීතිය පිලිබඳ කතා කරන්න වෙනවා. ඒ ගැන කතා කරන්නෙ නැත්නම් අටවක පුත්තු “හොඳ ම නවකතාව වීම ගැන” ගැන විරෝධයක් එල්ල කරනවා කියලා හිතන්න අමාරුයි. ඔන්න එවිට ම අපට පෙනී යනවා මේ විරෝධය අදාල කෘතියේ භාශාව(භාශාව කිව්වට භාශාවමත් නෙමේ, වියරනය) පිලිබඳ ව බවත්, එසේ ම එකී කාරනය හේතුවෙන් අටවක පුත්තු කෘතියට සම්මානය නොදිය යුතු යයි ඔවුන් යෝජනා කිරීමට සැරසෙන බවත්. ඊලඟ ඡේදයේ කාරියකරවනයන් කියන දෙයින් අපට ඉතා සිත්ගන්නාසුලු දෙයක් අනාවරනය වෙනවා.

“අටවක පුත්තු ලියා ඇත්තේ කටවහරිනි. සාහිත්‍ය නිර්මාන සඳහා කටවහර භාවිත කිරීම පිළිබඳ ව අපගේ ගැටලුවක් හෝ විරෝධයක් නොමැත. එම ග්‍රන්ථයේ “න, ණ, ල , ළ” භාවිතය උවමනාවෙන් ම අත්හැර තිබීම ලේඛකයා පෙර ආචාර්යවරයකු අනුගමනය කරන්නක් විය හැකි ය….”

අතීතයේ භාශා පාරිශුද්ධතාවාදීන් සිටි ආස්ථානවලින් අලුත් අදියරකට මාරු වී ගත් සෙයක් මෙයින් පෙන්නුම් කෙරනවා. මම කියන්නෙ කාරියකරවන මහතා ගැන විශේශයෙන් නෙමෙයි. මෙවැනි අවස්ථාවක මෙවැනි විරෝධයක් මතු කිරීමට ඉදිරිපත් වූ “භාශා ප්‍රේමී කුලකය” වෙතින් පෙරට ආ ප්‍රධාන තර්කයක් මෙහි දී අභාවයට ගිහින්. පෙර දී නම් කටවහරින් ලිවීම විතරක් නෙමෙයි, කට බසේ වියරනය පමනක් උපයෝගී කරගැන්මට පවා බරපතල විරෝධතා එල්ල වීම දකින්න තිබුනා. ඒ වගේ ම මාර්ටින් වික්‍රමසිංහ මහතා වැනි ඇතැම් පුරෝගාමීන් පලමු වරට නවකතාව තුල එන දෙබස් සඳහා කටවහර යොදාගත් කල්හි පවා මෙකී භාශා ප්‍රේමී විරෝධය එල්ල වූනේ බස දුඹුල් කරනවා කියලයි. නමුත් දැන් භාශා ප්‍රේමී දර්ශකයේ පිහිටීම වෙනස් වී ඇති අයුරු මේ ඉදිරිපත් කෙරෙන අදහසින් පෙනෙනවා.

තව ද “පෙර ආචාර්යවරයකු” අනුයමින් ණ සහ ළ අත්හැරීම ඉවසා වදාරන්නත් මෙහි දී භාශා ප්‍රේමීන් වක්‍ර ව එකඟ වෙනවා. නමුත් ඔවුන්ගේ විරෝධය එල්ල වෙන්නේ අලුතින් කෙනෙක්, මේ වැඩේ තව අදියරකට තවත් තලයකට ගෙන ගියා සේ පෙනී යාම නිසයි. කාරියකරවනයන් මුල් වරට දැක ඇති සේ පෙනෙන භාශා භාවිතයක් ගැන විරෝධය පල කරන අයුරු බලන්න :

