වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

ප්‍රොසීනියම් අවකාශයක් තුල පොම්පීනියා, නාට්‍ය තරග සහ "බොක්සිං"

| Comments

පොම්පීනියා

ටෙලි නාට්‍ය සිහිගන්වන “වේදිකා” නාට්‍ය නරඹන්න මගේ කිසි ම කැමැත්තක් නැහැ. වේදිකාවේ දී යොදාගන්න සුදුසු, වේදිකාවට ආවේනික ශිල්පක්‍රම හා රූපන විධි ආදිය තියෙන බව අමතක වෙන තරමට රූපවාහිනියෙත්, වෙලඳ දැන්වීමෙත්, ටෙලි නාටකයෙත් බර අද නලුනිලියන්ට වගේ ම අධ්‍යක්ශකවරුන්ටත් පැටවිලයි තියෙන්නෙ. මේක අද නිර්මානය වෙන බොහෝ “වේදිකා” නාට්‍ය දකිනකොට මට හිතෙන දෙයක්. ඒවාට ව්‍යතිරේක සපයන විශේශ නිර්මානයක් ඉඳ හිට දුටු විට නැවත නැවත ඒ ගැන කතා කරන්න හිතෙනවා; හරි ම ප්‍රියජනක යි.

නදීකා තරංගනී අධ්‍යක්ශනය කල පොම්පීනියා නාට්‍යය නැවතත් වතාවක් නරඹන්න අවස්ථාවක් උදා වුනා. කලින් එය දකින්න ලැබුනෙ බ්ලැක් බොක්ස් අවකාශයක් තුල. ඒ ගැන මා ලියූ ලිපිය ඇතැම් විට ඔබ කියවන්න ඇති. නාට්‍යයේ තේමාව ආදිය ගැන ලියූ බොහෝ දේවල් මෙහි දී පුනරුච්චාරනය කරන්න අවශ්‍ය නැති නිසා පෙර ලිපිය කියවා බලන්න මම ඔබට ආරාධනා කරනවා. ඉතින් මේ නාට්‍යයේ නව නිශ්පාදනයක් ඔක්තෝබර් 9 වැනි දා ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකාගත වුනා, මෙවර යොවුන් නාට්‍ය උලෙලේ කොටසක් හැටියට.

පෙර ලිපියෙන් සුලු කොටසක්:
මේ නාට්‍යයේ චරිත දෙකයි: නෝලා සහ ටනිල්.(චලනි ලක්ෂිකා කොස්තා සහ සමන්ත පී. ලියනගේ) නෝලා කාලාන්තරයක් තිස්සේ ආසාවෙන් බලාපොරොත්තු වූ ගමනක් යාමට - පොම්පීනියාවට, ලෝකයේ අනිත් කෙලවරට යාමට සැරසෙනවා. ඒ ගමනට ඇය කැටුව යන “තැනැත්තා” එනතුරු බලා ඉන්නා නෝලාත්, එතෙක් ඈ සමග උන් ටනිලුත් අතර නාට්‍යය ගොඩනැගෙනවා.

මේ නික්ම යාම පිලිබඳ තීරනය ගැන දෙදෙනා තුලත්, දෙදෙනා අතරත් මතු වන්නේ විතර්ක සමුදායක්. ඔවුන් දෙදෙනා අතර සබඳතාවේ ස්වරූපය ප්‍රෙක්ශකයාට අනාවරනය කෙරෙන්නේ අනිර්වචනීය ධාරනා(impressions) සමුච්චයක් මගින්. මේ අනාවරනය සඳහා රංගනය, දෙබස්, කටහඬ හා නලුනිලියන්ගේ ශරීර පමනක් නො ව ඔවුන් සමග වැඩෙන, බිඳ වැටෙන, අරගල කරන රංග උපකරන හා පසුතලය විශේශ දායකත්වයක් ලබාදෙනවා. නෝලාට පොම්පීනියාවට යන්නත් අවශ්‍යයි, ටනිල් සමග රැඳෙන්නත් අවශ්‍ය යි. ටනිල්ටත් එහෙම යි. ඇයට යන්න දෙන්නත් අවශ්‍යයි, රඳවාගන්නත් අවශ්‍ය යි. දෙන්නාට ම එකට යන්නත් බැහැ. දෙන්නාට ම එකට ඉන්නත් බැහැ. එක් වීම තුල නිදන්ගත ව පවතින වෙන් වීම ගැනත්, වෙන් වීම තුල ගැබ් වන එක් වීම ගැනත් කතාවක්.

