වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

මොහාන් ලාල් ග්‍රේරු සහ අධ්‍යාපනය; නිරීක්ශන කීපයක්

| Comments

මොහාන් ලාල් ග්‍රේරු යන නම මුලින් ම මා දුටුවේ එක්තරා පුවත්පත් තීරු ලිපියක කතුවරයා වසයෙන්. ඔහු ලියමින් සිටි තීරු ලිපියේ අධ්‍යාපනය ඇතුලු විවිධ දෑ පිලිබඳ බෙහෙවින් දියාරු සහ යල් පිනූ අදහස් පල ව තිබෙනු මා නිරීක්ශනය කලා. මඳ කලකට පසු මේ ලේඛකයා දැනට තිබෙන සුප්‍රකට ම “ජාත්‍යන්තර” පාසැල් ජාලයක හිමිකරුවා බව දැනගන්න ලැබුනා.

ඉන් පසු ඔහු නැවත මගේ අවධානයට ලක් වුනේ පාලනය කල නොහැකි ස්පෑම්කරුවකු (අනුමති විරහිත බුරුතු ඊමේල් යවන්නෙකු) හැටියට යි. ඔහුගේ නමිනුත් ඔහුට අයත් “ජාත්‍යන්තර” පාසැලේ නමිනුත් බුරුතු පිටින් ස්පෑම් ඊමේල් (කසල තැපැල්/unsolicited bulk email) ලැබීම නිසා ඔහු බොහෝදෙනෙකුගේ අවධානය දිනාගත්තා; ප්‍රසාදජනක අවධානයක් නම් නෙමෙයි. ඔහු මැතිවරනවලට තරග කල සමයේ දී නානා ප්‍රකාර ඊමේල් ලිපිනයන්ගෙන් පමනක් නො ව ඔහුගේ ජාත්‍යන්තර පාසැලේ ලිපිනයෙන් ද අපට ලැබුනේ මැතිවරන ඉල්ලීම්. අනෙකුත් අවස්ථාවන්හි දී එම පාසැලට අදාල නානා විධ කටයුතු සම්බන්ධ ප්‍රචාරක ලිපි අපට එනවා. පහත දැක්වෙන්නේ ඔහුගේ “ජාත්‍යන්තර” පාසැලෙන් අප වෙත අපේ අනුමතියෙන් තොර ව, බලෙන් එවනු ලැබූ අලුත් ම විද්‍යුත් ලිපිය යි. එය ඔහුගේ අලුත් දේශපාලන කරනම පිලිබඳ යමක් විය යුතු බව බැලූ බැල්මට පේනවා.

විශාල කොට බැලීමට රූපය මත ක්ලික් කරන්න

ඉතින් මේ අලුත් ඊමේල් මෙහෙයුම නිසා ග්‍රේරු මහතා ගැන මට අලුතින් සිහිපත් වුනා. එතුමන්ගේ අලුත් දේශපාලන නියුක්තිය ගැන කිසියම් නිරීක්ශනයක් ලියා තබන්න පෙලඹුමක් ඇති වුනේ එයිනුයි. ඔහු ආන්ඩුවට එක් වූ පසු පිරිනමනු ලැබ තිබෙන තනතුර අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ශක මන්ත්‍රී ධුරය යි. මෙය උත්සුකතා පිලිබඳ ගැටුම (conflict of interests) පැහැදිලි ලෙස ම ඉස්මතු වන අවස්ථාවක්. අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාවට නඟන ද්විතියික පාසැල් දහසේ සංවර්ධන ව්‍යාපෘතිය ග්‍රේරු මහතා යටතට පත් කෙරෙනු ඇති බවට ද අදහස් පල ව තිබුනා. ග්‍රේරු මහතා මත් සම්මුඛ සාකච්ඡාවක ඒ බව ඉඟි කර සිටියා. අධ්‍යාපන ක්ශේත්‍රයෙහි ව්‍යාපාරික උත්සුකයක් තිබෙන තවත් පුද්ගලයකුට (තරගකරුවකුට) මේ අනුව අධ්‍යාපනය පිලිබඳ දේශපාලන අධිකාරය හිමිව තිබෙනවා.