“…එහෙත් එම ග්‍රන්ථයේ බරපතළ ම බස් මැරිල්ල වන්නේ මූර්ධජ ‘ෂ’ යෙදිය යුතු සියලු ම වචනවලට තාලුජ ‘ශ’ යන්න ආදේශ කොට කරන විකෘතියයි. ග්‍රන්ථය පුරා ම එසේ ලියා ඇති වචන සිය ගණනක් නිසා උදාහරණ දැක්වීම අවශ්‍ය නොවේ. අටවක පුත්තු නවකතාවේ දක්නට ඇති ඊළඟ බස් මැරිල්ල වන්නේ පද බෙදීමයි. තනි වචනයක් සේ ලිවිය යුතු වචන දෙකට කඩා ලිවීමත්, වචන දෙක තුන හතර එකට ඈඳා තනි වචනයක් සේ ලිවීමත් මෙහි ඇති බරපතළ දෝෂයකි. මෙය සමහර බටහිර ඉංග්‍රීසි සාහිත්‍යකරුවන් විසින් වචන කිහිපයක් ඈඳා ලියනු ලැබීම අනුගමනය කරන්නක් යැයි කෙනෙකුට තර්ක කළ හැකි වුව ද මෙයින් වැනසී යන්නේ අපේ භාෂාවයි. එය වාග් විද්‍යාවට අනුකූල ව නව භාෂාවක් නිර්මාණය කිරීමක් යැයි ද, පරම නිවැරදි භාෂාව වෙනුවට නව භාෂා නිර්මාණයක් වේ ය යන තකතිරු ප්‍රකාශන අපි තරයේ හෙළා දකිමු. වාග් විද්‍යාව යනු පවත්නා භාෂාව විකෘති කොට නව භාෂාවක් නිපදවීම නොවේ.”

ඇත්තෙන් ම ‘ණ’ සහ ‘ළ’ ඉවත් කිරීම සම්බන්ධයෙන් අදාල වන තර්කනය ම ‘ෂ’ සම්බන්ධයෙන් එක සේ අදාල වන අන්දම කාරියකරවනයන් ප්‍රමුඛ භාශා ප්‍රේමීන්ට නොතේරීම කනගාටුවට කරුනක්. ‘ණ’, ‘ළ’ සහ ‘ෂ’ යන තුන ම මූර්ධජ අකුරු. අතීතයේ මූර්ධජ හෙවත් ”මුදුනින් ජනිත” වූ සේ සැලකුනු මේ අකුරු අද වන විට දන්තජ ‘න’, ‘ල’ සහ තාලුජ ‘ශ’ සමග කිසිදු තාර්කික වෙනසකින් තොර ව අතිරේක “බරක්” හැටියට පමනක් පවතිනවා. මූර්ධජ අකුරුවලින් ‘ණ’ සහ ‘ළ’ පමනක් ඉවත් කිරීම ඒ තරම් ම ප්‍රමිතිගත දෙයක් නෙවෙයි. මූර්ධජ අකුරු පිලිබඳ දැනුවත් ව සහේතුක ව එය ඉවත් කිරීම ඊට වඩා ප්‍රායෝගික යි. අදාල යි. ඒ විතරක් නෙමෙයි ‘ණ’ සහ ‘ළ’ සම්බන්ධ ප්‍රශ්නයේ ම කොටසක් හැටියට දැන් දශක ගනනාවක් තිස්සේ ලේඛකයින් පරම්පරා කීපයක් මෙලෙස ‘ෂ’ වෙනුවට ‘ශ’ අක්ශරය පමනක් යොදාගැනීම කාරියකරවනයන්ගේ ඇස නොගැටෙන්නේ අලුත් පත පොත නොකියවන නිසා ද? නැති නම් නුදුටුවා සේ මෙය ලියන්නේ වෙනත් අරමුනකින් ද? ඒත් එක්ක ම පද බෙදීම ගැන පූර්වභංග (preemptive) පිලිතුරු කීපයක් ඉදිරිපත් කරනවා. සාහිත්‍යකරුවන් යොදාගන්නා ලිවීමේ ශෛලීන් හා තාක්ශනයන් ද අපේ බාසාව “වැනසීමක්” හැටියට කල්තබා ම බැහැර කරන නිසා ඔවුන් ඒ පැත්ත නිරවශේශයෙන් බැහැර කරන බවයි පෙනෙන්නෙ. මීලඟට කියන දෙය බලමු :

“මෙහි බරපතළ ම දුර්විපාකය හැටියට අප දකිනුයේ මෙම ග්‍රන්ථයේ කතුවරයා වන ලියනගේ අමරකීර්ති මහතා සිංහල පිළිබඳ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු වීම ය. විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිංහල භාෂාව උගන්වන්නේ මේ ලෙසින් නම් විශ්ව විද්‍යාලවලින් පිට වන උපාධිධාරීන්ගේ සිංහල දැනුම ගැන අපට තැබිය හැකි විශ්වාසයක් නොමැති ය. විශ්ව විද්‍යාල ආචාර්යවරයකු වශයෙන් ඔහු උසස් පෙළ සිංහල උත්තර පත්‍ර බැලීම හෝ අධීක්ෂණය කරන්නේ නම් ඇති විය හැකි තත්වය වඩාත් බරපතළ වේ.”