ඔවුන් දැනට ඉන්නා ස්ථානය භූගෝලීය ව විතරක් නෙමෙයි ගෘහස්ථ ව වුනත් ඒ තරම් නිශ්චිත නැහැ. මෙය අගනා පසුතල නිර්මානයක්. එයින් කොටසක් නාට්‍යය අතරවාරයේ ඉදිකිරීම ටනිල්ගේ රංගනයේ කොටසක්. ඔහු සමීප ව, ආසක්ත ව නිරත වන ප්‍රධාන කාර්යය මේ ඉදිකිරීම යි.
පොම්පීනියා බ්ලැක් බොක්ස් නිශ්පාදනය කෙරෙහි බලවත් ප්‍රසාදයට පත් ව සිටි මම එවර මෙය ප්‍රොසීනියම් වේදිකාවට ගෙන යාම ගැන සැකසංකා පල කෙරුවා:
“… මේ රංග රීතිය සම්පූර්නයෙන් උඩු යටිකුරු කරන වැඩකින් මිස එදා අප දුටු පොම්පීනියා එවැනි තැනක රඟදක්වන්න අපහසු බව යි මට දැනුනේ. ඒ නිසා ලයනල් වෙන්ඩ්ට් හි දී ඔබ මේ නාට්‍යය දුටුවොත් ඒ 3 වැනි දා අප දුටු පොම්පීනියා නොවන බව සහතික යි.

“බ්ලැක් බොක්ස් අවකාශය තුල එය ප්‍රේක්ශකයා සමග සම්බන්ධ වුනු ආකාරය හරි ම සුවිශේශී එකක්. එහි දී රංගයත් ප්‍රේක්ශකයාත් අතර තිබෙන අවකාශීය/කායික සමීපස්ථභාවය නිසා නලුනිලියන්ට වගේ ම ප්‍රේක්ශකයින්ටත් විශාල අභියෝගයක් එල්ල වෙනවා. එය රඟපෑමේ දී මෙන් ම නැරඹීමේ දීත් බ්ලැක් බොක්ස් අවකාශයට ම ආවේනික ශික්ශනයක් ඉල්ලා හිටිනවා. මෙවැන්නක් ප්‍රොසීනියම් අවකාශයක රඟදක්වන්න නම් ඒ රංගශාලාවල සංස්කෘතියටත් නාට්‍ය නැරඹීම පිලිබඳ ව්‍යාකරනයටත් අභියෝග කරන්න වේවි.”

මේ නව නිශ්පාදනය නරඹන්න ලයනල් වෙන්ඩ්ට් රඟහලට ඇතුලු වන විට ම දකින්න ලැබුනේ ඉතා ම ප්‍රබල හා දැවැන්ත ආකාරයට ප්‍රතිනිර්මානය කරනු ලැබ තිබූ පසුතලය. සුදු පැහැය ප්‍රමුඛ වන හා කලු වර්නයෙන් සහාය ලබන පරිදි සකස් කර තිබූ එය වේදිකාවේ පෙර බිම පමනක් නාට්‍යය සඳහා උපයෝගී කරගත හැකි වන පරිදි ස්ථාපනය කර තිබුනා.  මෙය නලුනිලියන්ට වගේ ම ප්‍රේක්ශකයාටත් ඉතා දැවැන්ත, මහරු, overwhelming හා වියුක්ත(abstract) අවකාශයක් නිර්මානය කර දුන්නා. එය විශාලත්වය අතින් අපව “යටපත් කරවන සුලු යි”. අනිත් අතට එහි තිබුන වියුක්ත ගුනය විමුක්තිදායක යි. එය රූපන ශිල්පියාට රඟපෑම සඳහා නිදහස උදා කරනවා. ප්‍රේක්ශකයාගේ පරිකල්පනයට ඉඩ සලසනවා.

මේ සුදු පසුතල මත නාටකාකාර ව අන්තර්ක්‍රියා කරන වර්නවත් ආලෝකකරනයක් උපයෝගී කරගෙන තිබුනා. නාට්‍යය ගලා යද්දී ඊට උචිත ලෙස සංගීත ඛන්ඩ හා සංයෝග කෙරුනු ආලෝකකරනය ඉතා රසවත් කාර්ය කොටසක් ඉටු කෙරුවා. නෝලා සහ ටනිල්ගේ සබඳතාව විස්තාරනය හා විකසනය වෙද්දී එය වඩාත් ප්‍රබල විදියට ප්‍රේක්ශකයාට සමීප කරන්න මේ අංශ මනා ව සහාය වුනා කියලා මට හිතෙනවා. හරියට “සමීප රූප” අරන් දෙනවා වගේ අවශ්‍ය අවස්ථාවල ආලෝකය සහායට එනවා.

