මෘදුකාංග නිදහස් දිනය අද යි! සෑම වසරක ම සැප්තැම්බර් මස තුන්වැනි සෙනසුරාදා ලොව පුරා නිදහස් මෘදුකාංග ලෝලියෝ සහ ක්‍රියාධරයෝ විවිධාකාරයේ වැඩමුලු, සම්මන්ත්‍රන, ප්‍රිය සාද හා ස්ථාපන උලෙල යනාදිය පවත්වමින් මෘදුකාංග නිදහස සමරනවා; ඒ පිලිබඳ දැනුවත්භාවය පුලුල් කරන්න විශේශ වැඩකටයුතු සංවිධානය කරනවා. දැන් මෙය හුදෙක් පරිගනක ගීකයින්ට, තොරතුරු තාක්ශන වෘත්තිකයින්ට හෝ හැකර් සංස්කෘතියට අදාල සීමිත සහභාගීත්වයක් ඇති ක්‍රියාවක් නෙමෙයි. ක්‍රමයෙන් ප්‍රධාන ධාරාවට ඇතුලත් වෙමින් පවතින – ඇතුලත් විය යුතු – සැමරුමක්.
2013 ජූනි මස මුල සතියේ පටන් විවිධ ජනමාධ්‍ය ඔස්සේ පල වෙමින් පවතින එඩ්වඩ් ස්නෝඩන්ගේ හෙලිදරව් කිරීම්වලින් පසු මෘදුකාංග නිදහසේ අදාලත්වය අන් කවර දාකටත් වඩා සුපැහැදිලි ලෙස පෙනෙන්න පටන්ගෙන තිබෙනවා. දේශපාලන හා මානව හිමිකම් ක්‍රියාධරයන්ට, ජනමාධ්‍යවේදීන්ට, බ්ලොග්කරුවන්ට, පර්යේශකයින්ට, ලේඛකයින්ට, කලාකරුවන්ට, දරුවන්ට, ගුරුවරුන්ට, සිසුසිසුවියන්ට, පුස්තකාලවලට, සෞඛ්‍ය ක්ශේත්‍රයට, ප්‍රවාහනයට යනාදී වසයෙන් විවිධ තරාතිරම්වල පුද්ගලයින්ට හා ජන ජීවිතයේ සෑම පැතිකඩකට ම මෘදුකාංග නිදහස දැවෙන අවශ්‍යතාවක් බව එමගින් තහවුරු වුනා. ස්නෝඩන්ගේ එලිදරවුකිරීම්වලට ප්‍රධාන වසයෙන් ඇතුලත් වුනේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නැශනල් සිකියුරිටි ඒජන්සිය (NSA) සහ එහි සගයින් හැටියට ක්‍රියාත්මක වන සෙසු බලවත් රටවල සමාන ආයතන පවත්වාගෙන යමින් සිටින අතිදැවැන්ත වූ ද ක්‍රමානුකූල හා සංවිධිත වූ ද ඔත්තු බැලීමේ යාන්ත්‍රනයක් පිලිබඳ තොරතුරු.
ඒවා නිපදවා ඇත්තේ කෙසේ ද, ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න සුපරීක්ශා කිරීමේ අයිතිය හෝ ඉඩකඩ පරිශීලකයින්ට ලබා නොදෙන බලපත්‍රධාරී මෘදුකාංග (proprietary software) සහ ඒවා නිපදවන සමාගම් අපේ ඇස්වලට වැලිගසමින්, අප නොමග යවමින් මිලියන සංඛ්‍යාත පරිශීලකයින් පිලිබඳ ඔත්තු බලන්න ඉහත විසකුරු සංවිධානවලට උදව් වී තිබෙන බව දැන් රහසක් නෙමෙයි. මයික්‍රොසොෆ්ට් සහ ඇපල් බඳු සමාගම් කවදත් සිය පාරිභෝගිකයින් පිලිබඳ ඔත්තු බැලුවා. ඔවුන් සිය මෙහෙයුම් පද්ධති නිපදවා ඇත්තේ ම ස්ථාපනය කර ඇති පරිගනක තුලට – ඒවා භාවිත කරන පුද්ගලයින්ගේ දැනුවත් බවින් තොර ව – ඇතුලු වෙන්නත්, එම පරිගනක තුල සිදු වන දෑ පිරික්සන්නත්, අනේක විධ තොරතුරු ආපසු සිය සමාගම වෙත ලබාගන්නත් අවශ්‍ය යාන්ත්‍රනය සහිත ව යි. මේ යාන්ත්‍රනයේ ඇතැම් පැති දැන් ප්‍රසිද්ධ වුනත්, එම මෙහෙයුම් පද්ධති සහ ඒවා මත ධාවනය වන විවිධ වූ නිදහස් නොවන මෘදුකාංග ක්‍රියාත්මක වන ආකාරය සපුරා දැනගත නොහැකි බැවින් ඔවුන් අප ගැන ඔත්තු බලන ආකාරය පිලිබඳ සම්පූර්න චිත්‍රයක් තව ම අප සතු බව කියන්න අමාරු යි. ස්නෝඩන් පෙන්වා දුන් ආකාරයට සිය මෘදුකාංග තුලත් මෙහෙයුම් පද්ධති තුලත් තිබෙන රහස් දොරටු භාවිතයෙන් පරිශීලකයින් පිලිබඳ ඔත්තු බැලීමේ අවස්ථාව NSA සහ ඔවුන්ගේ අනෙකුත් “සහෝදර” ඔත්තු බැලීමේ සංවිධානවලට ලබා දෙන්න මේ සමාගම් වැඩ කර තිබෙනවා.