දැන් කාරියකරවන මහතා සහ පිරිස අලුත් ම කාරියකට අවතීර්න වෙනවා. ඒ තමයි කාරනා කිහිපයක් අතිශය අවිශද ආකාරයක කලවම් කිරීම. මුලින් කතා කිරීමට බැස්සේ නවකතාවක් ගැන බවත් නිර්මාන කෘතියක් ගැන බවත් නොතකා ම නවකතාකරුවා විශ්ව විද්‍යාල ඇදුරකු බවත් එම නවකතාවේ තිබෙන ආකාරයට ඔහු සිංහල උගන්වන බවත් ඇඟවුම් කරනවා! “ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිංහල භාෂාව උගන්වන්නේ මේ ලෙසින් නම්” ආදී වසයෙන් කියන්නේ ඒකයි. උසස් පෙල උත්තර පත්තර බලන්න යැව්වත් මොහු කරනවා ඇත්තේ මේකයි කියලත් එතුමා අපට ඇඟවුම් කරනවා. ලියනගේ අමරකීර්ති විශ්වවිද්‍යාලයේ දී සිංහල ඉගැන්වූ ආකාරය භාශා ප්‍රේමීන්ගේ පරීක්ශාවට ලක් වුනාද? මම දන්නා ආකාරයට මේ නවකතාවේ කිසිම තැනකින් ඇඟවුම් කෙරෙන්නෙ නෑ එය ලියූ ලේඛකයා විශ්ව විද්‍යාලයේ සිංහල උගන්වන්නේ මෙයාකාරයෙන් බවක්. අනික ඔහු වියරන උගන්වන ගුරුවරයෙක් නෙවෙයි. එසේ තිබිය දීත් කාරියකරවනයන් මෙහෙම කියන්නෙ පොදුවේ මතු කරගත හැකි, අවුස්සා ගත හැකි විරෝධතා හැකි පමන ප්‍රමානයක් එක පොදියට ගොනු කරගෙන තමුන්ගේ පාර්ශ්වයෙන් හිටුවාගැනීමේ අභිලාශයෙන් බවයි මට පේන්නේ. මොකද “සිංහල බාසාව විනාස වෙනවාය ඒක රැකගන්න ඕනය” ආදී වසයෙන් පොදුවේ මතු ව එන එක්තරා අන්දමක විලාසිතාවක් බඳු විරෝධාකල්පයක් දැන් පවතිනවා. නමුත් මේ විරෝධයට එක් වන හැමෝම එන්නෙ එක ම කාරනා පදනම් කරගෙන නෙමෙයි: සමහරුන්ට ඕන රූපවාහිනී පුවත් “පොතේ වියරනයෙන්” ඉදිරිපත් කරන්න; සමහරුන්ට ඕන නවකතාවලින් කටවහර පන්නාදමන්න; සමහරු දුකින් තැවෙන්නෙ අද කාලෙ අයට වියරන වත් බාසාව වත් හරි හැටි “බැරි” නිසා; තවත් අයට ඕන “අනාගත පරපුරේ ව්‍යාකරන ඥානය” ඉහල දමන්න. මේ සියල්ලන්ගේ විරෝධය අමරකීර්තිටත් ඔහුගේ නවකතාවටත් එල්ල කොට පිහිටුවාගන්න දරන උප්පරවැට්ටියක් තමයි අර නවකතාව ගැන කතා කරමින් එහි බසට දෝශාරෝපනය කරමින් සිට තදනන්තර ව විශ්ව විද්‍යාලයේත් “මේ ලෙසින්” සිංහල උගන්නන්න යාම ගැන කීම; උසස් පෙල ප්‍රශ්නපත්‍ර සමීක්ශනයට අදාල ආචාර්යවරයා ගියොත් සිදු වන තත්වය ගැන පරිකල්පනා ඉදිරිපත් කිරීම.

