වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

Ray : The Digital Magazine

| Comments

රේ ‍- මාසික ඩිජිටල් සඟරාව



ගිය සතියේ දවසක මම බම්බලපි‍ටිය කිට්ටුව සංයුක්ත තැටි විකුණන තැනකට ගොඩ වැදුණා තැටි කීපයක් ගන්න. එතන ඉන්න අතරේ පාසැල් සිසුන් කීප දෙනෙක් ඇවිත් අහනවා “රේ” මැගසින් එක තියෙනවද? කියලා. මම හැරිලා බැලුවා මොකක්ද මේ සඟරාව? එතන හිටපු අලෙවිකරුවා ඔවුන්ට දුන්නේ සී.ඩී එකක්. එතකොට ම මම දැක්කා පෝස්ටරයක්, කවුන්ටරයට යටින්. “පිටු පෙරලන්නෙ නැති, පිටු ඉරෙන්නෙ නැති, භාවිතයට පහසු ලංකාවේ පළමු වරට පරිගණක තැටියක් මගින් පළ වන මාසික සඟරාව”

“ෂා අලුත් වැඩක් වගේ නේ ද?” මම ඇහුවා.
“ඔව්, මේක මේ ජනවාරිවල ඉඳලා එන්නෙ” ඔහු උත්තර දුන්නා‍.
“හොඳද?”
“හොඳද කියලා අහනවා, මෙතන විතරක් සීයකට වැඩිය විකිණෙනවා”

මේ කතාව අහපු මමත් සඟරාවක් අරන් බලන්න කල්පනා කළා. ඒත් ඒ වෙනකොටත් අප්රේල් කලාපය විකිණිලා ඉවරයි. මාර්තු කලාපයෙන් එකක් විතරක් ඉතුරු වෙලා තිබුණා.

මේ සඟරාව ලංකාවේ පරිගණක අධ්‍යාපනයේ තත්වයත් එක්ක සංසන්දනය කරලා බලද්දී අතිවිශිෂ්ට ව්‍යායාමයක් ම වන බව අවධාරණය කළ යුතු යි. ශ්රව්‍ය, දෘශ්‍ය මාධ්‍ය දෙක ම උපයෝගී කරගනිමින් රසවත් ව, සරල බසින් පරිගණක අධ්‍යාපනයට අදාළ දෑ මෙන් ම ඊට පරිබාහිර දෑත් ඉදිරිපත් කර ඇති අන්දම ප්රශංසනීයයි. පරිගණක අධ්‍යාපනයේ දී හා සන්නිවේදනයේ දී පැන නගින භාෂා ගැටලු ජය ගැනීමේ ඉක්මන් ක්රමයක් තමයි ශ්රව්‍ය දෘශ්‍ය ආධාරකයන් සහිත ව ඉගැන්වීම. මේ සඟරාවේ තිබෙන සෑම පාඩමක් ම පාහේ වීඩියෝ නැතහොත් ඕවියෝ මාධ්‍යයෙන් සිංහල බසින් ඉදිරිපත් කෙරෙනවා, අවශ්‍ය තැන්වල ඉංග්රීසි භාෂාව ද යොදාගනිමින්. විෂුවල් බේසික්, ඩ්රීම් වීවර්, ෆ්ලෑෂ්, කොරල් ඩ්රෝ, ජාවා ඇතුළු පුළුල් පරාසයක විහිද යන පාඩම් මාලා ගණනාවක් ම මෙයට ඇතුළත්. ඊට අමතර ව චිත්ර කලාව, කලා ඉතිහාසය, සිංහල වැනි විෂයයන්ට අදාළ සන්නිදර්ශන සහිත ලිපි මාර්තු කලාපයේ තියෙනවා. කුමාරතුංග මුනිදාසයන් ගැන තිබෙන ශ්රව්‍ය-දෘශ්‍ය ලේඛනය සම්පාදනය කර තිබෙන්නේ පොදුවේ කවර පාඨකයකුට වුව ද වැදගත් වන අන්දමින්. ඒ වගේ ම තමයි අධිකරණ වෛද්‍ය විද්‍යාව, සංගීතය ආදිය ගැන පළ වී ඇති දේත් - හරි ම රසවත්, ඒ වගේ ම විධිමත්.

ඒත් මේක හුදෙක් පාඩම් මාලා එකතුවක් විතරක් නෙමෙයි. නව ලොව පුවත්, පරිගණක ක්රීඩා ආදිය, විනෝදාස්වාදනය, සංගීතය වැනි අංශයන්ටත් විහිදුණු පිටු මෙහි අන්තර්ගතයි. සඟරාවක් හැටියට ආකෘතිය අතින් විශිෂ්ටයි. මම මේ අන්තර්ගතය කොන්දේසි විරහිත ව වර්ණනා කරන්නෙ නෑ, එය තවත් දියුණු විය යුතු යි. ඒත් මේක පුරෝගාමී වැඩක්. එවැනි දේවල් දිරිමත් කළ යුතුයි. පරිගණක අධ්‍යාපනය දියුණු කරන බවට කයිවාරු පමණක් ගහන ආණ්ඩුවේත් අධ්‍යාපන අමාත්‍යාංශයේත් ඇස් අරවන වැඩක් මේක.

කවරයේ දැක්වෙන අන්දමට ඔවුන්ගේ ලිපිනය :
www.vectronics.net/ray (නමුත් මෙය පළ කරන මොහොතේ /ray කොටස වැඩ කළේ නෑ)

raymagit at gmail dot com

Vectronics Electro Systems (pvt) Ltd,
54/13 Pepiliyana Road, Nedimala,
Dehiwala, SRI LANKA