මේ ඔත්තු බැලීම සරල සුලුපටු කාරියක් නෙමෙයි. මෙලෙස එක්රැස් කරගන්නා තොරතුරු මගින් පුද්ගලයකු පිලිබඳ ඉතා ගැඹුරට දිවෙන පැතිකඩ චිත්‍රයක් නිර්මානය කරගන්න පුලුවන්. මෙයින් කෙනෙකු පිලිබඳ ලැබෙන අවබෝධය බොහෝ විට තමන් ගැන එම පුද්ගලයාට ම තිබෙන අවබෝධයට වඩා පුලුල්! මෙය ම රටවල් තුල වෙසෙන ජාතීන් හා විවිධ ජනකන්ඩායම් සම්බන්ධයෙන් ද පැවසිය හැකි යි. එවැනි ඔත්තු බැලීමකින් සමස්ත ජනකායකගේ ම අනාගතය (හොඳට හෝ නරකට) වෙනස් කල හැකි අන්දමේ බලපෑමක්, ප්‍රකලනයක් (manipulation) පවා සිදු කල හැකි යි! පර්යේශනාගාරයක මීයන් දෙස බලන්නාක් මෙන් මුලුමහත් ජනකායක් දෙස බලමින් සමාජීය ක්‍රියාවලීන් දිශාගත කිරීමට මැදිහත් විය හැකි යි. සහෝදර මනුශ්‍ය වර්ගයා එවැනි මට්ටමකට හෙලීම ගැන කිසිදු කනගාටුවක් පිලිකුලක් නැති මේ බලවතුන් හා ඔවුන්ගේ ඒජන්සි දේශපාලනික, ආර්ථික හා මිලිටරිමය වාසි උපරිමයෙන් නෙලාගැනීමේ ඉඩ සලසන මෙවැනි ක්‍රමවේද ඉතසිතින් වැලඳගන්නවා. මෙලෙස ඔත්තු බැලීම මගින් කල් තබා දැනගන්නා තොරතුරු විවිධ රාජ තාන්ත්‍රික හා ව්‍යාපාරික ගනුදෙනුවලදී වාසි අත්පත් කරගන්න යොදාගනු ලැබ තිබෙන අවස්ථා ගනනාවක් ම පසුගිය කාලයේ වාර්තා වුනා. කොටින් ම ජනපති බැරැක් ඔබාමා, එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මුන් සමග සිරියානු රසායනික අවි, පලස්තීන-ඊශ්‍රායල සාම සාකච්ඡා සහ දේශගුන විපර්යාසය ආශ්‍රිත ගැටලු පිලිබඳ සාකච්ඡාවකට එලඹි එක් අවස්ථාවක මහලේකම්වරයා කතා කිරීමට අපේක්ශා කල කරුනු කල් තබා දැන සිටි බව පැවසෙන්නේ මෙවන් ඔත්තු බැලීමක ප්‍රතිඵලයක් හැටියට යි! මහ බලවතුන් අවස්ථාවාදී සන්ධානවලට එලඹ ලොව සියල්ලන් ගැන, විශේශයෙන් තම සතුරු ජාතීන් සේ සලකන රටවල් පිලිබඳ, ඊනියා ත්‍රස්තවාදීන් පිලිබඳ, එක්සත් ජාතීන්ගේ සංවිධානය අැතුලු තමන්ගේ ම ලෝක සංවිධාන පිලිබඳ හවුලේ ඔත්තු බැලූ අතර එකිනෙකාට එරෙහි ව ද ඔත්තු බැලීමේ යෙදුනා. මේ ඔත්තුකාර ජංජාලය මැද ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්ගේ සෙලියුලර් දුරකථනය ද “ටැප් කොට” තිබුනු බව වාර්තා වුනා!