හැබැයි මේ කතාවට තකට-තක අන්දමේ උත්තරයක් දෙන්නත් බැරි කමක් නැහැ. මේ මගේ පුද්ගලික අදහස : අදාල ලේඛකයා විශ්ව විද්‍යාලයේ සිංහල අංශයක ඉගැන්වීම ම මෙවැනි වෙනසකට මුල පිරීම සඳහා ඉතා වැදගත් බව මම කල්පනා කරනවා. තව ද සිංහල අධ්‍යයනාංශ වැනි තැන්වල වියරනය ගැන උගන්වන අවස්ථාවන්හි දී මූර්ධජ අක්ශර ඉවත් කල, කට බසේ වියරනය සහිත (තව ද හැකි නම් පිල්ලම් ආදිය ද සමරූප කල) සිංහලය තවත් එක් පද්ධතියක් හැටියට තවත් ප්‍රවනතාවක් හැටියට පිලිගනිමින් ඒ පිලිබඳ ඉගැන්වීම වැදගත් බව වැඩිදුරටත් යෝජනා කරන්න සතුටුයි. එම ප්‍රවනතාව දැන් එවැනි හඳුනාගැනීමකට සරිලන තරම් කාලයක් අප සමාජයේ පැවත තිබෙනවා - ලිඛිත සහ කථිත යන දෙයාකාරයෙන් ම! එවැනි වෙනසක තර්කනය අවබෝධ කරගැන්මට සහ අන්‍යයන්ට අවබෝධ කර දීමට අමරකීර්ති වැන්නෙකුට හැකි වන්නේ සහ මඟ පෑදෙන්නේ ම නිර්මානාත්මක සිංහල ලේඛකයකු වීම හා භාශා සාහිත්‍ය සම්බන්ධ අධ්‍යයනාංශයක ගුරුවරයකු වීම යන දෙකම නිසා නිසා යයි විතර්කයක් නැඟුනොත් කාරියකරවනයන් දක්වන ප්‍රතිචාරය කුමක් විය හැකි ද? මේ ප්‍රවේශය නිසා ම අමරකීර්ති විශ්ව විද්‍යාල මට්ටමින් සිංහල භාශා සාහිත්‍ය විශයන් ඉගැන්වීමට වඩාත් සුදුසු බවත් ප්‍රකාශ කරන්න පුලුවනි. ණ ළ ෂ ව්‍යවහාරයෙන් ඉවත් කිරීම, වියරනයේ ප්‍රතිසංවිධානය වැනි දේ විශ්ව විද්‍යාල තුල, පන්ති කාමර තුල දේශන ශාලා තුල සහ අවසානයේ විශය නිර්දේශ තුල නිර්භය සාකච්ඡාවන්ට පාත්‍ර කල යුතු බව යෝජනා කලොත් කාරියකරවනයන් සහ භාශා ප්‍රේමීන් දෙන පිලිතුර කුමක් ද? භාශාවේ වෙනස් වීම් සම්බන්ධ බැරෑරුම් සංවාද පැවැත්වීම, ඒ පිලිබඳ තීරන ගැනීම හා ඒවා ක්‍රියාවට නැඟීම සඳහා සමාරම්භකත්වයක් ගැනීම විශ්ව විද්‍යාල ඇදුරකුගේ වැඩක් නොවේ ද? නො එසේ නම්, පැරනි පිලිවෙත් එයාකාරයෙන් පවත්වාගෙන යන දේවාලයක වතාවත් සපුරන කපුවන් මෙන් සරසවි ඇදුරන් කටයුතු කල යුතු බව කාරියකරවනයන් ප්‍රමුඛ භාශා ප්‍රේමීන් කියනවා ද?

