මේ පාට් විශේශයේ නම පොලිස් පාට් වුනාට, පොලිස් පාට් දමන්නේ පොලිසිය විතරක් නෙමෙයි. නිසි කල එලඹි විට හා නිසි බලය ඇති විට දේශපාලකයෝ, ව්‍යාපාරිකයෝ, ජනමාධ්‍යවේදියෝ පවා පොලිස් පාට් දමන්න ඉදිරිපත් වෙනවා. සමහර වෙලාවට ලංකා මාතාව තොමෝ ම පොලිස් පාට් දමන්න පටන් ගන්නවා. එතකොට ගරුසරු නැති සමහර දේශ ද්‍රෝහියෝ “පොලිස් රාජ්ජයක්, පොලිස් රාජ්ජයක්” කියලා කෑගහනවා. පහුගිය දිනවල ලමා අපචාර හා ඝාතන සම්බන්ධයෙන් පොලිස් පාට් දමන්න හුදී “මහජනතාවත්” ඉදිරිපත් වෙමින් සිටින බවක් පෙනී ගියා. ඊට නියම තල්ලුව ජනමාධ්‍යවේදීන් විසින් සපයනු ලැබුවේ පොලිසියේ උතුමන්ගේ ද සහයෝගය ඇතුව යි. හැම රටවැසියාට ම පොලිස් පාට් දැමීමේ හැකියාව ලබා දී ඔවුන් බලගැන්නීම ගැන මේ සියලු දෙනාට අපේ කෘතඥතාව හිමි විය යුතු යි. සමානාත්මතාව කියන්නේ මේකට නෙමෙයි ද?
මෙයින් එක් දරුවකුගේ ඝාතනය පිලිබඳ පරීක්ශනය පැවැත්වෙන අතර “මිනී මරුවා අපට බාර දෙන” මෙන් “ජනතාව” ගර්ජනා කරන අන්දම රූපවාහිනී පුවත් විකාශයක් තුලින් දැකගන්න ලැබුනා. “අපිත් ලමයි ඉන්න අම්මලා. අපි දන්නවා ඔය මිනී මරුවෝ අපට බාර දුන්නොත් කරන දේ. අපි ජනාධිපතිතුමාට කියන්නේ ඕකුන් අපට බාර දෙන්ඩ කියලයි” එක්තරා මාතාවක් තිර කොට කියා සිටියා. මනෝ භ්‍රාන්තියෙන් පෙලෙන මට රූප පෙට්ටිය පෙනුනේ මිනී කන කිඹුලන්ගෙන් පිරිනු ටැංකියක් වගෙයි. (නමුත් හොඳ සිහියෙන් ඉන්නා අයට එසේ නොපෙනෙන බව මම පිලිගන්නවා.)
මේ පොලිස් පාට් විමධ්‍යගත කිරීමේ ක්‍රියාවලියට පොලිසියේ ප්‍රවීනයින් ලබා දෙන දායකත්වය ඉතා වැදගත්. පලමු ව, ඝාතනයට ලක් වූ දැරියකගේ පියා පිලිබඳ සැකයක් පවතින බව දන්වා මඳ කලක් කතාව තම්බා පදම් කොට අනතුරු ව බාල වයස්කාර මිනීමරුවෙකුත්, ඔහුගේ පරිගනකයේ තිබුනු පුද්ගලික ගොනු පිලිබඳ තොරතුරුත් ජනමාධ්‍යවේදීන් හරහා ජනතාවට ලබා දෙන්න තරම් ඔවුන් ත්‍යාගශීලී යි, නිර්මානශීලී යි. දැරියගේ පියා සැකයට ලක් වීමට හේතුව සුපැහැදිලි යි: මේ ඛේදවාචක සම්බන්ධයෙන් පොලිස් පාට් දැමීමට ඉදිරිපත් වූ ජනතාවගේ මට්ටමට සරිලන පරිදි ශෝක වෙන්නත්, කෝප වෙන්නත්, මිනීමරුවා ඉල්ලා හඬතලන්නත් ඔහුට බැරි වුනු නිසා ඔහු ගැන සැකයක් උපදිනවා. නිවැරදිකාරයෙක් නම් ඒ හුස්මට ම දුවගෙන ගිහින් අඩු තරමේ මිනියක් දෙකක් වත් මැරිය යුතු යි නේද? අනිත් අතට, පරිගනකයක් තුල “නොමනා දේ” තිබීම ගැන කවර කතා ද? නොමනා දේ ඇති ව හෝ නැති ව පරිගනකයක් දෙස ඇහැක් ඇර නොබලන සිල්වත් දේශයක පරිගනකයක් භාවිත කරන දරුවකු සිටීම ම මහත් සැක උපදවන සුලු කරුනක් නෙමෙයි ද? මට නම් හිතෙන්නේ පරිගනක මාරයා ගැන කොටස් වසයෙන් පල වන අධ්‍යාපනික ලිපි පෙලක් සැකසීම අපේ මාධ්‍ය විශාරදයින් නොපමා ව ඇරඹිය යුතු යි.