වලාකුලු පරිගනනය හෙවත් Cloud Computing යන නොමඟ යවනසුලු ආකර්ශනීය නාමය යටතේ පැමිනෙන “සේවාවක් හැටියට සැපයෙන මෘදුකාංග” මෙන් ම කේන්ද්‍රගත සමාගම් මගින් පාලනය වන Facebook වැනි නිදහස් නොවන මධ්‍යගත සමාජ ජාල, GMail වැනි නොමිලේ සැපයෙන ඊමේල් සේවා හා ප්‍රකාශන මෙවලම් යනාදිය විසින් නිර්මානය කර ඇති අලුත් සිරමැඳිරි විශාල සංඛ්‍යාවක් ද මේ චිත්‍රයට අයිති යි. මේ සියල්ල, අවසාන විග්‍රහයේ දී “අනුන්ට අයිති” පරිගනක! ඒවා තුල ධාවනය වෙන්නේ අපේ පාලනයට නතු නැති මෘදුකාංග. ඉතින් දේශපාලනය කරන්න, උද්ඝෝශනය කරන්න, ආන්ඩු පෙරලන්න, ජනසන්නිවේදනයේ යෙදෙන්න, පර්යේශන කරන්න, ප්‍රේම කරන්න, ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන්න මිලියන සංඛ්‍යාත ජනයා අනුන්ගේ පරිගනක තුලට පිවිසෙනවා. ඒ පරිගනකවල අයිතිකරුවන්ටත්, ඒවායේ භාවිත මෘදුකාංගවල රචකයින්ටත් මනා ව දැකබලා, පිරික්සා, වාර්තා තබාගත හැකි ආකාරයට මේ සියලු වැඩවල යෙදෙන මහා සමාජයක් අද තියෙනවා. මේක හරියට ජෝර්ජ් ඕවෙල්ගේ Ninteen Eighty-Four නමැති නවකතාවේ දැක්වෙන ඩිස්ටෝපියානු රාජ්‍යය වගේ. සෑම මොහොතක ම තමන් දෙස කවුරුන් හෝ බලා සිටින බව – බලාධිකාරයේ සුපරීක්ශාකාරී ඇස තමන් වෙත යොමු ව ඇති බව – දන්නා ජීවිතයක් නිදහසේ විකසිත වෙන්නේ නෑ. ඒ වෙනුවට නරඹන්නාගේ පාලනයට ඍජු ව හා වක්‍ර ව අනුගත ජීවිතයක් නිර්මානය වෙනවා. හුදෙක් නැරඹීම ම පාලනයේ කොටසක්.
ඉතින් බොහෝ දෙනා මේ සියුම් නිරීක්ශනයට, සුපරීක්ශනයට පාත්‍ර වන මහා සිර මැඳිරි වන් අවකාශ තුලට කැමැත්තෙන් ඇතුලු වී – දැනට – සතුටින් කාලය ගත කරනවා. ස්නෝඩන් පෙන්වා දුන්නේ මේ අවකාශවලින් සියල්ල නො වේ නම් අතිබහුතරයක් දැන් එක්සත් ජනපදයේ NSA ප්‍රමුඛ ඔත්තුකාර ජනහතුරු සංවිධානවල ඍජු හා වක්‍ර ඇඟිලිගැසීම්වලට ලක් වන බව යි.
ස්නෝඩන් හෙලිදරව් කොට තිබෙන ආකාරයට, දැන් සිදු වන්නේ අපරාධකරුවන් ලෙස හඳුනාගත් ඉලක්කගත පුද්ගලයින් හෝ සංවිධාන සම්බන්ධයෙන් පමනක් නො ව මුලුමහත් ජනකායන් පිලිබඳ පුලුල් ඔත්තු බැලීමක්. සමස්තයක් හැටියට ඇමෙරිකාව තුල හා ඉන් පිටත දුරකථන ඇමතුම් පිලිබඳ දත්ත, අන්තර්ජාල ට්‍රැෆික් තොරතුරු, ඊමේල්, සමාජ ජාල, වෙබ් ඇප්ස්, සේවාවක් ලෙස සැපයෙන මෘදුකාංග භාවිතය යනාදී විවිධ වූ තොරතුරු බුරුතු පිටින් එක්රැස් කොට ගබඩා කර තැබීම සඳහා අතිමහත් ධනස්කන්ධයක් වැය කෙරෙනවා. ස්නෝඩන්ට පෙරත් නිදහස් මෘදුකාංග ව්‍යාපාරයේ ක්‍රියාධරයන් ද ඇතුලු ව බොහෝ දෙනා මෙවැන්නක් සිදු වෙමින් පවතින බව අඩුවැඩි වසයෙන් අනතුරු අඟවා තිබුනත්, ඒ පිලිබඳ යම් යම් තොරතුරු ප්‍රසිද්ධියට පත් වී තිබුනත්, ඉතා නිශ්චිත හා සවිස්තරාත්මක සාක්ශි සහිත ව මේ ක්‍රියාවලිය ඇත්තක් බව සනාථ කරන්න ස්නෝඩන්ගේ වික්‍රමාන්විත දායකත්වය නිසා ඉඩකඩ ලැබුනා. මෙය ලෝක ව්‍යාප්ත ගැටලුවක්; එමගින් නිසැක ව ම තවත් ව්‍යසන ගනනාවකට පාර කැපෙනවා.