“සාහිත්‍ය නිර්මාණයක් අගය කළ යුත්තේ එහි භාෂාව අනුව නොවන බව අපි පිළිගනිමු. එහෙත් සම්මාන සඳහා බස මරන කෘති තේරීමෙන් සිදුවන්නේ සාහිත්‍ය අනුමණ්ඩලය ද බස් මැරිල්ලට අනියමින් එක්වන බවයි. සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපතිවරයා සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන සංස්කාරකවරයා ද වන බව අප අමතක කළ යුතු නැත. මෙම ග්‍රන්ථයේ ‘වාග් කෝෂය’ යන්න ලියා ඇත්තේ ද ‘වාග් කෝශය’ යනුවෙනි. ජනප්‍රිය රූපවාහිනී සාකච්ඡාවකට සහභාගී වෙමින් සාහිත්‍ය අනුමණ්ඩල සභාපතිවරයා සාහිත්‍ය සම්මාන ගැන කියා සිටියේ සාහිත්‍ය කෘතියක භාෂාව ඉතා විශිෂ්ට විය යුතු බවත්, විශිෂ්ට භාෂාවකින් තොර ව සාහිත්‍යයක් නොමැති බවත් සාහිත්‍යයේ මූලික දෙය භාෂාව බවත් හොඳ නිර්මාණ අගය කළ හැක්කේ භාෂා භාවිතය මඟින් බවත් ය. මේ ප්‍රකාශයත් ඉහත කී ග්‍රන්ථය සම්මානයට පාත්‍ර වීමත් අතර පරස්පරතාවක් අපි දකිමු. විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ට මේ නිර්ණායකයන් අදාළ නොවන්නේ ද?”

ඔන්න දැන් පන්දුව තවත් පැත්තකට දමන්නයි සූදානම. මේ ලියන “අපි” මේ ලියැවෙන විදිහට හිතන්නෙ නැහැ කියල නේද මේ කියන්නෙ? සාහිත්‍ය නිර්මාන අගය කරන්න ඕන භාශාව අනුව කියලා කියන්නෙ අපි නෙවෙයි, සාහිත්‍ය අනුමන්ඩලයේ සභාපතිතුමාලු! අනිත් අතට “සාහිත්‍ය නිර්මාණයක් අගය කල යුත්තේ එහි භාෂාව අනුව නොවන බව අපි පිලිගනිමු” කියන කියමන වුනත් කිසිම පදනමක් නැති එකක්. මෙහි දී භාශාව කියන්නේ එහි උපයුක්ත භාශා විලාසය ද වියාකරනය ද එහෙමත් නැත්නම් භාශා ශෛලිය ද, ව්‍යවහාරය ද මොකද්ද කියලා පැහැදිලි නැහැ. කෙසේ වෙතත් අපි අනුග්‍රහශීලීව පිලිගනිමු මේ කියන්නෙ වියාකරනය ගැන කියල. එතකොට දැන් මේ භාශා ප්‍රේමීන් කරන්නෙ තමුන් එකඟ නැතත්, සාහිත්‍ය අනුමන්ඩලයේ සභාපතිතුමා කලින් කී දෙයක් මතක් කර දී ඒ අනුව වැඩ කරවා ගන්නද? මේ නිවේදනය අභ්‍යන්තරව පරස්පරයි වගේ නේද? කෙලින් කියන්නෙත් නෑ නොකියන්නෙත් නෑ!

“අප සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් ද ශ්‍රී ලංකා කලා මණ්ඩලයෙන් ද සිංහල සාහිත්‍ය අනුමණ්ඩලයෙන් ද ඉල්ලා සිටින්නේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මඟින් කෙරෙන බස් මැරිල්ලට හවුල් නොවී සිටිනා ලෙසයි.”

දැන් මේ සියල්ල තාර්කික ව ගැටගසා ගන්නා අපට පෙනෙන්නේ අන් කිසිවක් නෙමෙයි. සම්මානය දීමට අපි විරුද්ධයි කියන කතාවයි. හෙළදිව පුවත්පතින් හෝ කාරියකරවනයන් තමන් ම යෙදූ අර සිරස්තලය තමයි ලිපියේ අරමුන. හේතුව මූර්ධජ අක්ශර ටික හලා තිබීම. මූර්ධජ ‘ෂ’ යන්න නොතිබීම! නිදහස් පද බෙදීමේ රීතියක් අනුයෑම!! ඒ නිසා සම්මානය නොදිය යුත්තේ කුමකට ද? නවකතාවකට!!!

