වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

පොම්පීනියා - විප්පයෝගයේ සම්පයෝගය

| Comments

අපට බොහෝ නාට්‍යකරුවන්, නිශ්පාදන හා නාට්‍ය පිටපත් හමු වන්නේ රංග කලා ඉතිහාසයේ බලපත්‍ර ලද, “කතිකාගත වූ” දැවැන්ත අදහස් සම්භාරයකුත් එක්ක යි. සොෆොක්ලීස්ගේ සිට ශේක්ස්පියර්ගේ දක්වාත්, ඉබ්සන්ගේ සිට දාරියෝ ෆෝ දක්වාත් තත්වය එහෙමයි. ඔවුන් ගැනත්, ඔවුන්ගේ කෘති ගැනත් බොහෝ දේ ලියැවී තියෙනවා. කවුරුහරි නාට්‍යයක් පරිවර්තනය කරන්න, එහෙමත් නැත්නම් නිශ්පාදනය කරන්න තෝරාගනිද්දී අවිඤ්ඤානික ව හරි මේ කරුනු කාරනා හා සන්දර්භය සැලකිල්ලට ගැනෙනවා. මොන තරම් නව අර්ථකථනයක් දෙන්න වෑයම් කලත් ශේක්ස්පියර් ලියූ සෑම වැකියක්, වචනයක්, කොමාවක් දක්වා ම විවිධ අර්ථනිරූපනයන්ට ලක් වී තිබීම නිසා එයින් අමතර බරක් වගේ ම පහසුකමකුත් සම්පාදනය වෙනවා. එවැනි අවස්ථාවක තමන් පයගසාගන්න අවශ්‍ය හරියට ම කොතැන ද, මේ නාට්‍යයේ පථය කවරක් විය යුතු ද වගේ ප්‍රශ්න නාට්‍යකරුවාට විසඳාගන්න ලේසි යි. ඒ වගේ ම එම පහසුව පසුපස සැඟවී ගත් සංකථනයේ අධිකාරය නිසා නාට්‍යකරුවා විශාල සීමා වීමකටත් ලක් වෙනවා. මේ පැති දෙක ම ප්‍රේක්ශකයාට හා විචාරකයාටත් අදාල යි.

ඒත් එවැනි විශාල කතාන්දර සහිත පසුබිමක් හා බලයක් නැති, සමකාලීන විදේශීය නාට්‍ය පිටපතක් සමග වැඩට බහින්න තීරනය කරන අධ්‍යක්ශිකාවකට මුහුන දෙන්න වෙන්නේ ඊට හාත්පසින් ම වෙනස් තත්වයකට. ඒක දුශ්කර වැඩක්. ආසියාව හොයාගෙන සාගර යාත්‍රා කල කොලොම්බස්ට ඇමෙරිකාව හමු වුනාක් බඳු දේ සිදු වෙන්න ඉඩ තියෙන අවස්ථාවක් මේක. ඇමෙරිකාව හමු නො වී මුහුදුබත් වූ යාත්‍රිකයිනුත් කී දෙනෙක් ඉන්න ඇද්ද?

සමුගැනීම, විප්‍රයෝගය, ආදරය, බන්ධුත්වය හා ඊර්ශ්‍යාව අතර දෝලනය වන ධාරනා සමුච්චයක් හැටියට හඳුන්වන්න පුලුවන් පොම්පීනියා නාට්‍යය අගෝස්තු 03 වැනිදා හවස රාජගිරිය Inter Act Art බ්ලැක් බොක්ස් රඟහලේ දී නරඹන්න ලැබුනා. බ්ලැක් බොක්ස් අවකාශයට ම විශේශයෙන් ප්‍රයුංජනය කෙරුනු මෙය නදීකා තරංගනීගේ අධ්‍යක්ශනයක්; වේදිකා කලමනාකරනය එස්. දයාලන්; සංස්කරන සැලසුම එම්. සෆීර්. යලිත් වතාවක් බ්ලැක් බොක්ස් රංගයේ තවත් පැතිකඩක් අත්දකින්න ලැබීම ප්‍රීතියක්. ඊටත් වඩා වැදගත් වුනේ මානව සම්බන්ධතා පිලිබඳ සංකීර්න ධාරනා කීපයක් රැගත් නාට්‍යයක හෘදයංගම කම්පනය විඳින්න ලැබීම යි. විවිධ අර්ථකථනවලට ලක් කල හැකි විකල්ප ගනනාවකින් සමන්විත කෘතියක්. පැයක් දිග නාට්‍යයක් නැරඹූ බව දැනුනෙත් නැති තරම්.