රූපනය අතින් නාට්‍යයේ විශාල වර්ධනයක් දකින්න තිබුනා. චලනි කොස්තා සහ සමන්ත පී. ලියනගේ දෙදෙනාගේ ම රඟපෑම් වඩාත් පිරිපහදු වූ, මනා ව, නූලට ගනන් බලන ලද පියවර බවට පත් වෙලා. එය ඉතා ම ප්‍රසාදජනක දර්ශනයක්. මීට පෙර ඉතා සමීප තැනක සිටි ප්‍රේක්ශකයා වෙනුවෙන් වර්ධනය කරගෙන තිබූ රංග ශෛලිය ඊට හාත්පසින් ම වෙනස් අවකාශයකට සරිලන පරිදි රූපාන්තරනය කරගන්නත්, වඩා “විශාලිත රූප” ලබා දෙන්නත් ඔවුන් දෙදෙනා සමත් වුනා.

නිශ්ශබ්දතාව යොදාගත් ආකාරය බ්ලැක් බොක්ස් අවකාශයේ දී දැනුනු අන්දමට වඩා බරසාර විදිහට මෙහි දී දැනුනු බව සඳහන් කල යුතු යි. ඇතැම් විට එය වඩා දැඩි හා ක්‍රමානුකූල පුහුනුවීමක ප්‍රතිඵලයක් වෙන්න ඇති. දෙබස් අතර වෙන ම “චරිතයක්” තරමට වැඩී එන නිශ්ශබ්දතාව හා විරාමයන් හුදු තාක්ශනික හරඹයක් නෙමෙයි. මේ නිශ්ශබ්දතාවත් ටනිල්ගේ “ඉදිකිරීම” වගේ ම කෘතිය විසින් ඉල්ලා සිටින ඓන්ද්‍රීය අංගයක් බවට පත් වෙනවා (රූපනය ගැන මීට පෙර ලිපියේ කොටස කියවන්න).

බ්ලැක් බොක්ස් අවකාශය තුල ඔවුන් අවකාශය භවිත කල හැටි ගැන මම විශේශයෙන් මෙහෙම කිව්වා:

“… ඒ වගේ ම තමයි නෝලාගේ පොම්පීනියා ගමන සහ “එලියේ”, දුර ඈත තැනක තියෙන ප්‍රාර්ථනා-ආශාවන් මේ රංග අවකාශය තුල-සහ-පිටත ගොනු කරපු විදිහ. ඒ නිසා කුඩා රංග අවකාශයෙන් පිටතට යන නෝලා (රඟහලෙන්) එලියේ සිට ටනිල් අමතන අවස්ථා බොහොම බලවත් විදිහට දැනුනා.”

මෙන්න මේ අවස්ථාව ලයනල් වෙන්ඩ්ට් අවකාශයේ දී විශාල වෙනසකට ලක් කොට තිබුනා. ඒ කියන්නෙ නෝලා පිටත් ව(වෙන් ව) ගොස් එලියේ සිට ටනිල් අමතන අවස්ථාව ප්‍රොසීනියම් රඟහල තුල සිදු වෙන්නෙ මෙහෙම යි: නෝලා වේදිකාව ඉදිරිපස මඳක් පහලින් රැඳෙනවා; ඇය රඟහලෙන් එලියට යන්නෙ නැහැ. ඒ නිසා අපට ටනිල් පෙනෙන්නෙ නෝලාට පසුපසින් වේදිකාව මත ඉන්න විදිහට. නාට්‍යයේ මැද කොටසේ දී එම ස්ථානයේ ම ඔවුන් දෙදෙනා ම ගැවසෙන අවස්ථා තිබුනා. ඒ නිසා අවකාශය භාවිතය මේ බැරෑරුම් මොහොත වෙනුවෙන් ඒ තරම් සේවයක් ඉටු කරන්නෙ නැහැ. බ්ලැක් බොක්ස් තුල දී අවකාශය භාවිත කරපු ප්‍රබල විදිහ එක්ක සසඳනකොට මේක ඒ තරම් හොඳ ක්‍රමයක් කියල මට හිතෙන්නෙ නැහැ. ඇතැම් විට ශාලාවෙන් පිටත සිට එම අවස්ථාව නිරූපනය කරන්න අවශ්‍ය ශබ්ද පහසුකම් නොතිබුනා වෙන්න ඇති.