අවසාන වසයෙන් රූපවාහිනිය ඔස්සේ අර කතාව කී බැව් අසන්ට ලැබෙන සාහිත්‍ය අනුමන්ඩල සභාපතිතුමන් ගැනත් යමක් කිව යුතුයි. යම් හෙයකින්, (මම මේ කියන්නෙ යම් හෙයකින්) සාහිත්‍ය අනුමන්ඩල සභාපතිතුමන් එවැනි ප්‍රකාශයක්, එනම් “කෘතියක භාෂාව ඉතා විශිෂ්ට විය යුතු බවත්, විශිෂ්ට භාෂාවකින් තොර ව සාහිත්‍යයක් නොමැති බවත් සාහිත්‍යයේ මූලික දෙය භාෂාව බවත් හොඳ නිර්මාණ අගය කළ හැක්කේ භාෂා භාවිතය මඟින් බවත්” කීවා නම් සහ එහි දී භාශාව යන්නෙන් මේ කියන කාරියකරවන වියාකරනය අදහස් කලා නම් ඔහු එක මිනිත්තුවක් වත් සාහිත්‍ය අනුමන්ඩලයේ සභාපති වෙන්න නම් සුදුස්සෙක් නෙවෙයි. සාහිත්‍ය කලා කෘතිවල “විශිශ්ට” බව මැනීම ගැන එවන් අදහසක් දරාගෙන සාහිත්‍යය තක්සේරු කිරීම බාර මන්ඩලවලට පත් වීම අතිභයානකයි.

නමුත් වාසනාවකට අපට පෙනෙන්න තිබෙන්නෙ සාහිත්‍ය අනුමන්ඩලය එවැනි අදහසක් දරා නැති බවයි. ඒ නිසා ඒ දැක්වෙන්නෙ සභාපතිතුමාගේ ප්‍රකාශයක් කාරියකරවනයන් අතින් අර්ථදැක්වෙන අන්දම බවට නිගමනය කරන්න පුලුවන්. සාහිත්‍ය අනුමන්ඩලය අටවක පුත්තු සම්මානයට පාත්‍ර කිරීමෙන් තමන් එම වියාකරන නිර්නායකය සාහිත්‍ය කලා විනිශ්චය සම්බන්ධයෙන් නොපිලිගන්නා බව විදහා පාමින් සාහිත්‍යෝන්නතිකාමී සැමගේ ප්‍රනාමයට හිමිකම් කියන පරිදි කටයුතු කර තිබෙනවා. එසේ ම අමරකීර්තිගේ අටවක පුත්තු කෘතියට සම්මානය දීම මගින් (අමරකීර්තිගේ පිහිටෙන් අටවක පුත්තුන්ගේ පිහිටෙන් - නරකකට නෙවෙයි, මම කියන්නෙ ඉතා හොඳ අර්ථයෙන්) අනුමන්ඩලය මෑත දී නොවූ විරූ පරිදි තම තත්වය මත් ඉහල දමාගෙන තිබෙනවා.

“කවීන්ට කිවි වරම කියා දෙයක් ඇත. එහි බලයෙන් ඔවුන්ට කැමති බස් පෙරළියක් කළ හැකි ය.
“කාව්‍ය රසාස්වාදයේ දී මෙවැනි බස් පෙරළි දෙස ව්‍යාකරණමය දෘෂ්ටියෙන් බැලීම පැරැන්නන් සම කළේ ලියක හැඳි සළුව උනන කල්හි ඒ සළුවේ අගය ගැන විස්මපත් වීම නමැති පොන්න ක්‍රියාවට ය.”


- භාෂා ප්‍රේමී සන්ධානයේ වත්මන් සාමාජික මහාචාර්ය සුචරිත ගම්ලත් සාහිත්‍ය කලා ආස්වාදයට වියරනමය ප්‍රවිශ්ටයක් ගැනීම ගැන ලියූ අවස්ථාවක්, සාහිත්‍ය විචාර හා මාක්ස්වාදී විකටරූප කෘතියෙන්, 1991, 40 පිටුව.

මතුසම්බන්ධයි
මීලඟට අටවක පුත්තු විරෝධයේ නොකී පැත්ත සහ වෙනත් කතා

*මූර්ධජ අක්ශර ගැන මේ බ්ලොග් අඩෙවියේ පල වූ පැරනි සටහන් කීපයක්
http://webalochana.blogspot.com/2007/08/blog-post_15.html


.