සිය “ජාත්‍යන්තර” පැසැල් ව්‍යාපාරය ආරම්භ කරන තුරු ග්‍රේරු මහතා අධ්‍යාපනය පිලිබඳ කිසිදු ශාස්ත්‍රීය පුහුනුවක් ශික්ශනයක් ලබා සිටියේ නැහැ. ඉන් පසු එවැන්නක් ලබාගත් බවක් ද පෙනෙන්නට නැහැ. පිලිගත් විශ්ව විද්‍යාල කිහිපයකින් ඔහු ලබා තිබෙන උපාධි හා සහතිකපත්‍ර අයත් වන්නේ ඉංජිනේරු විද්‍යාව හා ව්‍යාපාර පරිපාලනය යන අංශයන්ට. දහම් පාසැලක ඉගැන්වීම හැරුනු විට ගුරු වෘත්තිය පිලිබඳ ව හෝ අත්දැකීමක් නොමැති ග්‍රේරු මහතා එසේ තිබිය දීත් තමන් ම දියත් කල ප්‍රචාරක යාන්ත්‍රනය තුල අධ්‍යාපනඥයකු වසයෙන් තමන් ම හඳුන්වාගන්නවා. ඒ හැඳින්වීම පුනරුච්චාරනය කරන පිරිස ක්‍රමයෙන් ඉහල ගොස් තිබෙන බව ද නිරීක්ශනය කල හැකි යි. ඒ මහතා පිලිබඳ පසුබිම් විස්තර තහවුරු කරගැනීමට මොහාන් ලාල් ග්‍රේරු පදනම විසින් ප්‍රකාශිත නිල චරිතාපදානය බලන්න. බොහෝ සාම්ප්‍රදායික ජනමාධ්‍ය අධ්‍යාපනය පිලිබඳ ඔහු පල කරන අදහස් අවිවේචනාත්මක ව පුනරුච්චාරනය කරනවා. එසේ ම අධ්‍යාපන ක්ශේත්‍රයෙහි ග්‍රේරු මහතාට ව්‍යාපාරික උත්සුකයක් තිබෙන බව මතු කරන්නේත් නැහැ.

මෙවැන්නක් සිදු වූ පලමු අවස්ථාව මෙය නොවන බව සැබෑව. ප්‍රවාහන අමාත්‍ය ධුරය ප්‍රවාහන ව්‍යාපාරිකයකුටත්, ආන්ඩුවේ විවිධ ඉදිකිරීම් හා “සංවර්ධන” වැඩ පිලිබඳ අධිකාර බලය ඒ ක්ශේත්‍රයන්හි ව්‍යාපාරවල නියුතු පුද්ගලයින්ටත් ලබා දීම සාමාන්‍ය දෙයක්. ඇතැම් විට පලාත් සභා සහ පලාත් පාලන ආයතන තුල මේ තත්වය වඩාත් එලිපිට ම සිදු වෙනු දකින්න පුලුවන්. යම් ක්ශේත්‍රයකට අදාල ව්‍යාපාරිකයකු වීම එම ක්ශේත්‍රයෙහි ම විශේශඥයකු බවට පිලිගැනීමක් ලැබීමට ද අමාත්‍ය/අධීක්ශක ධුර හිමි වීමට ද දැන් සුදුසුකමක්.

පාසැල් සංවර්ධනයේ මුවාවෙන් දැනට වසා දමනු ලැබ තිබෙන කුඩා පාසැල් සංඛ්‍යාව 300ක් බව ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා පසුගිය සතියේ රාවය පුවත්පතට ප්‍රකාශ කර තිබුනා. මෙවැනි සන්දර්භයක් තුල රාජ්‍ය අංශයෙන් පිටත පාසැල් ව්‍යාපාරය (business) තුල ව්‍යාපාරික අරමුනක් සහිත තැනැත්තකුට එම ව්‍යාපෘතිය ම භාර දීම අධ්‍යාපනය සම්බන්ධයෙන් ආන්ඩුවේ ඉදිරිදැක්ම කෙබඳුදැයි පෙන්නුම් කරන්නක්.