ඒ කෙසේ වෙතත් සමස්තයක් හැටියට ප්‍රොසීනියම් අවකාශය ජයගන්න මේ නව නිශ්පාදනය සමත් වෙලා තිබුනා. ඉතා ම සංවේදී මල් පෙත්තක් වැනි නාට්‍යයක්. මෙයාකාර හැඟීම් සංකීර්නයක් තුල සැරිසරන කෘති අද බිහි වෙනවා අඩු යි. නාට්‍යයේ කූටප්‍රාප්ත අවස්ථාව ප්‍රේක්ශකාගාරයේ හුන් බොහෝ දෙනාගේ නෙතට කඳුලක් එක් කරන්න සමත් වුනු බව පසුව කල කතාබහේ දී දැකගන්න ලැබුනා.

ආරම්භයේ දී සඳහන් කලා වගේ රූපවාහිනියේ, වෙලඳ දැන්වීමේ සහ ටෙලි නාට්‍ය “කලාවේ” බරින් මැඩුනු, එයින් බලපෑමට ලක් වුනු ආකෘතිත්, රූපන විධිත් සහිත වේදිකා නාට්‍ය බහුල ව දකින්න ලැබෙන කාලෙක ඒ වෙනුවට වේදිකාවේ කරන්න පුලුවන්  විස්කම්, වේදිකාවේ ව්‍යාකරන ගැන සංවේදී ව කරපු මේ වගේ නාට්‍ය රසවිඳින්න ලැබීම භාග්‍යයක්. ඒත් මෙවැනි නාට්‍ය අඛන්ඩ ව රඟදක්වන්නත්, ප්‍රේක්ශකයාට මෙවැන්නක වියරනයට හුරු වන තරම් කලක් ඒ හා ගැවසෙන්නත් සරිලන රංග කලා අවකාශ අපට නොමැති වීම ඊට නොදෙවෙනි මහා අභාග්‍යයක්!

ඒ අතර …

බොක්සිං තරග වැනි නාට්‍ය තරග

යොවුන් නාට්‍ය උලෙල බලන්න ගිය අවස්ථාවේ හිතට තදින් වැදුනු දෙයක් ගැන කියන්න ඕන. පොම්පීනියා නරඹන්න මම අසුන් ගත්තේ වේදිකාව ඉදිරිපසට කිට්ටුවෙන් මැද කොටසේ. අපට දකුනු පැත්තෙන් කන්ඩායමක් හැටියට පේලි දෙකක පමන වාඩි වෙලා හිටිය පිරිසකගේ හැසිරීම මගේ අවධානය ඇදගත්තා. ඔවුන් නාට්‍යය නරඹනවට වඩා කෙරුවේ සිනාසීම. එහෙමත් නැත්නම් විවිධ ශබ්ද පිට කිරීම. නාට්‍යයේ ඉතා ම සංවේදී, කම්පාකාරී නිමේශයන් පසුවෙද්දී මේ වගේ හැසිරීමක් ප්‍රේක්ශකාගාරයේ විවිධ තැන්වලින් දකින්න ලැබුනා. මට තේරුම් ගියේ මේ නාට්‍ය “තරගයට” පැමිනි වෙනත් නාට්‍ය කන්ඩායම්වල උදවිය බව යි. කලිනුත් කිව්වා වගේ මේක ඉතා ම සියුම් මල් පෙත්තක් වැනි නාට්‍යයක්. මානව සම්බන්ධතාවන්ගේ ඉතා ම ගැඹුරු හා සංවේදී ඉසවුවක් ස්පර්ශ කරන්න වෑයම් කරන එය නොතලා නොනසා විඳගන්න ප්‍රේක්ශකයාට අවස්ථාව ලැබිය යුතු යි. ඒත් නාට්‍ය තරගය බොක්සිං තරගාවලියකට හුරේ දැමීමක් වැනි අඩියකට පිරිහෙලාගත් ප්‍රේක්ශකාගාරය තිබුනේ නාට්‍යයේ “මට්ටමට” වඩා බොහෝ ම පහලින්.

නාට්‍ය තරග ගැන උනන්දුවක් නැති නිසා කවුද දිනුවේ කින්ද මන්ද කියලා හොයන්න නම් බැරි වුනා.

*අදාල වෙනත් ලිපි :  පොම්පීනියා - විප්පයෝගයේ සම්පයෝගය