Ingeborg von Zadow නමැති සමකාලීන ජර්මානු නාට්‍ය රචිකාවගේ කෘතියක අනුවර්තනයක් පාදක කරගත් මේ නිශ්පාදනය තව ම ඔප දමා අවසන් නැති කුඩා මැනිකක් වගෙයි. තව ම මේ පිටපත ඒ තරම් පුලුල් වසයෙන් ප්‍රයුංජනය වූවක් නොවන බවත් කරුනු සොයාබලද්දී දැනගන්න ලැබුනා. මෙහි පරිවර්තක ජයලත් එස්. ගෝමස්.

මගේ මේ අදහස් දැක්වීමකට තනි කර්තෘත්වයක් ආරෝපනය කරගන්නත් අපහසුයි. මොකද මේ ලියැවෙන සටහන් එදින හඳුනන-නොහඳුනන බොහෝ දෙනෙක් අතර හුවමාරු වූ අදහස් උදහස්වලින් පදම් වී තියෙන නිසා. මීට පෙර “මාතෘකාවක් නැත” නාට්‍යය ගැන ලියූ ලිපිය වගේ ම මෙයත් එදා සාකච්ඡාවේ ම අවිධිමත් දිගුවක්.

පොම්පීනියාවට යනු පිනිස

මේ නාට්‍යයේ චරිත දෙකයි: නෝලා සහ ටනිල්.(චලනි ලක්ෂිකා කොස්තා සහ සමන්ත පී. ලියනගේ) නෝලා කාලාන්තරයක් තිස්සේ ආසාවෙන් බලාපොරොත්තු වූ ගමනක් යාමට - පොම්පීනියාවට, ලෝකයේ අනිත් කෙලවරට යාමට සැරසෙනවා. ඒ ගමනට ඇය කැටුව යන “තැනැත්තා” එනතුරු බලා ඉන්නා නෝලාත්, එතෙක් ඈ සමග උන් ටනිලුත් අතර නාට්‍යය ගොඩනැගෙනවා.


මේ නික්ම යාම පිලිබඳ තීරනය ගැන දෙදෙනා තුලත්, දෙදෙනා අතරත් මතු වන්නේ විතර්ක සමුදායක්. ඔවුන් දෙදෙනා අතර සබඳතාවේ ස්වරූපය ප්‍රෙක්ශකයාට අනාවරනය කෙරෙන්නේ අනිර්වචනීය ධාරනා(impressions) සමුච්චයක් මගින්. මේ අනාවරනය සඳහා රංගනය, දෙබස්, කටහඬ හා නලුනිලියන්ගේ ශරීර පමනක් නො ව ඔවුන් සමග වැඩෙන, බිඳ වැටෙන, අරගල කරන රංග උපකරන හා පසුතලය විශේශ දායකත්වයක් ලබාදෙනවා. නෝලාට පොම්පීනියාවට යන්නත් අවශ්‍යයි, ටනිල් සමග රැඳෙන්නත් අවශ්‍ය යි. ටනිල්ටත් එහෙම යි. ඇයට යන්න දෙන්නත් අවශ්‍යයි, රඳවාගන්නත් අවශ්‍ය යි. දෙන්නාට ම එකට යන්නත් බැහැ. දෙන්නාට ම එකට ඉන්නත් බැහැ. එක් වීම තුල නිදන්ගත ව පවතින වෙන් වීම ගැනත්, වෙන් වීම තුල ගැබ් වන එක් වීම ගැනත් කතාවක්.

ඔවුන් දැනට ඉන්නා ස්ථානය භූගෝලීය ව විතරක් නෙමෙයි ගෘහස්ථ ව වුනත් ඒ තරම් නිශ්චිත නැහැ. මෙය අගනා පසුතල නිර්මානයක්. එයින් කොටසක් නාට්‍යය අතරවාරයේ ඉදිකිරීම ටනිල්ගේ රංගනයේ කොටසක්. ඔහු සමීප ව, ආසක්ත ව නිරත වන ප්‍රධාන කාර්යය මේ ඉදිකිරීම යි.