පසුගිය දශකය තුල අධ්‍යාපනය සම්බන්ධ බොහෝ කටයුතු පෙරලී ගියේ මේ අතට යි. දැන් ප්‍රශ්න පත්‍ර මුද්‍රනය පමනක් නො ව පෙල පොත් මුද්‍රනය සම්බන්ධයෙනුත් රාජ්‍ය අංශය සතු ව තිබූ අධිකාරය අවසන්. දෝශ බහුල විභාග ප්‍රශ්න පත්‍ර හා පොතපත සාමාන්‍ය තත්වයක් (norm) බවට පත් වුනේ මේ කාල වකවානුව තුල, මේ වෙනසට සමානුරූපී ව යි. අධ්‍යාපනයේ ව්‍යාපාරික මුහුනුවර වන “ජාත්‍යන්තර” පාසැල් නියාමනයක් හෝ අධීක්ශනයක් සිදු වන්නේ ම නැති තරම්. මා පදිංචි ව සිටින ප්‍රදේශයේ තිබෙන සුප්‍රකට ජාත්‍යන්තර පාසැලක ගුරුවරුන් වසයෙන් සේවයේ නිරත ව සිටින අතිබහුතරයක් දෙනා හුදෙක් ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව නිසා පමනක් එම රැකියාව ලද අය යි. ඒ අතර විශ්‍රාමික රජයේ නිලධාරීන්, හෙද නිලධාරිනීන්, දන්ත සෞඛ්‍ය නිලධාරිනියන් හා අලුත් උපාධිධරයින් ඉන්නවා. මේ සියලු දෙනා අතර සුදුසුකම් ලත් ගුරුවරු වසයෙන් ඉන්නේ විදුහල්පති ධුරය දරන පුද්ගලයා පමන යි. බොහෝ “ජාත්‍යන්තර” පාසැල්වල මෙන් ම එම තැනැත්තාත් රජයේ පාසැල්වල නිසි වයස් කාලය අවසන් වන තුරු සේවය කොට විශ්‍රාම ගිය කෙනෙක්. තත්වය මෙසේ වුවත් “ජාත්‍යන්තර” පාසැල් අඛන්ඩ ව ව්‍යාපාරික සමෘද්ධිය අත්පත් කරගනිමින් වඩාත් සුරක්ශිත අඩියක සිටින අතර රජයේ පාසැල් බුරුතු පිටින් වැසී යමින් පවතිනවා.

කුකුලු කූඩුවේ මුරකාරකම නරි නයිදේට ලබා දෙන්නාක් බඳු මෙවැනි දේශපාලන තීන්දු අධ්‍යාපනයට හිතකර නොවන බව මගේ හැඟීම යි. අඩු තරමින් මීට පෙර පිලිගෙන තිබුනු ආන්ඩුකරන හා පරිපාලන සිද්ධාන්ත අනුව කරුනු එහෙමයි.

තත්වය මේ මාර්ගය දිගේ ම ඉදිරියට යනු විනා මේ ක්‍රමය තුල වඩා සාධනීය දිශාවකට ගමන් කරනු ඇතැයි මා කල්පනා කරන්නේ නැහැ. ලාභ ලැබීම සෑම ක්ශේත්‍රයක ම පැවැත්ම වලංගු කරවන එක ම නිර්නායකය බවට පත් ව තිබෙන යුගයක් මේක. ලමාරක්ශක අධිකාරියත් “පාඩු ලබන” ආයතනයක් වසයෙන් නම් කරනු ලැබුනේ සති කීපයකට පෙර යි. පෙර දී රාජ්‍යයෙහි වගකීම් හා සුභසාධන උත්සුකයන් හැටියට පැවැති සෞඛ්‍ය සේවයට අත් වෙමින් පවතින ඉරනම ම අධ්‍යාපනයට ඊට වඩා වේගයෙන් අත් වෙමින් තිබෙන බව නිසැක යි. රෝගීන් මිය යෑම හෝ ඖශධ වර්ග සම්බන්ධ අර්බුද මෙන් එක රැයින් ජීවිතයත් මරනයත් අතර ප්‍රශ්න බවට අධ්‍යාපන ක්ශේත්‍රයේ ගැටලු පරිවර්තනය වෙන්නේ නෑ. එනිසා මෙය එතරම් උද්වේගකර මාතෘකාවක් නෙමෙයි. එසේ උද්වේගකර නො වූ පමනින්, ජීවිතයත් මරනයත් අතර ප්‍රශ්නයක් බවට පත් නො වූ පමනින් අධ්‍යාපන ක්ශේත්‍රයේ හටගනිමින් තිබෙන හායනය නොවැදගත් බවට පත් වන්නේ ද නැහැ.



* මට ලැබුනු අලුත් ම ස්පෑම් ලිපියේ ග්‍රේරු මහතා සමග කෙරුනු මෙන්න මේ සම්මුඛ සාකච්ඡාවට සබැඳුමක් ඇතුලත් ව තිබුනා. මා ඉහත ලියූ බොහෝ දෑ සන්නිදර්ශනය කරන කෙටි චිත්‍රපටයක් වැනි එම වීඩියෝව නැරඹීම සිත්ගන්නාසුලු අත්දැකීමක් වනු ඇති.