සිව් වැදෑරුම් නිදහස
මෘදුකාංග පිලිබඳ නිදහස පැති හතරකින් යුක්ත යි:
- කිසියම් මෘදුකාංගයක් ඕනෑ ම කාර්යයක් සඳහා භාවිත කිරීමට තිබෙන සීමා රහිත නිදහස.
- එම මෘදුකාංගය ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කිරීමටත් එය වෙනස් කිරීමටත් තිබෙන නිදහස.
- එම මෘදුකාංගය පිටපත් කොට නැවත බෙදාහැරීමේ නිදහස
- එම මෘදුකාංගයේ වෙනස් කරනු ලැබූ පිටපත් බෙදාහැරීමේ නිදහස
නිදහස් මෘදුකාංගයක් නිකුත් වෙන්නේ ම ස්ථාපනය කිරීමේ ක්‍රමයක් (ස්ථාපකයක් – ඉන්ස්ටෝලරයක් හා බයිනරියක්) පමනක් සහිත ව නෙමෙයි. නිදහස් මෘදුකාංගයක් වීමට නම් එහි මූල කේතය හෙවත් සෝස් කෝඩ් එක (source code) ද ඒ සමග ප්‍රසිද්ධියට පත් කල යුතු නිසා එය පරීක්ශා කර බලා මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය පිරිසිඳ දැනගැනීමේ ඉඩකඩ සැමට විවෘත වෙනවා. එය මොනයම් ම හෝ හානිකර ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන්නේ නම් එය වැලකෙන පරිදි මෘදුකාංගය යලි සැකසීමේත් සැකසූ අනුවාදය නැවත බෙදා හැරීමේත් නිදහස තිබෙන නිසා ප්‍රශ්නයට විසදුමක් සම්පාදන කරන්න පුලුවන්. මෘදුකාංග නිදහසේ මෙකී ස්වරූප දෙස බලන විට පෙනී යන්නේ ඉහත විස්තර කෙරුනු ආකාරයේ මානව විරෝධී ඔත්තුබැලීම් හා ප්‍රකලන (manipulation) හඳුනාගෙන, මුහුන දිය හැකි අන්දමේ පිරිසැලසුමක් (design) සහිත ව නිපදවිය හැක්කේ නිදහස් මෘදුකාංග ම පමනක් බව යි. නිදහස් නොවන බලපත්‍රධාරී මෘදුකාංගවල ව්‍යාපාර මාදිලිය ම සැදී තියෙන්නේ විවිධ කඩුලු දමා මෙකී සිව් වැදෑරුම් නිදහස සීමා කිරීම මත යි.
මා භාවිත කරන පරිගනකයත් එතුල ධාවනය වන මෙහෙයුම් පද්ධතිය ඇතුලු මෘදුකාංගත් මට නොව වෙනත් පාර්ශ්වයකට සේවය කරන්නේ නම් එතැන මෘදුකාංග නිදහස ඇතැයි කියන්න බැහැ. අප ලියන්නේ, කියන්නේ, කතා කරන්නේ කුමක් ද යන්න පිලිබඳ සම්පූර්න පාලනය අප සතු ව තිබීමට නම්, අප ලිවීමට, කතා කිරීමට හා සන්නිවේදනයට යොදාගන්නා මෘදුකාංග මත අපේ ම පාලනයක් පැවතිය යුතු යි. මෘදුකාංග නිදහසේ හරය වන්නේ මේ පාලනය, මේ නිදහස පරිශිලකයාට ලැබීම යි. එවිට නිදහසේ අන් බොහෝ ස්වරූප හා ප්‍රභේදවලට දොරටු විවර වෙනවා.