මේ සියල්ල මධ්‍යයේ වැඩිහිටි මිනීමරුවෙක් ප්‍රාදුර්භූත වී පාපෝච්චාරනයක් ද කරන අතර කලින් මිනීමරු ලමයා (හිටපු/විශ්‍රාම ලත් ඝාතකයා?) හප කරමින් සිටි යුක්තිමත් කිඹුල් රෑන වහවහා අලුත් ගොදුර කරා ලඟා වෙනවා. පුවත්පත් සිරස්තල ද ඊට සරිලන තානය සපයනවා: “පාපතරයාට දෙන දඬුවම ඇප ද? ජීවිතාන්තය දක්වා සිර දඬුවම ද? මරන දඬුවම ද?” මුල් පිටුවේ මහ සිරස්තලය යුක්තිමත්භාවයෙන් සරසන එක් පුවත්පතක් එහෙම අහනවා. තව ම ඝාතකයා කවුදැයි අනාවරනය වී නැති බවත්, සැකකරුවන් ජාන පරීක්ශනයකට ලක් කෙරෙමින් පවතින බවත් තවත් දින කීපයකින් අනාවරනය වෙනවා. සැකකාර – පරිගනකකාර පාසැල් ලමයායි පාපෝච්චාරක වැඩිහිටියායි දෙන්නා ම උසාවි යන එන පින්තූර, සමීප රූප සහිත ව පල කරන්න පොලිසියේ අනුග්‍රහය ලැබෙනවා. අංග සම්පූර්න චිත්‍රයක් කියන්නේ මෙවැනි නිරූපනයකට තමයි.
මීට දින කීපයකට පෙර තිබුනු ප්‍රශ්නය මරන දඬුවම යලි ක්‍රියාත්මක කල යුතු ද නැද්ද යන්න පමන යි. දැන් මිනීමරුවන් “ජනතාවට” බාර දිය යුතු ද නැද්ද යන්න ගැන වුනත් සාකච්ඡාවක් ඇති කරන්න මේ ජනමාධ්‍යවලට බැරි නෑ නේද? සමහර විට “ජනතාව ඉන්නා ටැංකියකට දැමීම” අලුත් මරනීය දන්ඩන ක්‍රමයක් හැටියට හඳුන්වා දීම ගැන සලකා බැලීම වටිනවා. පරන වී භාවිතයෙන් හැලී යමින් ඇති “ජනතා අධිකරනය” නමැති පදයට නව ජීවයක් දෙන්නත් මෙවැනි ක්‍රමවේද උපකාරී වන බව, ඔන්න දැන් මට කල්පනා වෙනවා.
ප.ලි: කෙලිසෙල්ලමේ යද්දී, තනියම ගෙදර ඉද්දී නො ව අත්අඩංගුවේ සිටිය දී මරා දැමුනු බවට සැක කෙරෙන වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ දෙමල දරුවා පිලිබඳ කටක් අරින්න බැරි වුන එකේ ඇරියස් පිරිමැහෙන්නත් එක්ක අපේ පත්තර ටික, සියල්ල ලැබුන සැනින එසැනින් ගෙන එන – පැත්ත ගියත් ඇත්ත කියන රූපවාහිනී නාලිකා ටික, මේ ලමුන් වෙනුවෙන්, මිනීමරු පාපතරයින්ට එරෙහි ව, මරන දඬුවම ඉල්ලා නඟන හඬ දැක්කාම කාගේ වුනත් හිතේ මේ මාධ්‍යවේදීන් ගැන අපමන ගෞරවයක් ඇති වෙනවා. මම හිතන්නේ ජනමාධ්‍ය ඔස්සේ මේ වැදගත් සාකච්ඡාවට දායක වන “ජනතාවගේ” මතකයේ වුනත් එහෙම ලමයෙක් යන්තමට, මැකී නොමැකී ඉන්නවා. මෙකී නොකී බොහෝ කරුනු කාරනා නිසා, මේ සාකච්ඡාව අතරවාරයේ දුවගෙන ගිහින් මිනීමරුවන්ට මරන දඬුවම දෙන්න කාට හරි අදහසක් පහල වුනත් ඒකත් පුදුමයක් නෙමෙයි.
UPDATE: සැප්තැම්බර් 30, 2.40ට:
ප.ලි 2: පාපෝච්චාරන සම්බන්ධයෙන් කතා කරනකොට බොහෝ ම අදාල අගනා කවියක් මේ දැන් බ්ලොග් අවකාශයෙන් හමු වුනා: කියවන්න කුරුටු ගෑ ගී පොතේ ගහන්න එපා සර්, මම තමයි සර් කොන්ඩයා!