ස්නෝඩන්ගේ එලිකිරීම් අතර කැපී පෙනුනු PRISM, XKeyscore, Tempora වැනි මහාපරිමාන ඔත්තුබැලීමේ වැඩසටහන්වලට මුහුන දිය හැකි හොඳ ම විකල්ප නිදහස් මෘදුකාංග ලෝකයෙන් බිහි වූ ඒවා යි.
පසුගිය අවුරුදු දහයක පමන කාලයක් තිස්සේ ක්‍රමානුකූල ව නිදහස් මෘදුකාංග භාවිතයට පුරුදු වුනු මට එහි ප්‍රතිඵලයක් වසයෙන් තවත් අවශ්‍යතාවක් ඇති වුනා; ඒ මෘදුකාංග නිදහසේ වැදගත්කම මා සමග වැඩ කරන සගයන්ට හා මිතුරු මිතුරියන්ට ඒත්තු යන අන්දමින් පෙන්වා දීම සහ නිදහස් මෘදුකාංග භාවිතයේ දී ඔවුන්ට උදව් වීම. අප අවට සිටින උදවිය මෘදුකාංග නිදහස භුක්ති විඳින්නේ නැත්නම් අප පුද්ගලික ව අත්විඳින නිදහසේ ද සීමා මායිම් හටගන්නවා. ඒත් මේ කාරනය ලේසි පහසු එකක් නෙමෙයි; බාධක බොහොම යි. ඇතැම් අවස්ථාවල බලපත්‍රධාරී මෘදුකාංගවල ඇබ්බැහි වන සුලු ආකර්ශනයක් තියෙනවා විය හැකි යි. සමහර වෙලාවට ඒවා නිදහස් මෘදුකාංගවලට වඩා පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුලුවන්; “හොඳට වැඩ කරනවා”, “කෑලි හැලෙන්නෙ නෑ”. “මුල පටන්” ඉගෙනගන්න ලැබුන නිසා විවිධ අතුරු මුහුනත්වලට පුරුදු වී සිටීමත් තව බාධකයක්. මේ ලිපියේ ඉහත සැකෙවින් විස්තර කෙරුනු ආකාරයේ දේශපාලන හා සමාජීය ප්‍රශ්න ඒත්තු ගැන්වීම තවත් දුශ්කරතාවක්. “වරදක් කර නැති මට හංගන්න රහසක් නෑ” වැනි කතා කියන අයට දිය හැකි ඒත්තු යන පිලිතුරු මොනවා ද? එවැනි කරුනු පැහැදිලි කිරීමේ දී එකී “විශාල චිත්‍රය” අපේ හිතවතුන්ට, තනි තනි පුද්ගලයින්ට සැබෑ අදාලත්වයක් තිබෙන යථාර්ථයක් ලෙස පැහැදිලි කල හැක්කේ කෙසේ ද? සිංහලෙන් කියවන හිතන මේ පිරිසට මේ කාරනා පිලිබඳ නිරාකූල ලෙස පැහැදිලි කරන ලිපි ලේඛන, පොත්පත් සපයා දිය හැකි ද? දිනගනන් හිසරුජා හදා නොගෙන පහසුවෙන් ක්‍රියාත්මක කල හැකි විසඳුම් හා උපදෙස් සැපයිය හැකි ද? පරිගනක තාක්ශනය පිලිබඳ විශේශ හුරුවක් නැති, විවිධ ක්ශේත්‍රවලින් පැමිනෙන සාමාන්‍ය මිනිසුන් සමග මෘදුකාංග නිදහස, පුද්ගලිකත්වය, ආරක්ශාව හා එමගින් විවෘත වන සංස්කෘතික සමාජීය හා දේශපාලන අවකාශ ගැන කතා කරන්නේ කොහොම ද? මේ ලිපිය පවා ලියැවෙන්නේ සීමිත පිරිසකට වැටහෙන පාරිභාශික ශබ්ද යොදාගෙන! මේ කරුනු කාරනා ගැන කල්පනා කල මම මෘදුකාංග නිදහස සහ ඒ හා බැඳී පවතින සංස්කෘතික, සමාජීය හා දේශපාලනික ගැටලු හැකි තාක් සරල ව විස්තර කරන සටහන් පෙලක් ලියන්න තීරනය කලා. ඒවා අද පටන් දින 31ක් තිස්සේ නිදහස් 31 නමැති බ්ලොග් අඩෙවියේ පල කරන්න යි අදහස.
ඔබ සැමට සුබ මෘදුකාංග නිදහස් දිනයක්!