රූපනය

“ප්‍රේක්ශකාගාරය” වෙනදාට වඩා වෙනස් ව රංගභුමිය වට වන පරිදි සකස් කර තිබුනා. ඒ නිසා තුන් පැත්තකින් ප්‍රේක්ශකයින්ගෙන් වට වූ නලු නිලි දෙදෙනා ඇතැම් විට පැති දෙකේ උන් ප්‍රේක්ශකයින් අතර ද හිඳගනිමින් රංග කාර්යයේ යෙදුනා. නෝලාගේ ගමන් බෑගයේ තිබූ දෑ සීසීකඩ ගිහින් ප්‍රේක්ශකයින් අතරටත් වැටෙනවා. මේ තරම් සමීප ස්ථානයක ඉඳගෙන රංගනයේ යෙදෙන නිසා ප්‍රොසීනියම් වේදිකාවක හෝ වීදි නාට්‍යයක රඟපෑමේ දී යොදාගන්නා රූපන ක්‍රමවලට වඩා බෙහෙවින් වෙනස් “රඟ නොපෑමේ” ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඔවුන්ට සිදු වුනා. හැකි තාක් “අඩුවෙන් රඟපාමින්” රඟපෑමේ යෙදෙන්නේ කොහොම ද? කටහඬ, ආංගික හා සාත්වික අභින සියල්ල මත මේ පාලනය පවත්වාගනිමින් මනා ශික්ශනයක් ප්‍රකට කරන්න නලුනිලි දෙපල සමත් වූ බව ප්‍රශංසාත්මක ව සඳහන් කල යුතු යි. එහෙම නොවුනා නම් භාවාතිශය අධිරංගනයක් බවට පිරිහෙලාගන්න පුලුවන් ගතියක් මේ පිටපතේත්, වචනවලත් නැත්තේ නැහැ.


මේ වගේ ප්‍රයුංජනයක් කරන්න යද්දී දෙබස්වල බරට යට වෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි. නමුත් මේ නාට්‍යයේ දෙබස් භාවිතය බොහොම අවමතාවාදී විදිහට යි කරන්නෙ. ඒ නිසා ම වෙනත් රංග කලා උපක්‍රමවලට දොර විවර කරගන්න අධ්‍යක්ශිකාව සමත් වෙනවා - විශේශයෙන් නිශ්ශබ්දතාව. මෙහි දී මට සිහි වුනේ හැරල්ඩ් පින්ටර්ගේ කෘති තුල නිශ්ශබ්දතාව උපයෝගී වන ආකාරය. නමුත් මේ රංග ශෛලිය ඊට වඩා බොහෝ වෙනස්. මේ දෙබස් සහ නිශ්ශබ්දතාව ඇතැම් විට කැමූසියානු හා බෙකට්-ඇඩමොව්-ඉයොනෙස්කෝ පන්නයේ අභූතරූපීත්වයක් ද(absurdity) ප්‍රකට කලා. නෝලාගේ චරිතය විස්තාරනය කරන්න මේ නිශ්ශබ්දතාව ප්‍රබල දායකත්වයක් සපයනවා. එය හුදෙක් රේඛීය ආකාරයට සිදු වන රූපනයක් නෙමෙයි, එය ඛන්ඩිතයන් ගනනාවකින් සමන්විත යි. මේ නිශ්ශබ්දතාව අතර දී ඇය විවිධ තලවලට මාරු වෙනවා; විවිධ මනෝගතීන් ප්‍රකට කරනවා. එමගින් නෝලා නමැති චරිතයේ විවිධ පැති කීපයක් අනාවරනය කරන්න සමත් වෙනවා. ඉතා සියුම් වෙනස්කම් සහිත දක්ශ රූපනයක්. ඒ අතරවාරයේ ටනිල්ගේ ඉදිකිරීමේ ක්‍රියා මීටත් වඩා ක්ශුද්‍ර හා සවිස්තර මට්ටම්වලට යන්න තිබුනා කියලයි මට හිතුනේ, මේ බ්ලැක් බොක්ස් අවකාශය නිසාත් ප්‍රේක්ශකයින්ගේ සමීපත්වය නිසාත් ඒ වගේ දෙයක් තවත් තියුනුවට කරන්න තිබුනා. ඔහු ඉදි කරන්න වෑයම් කරන්නෙත් අසමත් වන්නෙත් නිවෙසක් බඳු - කුටුම්බාකාර - ආකෘතියක් බව පෙනුනා. හැඳපැලඳගැනීම්, එකලස්කිරීම්, ඉදිරිකිරීම්, විසිරීම් හා කායික - ඇක්‍රොබැටික් වැඩ ආදිය දෙබස්වලට නොදෙවෙනි නිරූපනාත්මක කාර්යයක් මෙහි දී ඉටු කෙරුවා.

අවකාශය, ආලෝකය සහ අඳුර

රංගනය සිදු වෙන්නෙ ඉතා කුඩා ඉඩක. ඒත් ආලෝකකරනය වගේ ම වර්න භාවිතය නිසාත් මේ ඉඩකඩ ඉතා බලවත් විදිහට ප්‍රයෝජනයට ගන්න අධ්‍යක්ශිකාව සමත් වෙනවා. සුදු පැහැ රංග වස්ත්‍රත්, කලු-සුදු පසුතලයත් සමග සෙවනැලි හා අඳුරු ඉඩකඩවල් ද සහිත ව සැලසුම් කර තිබූ ආලෝකකරනය ඉතා උචිත පරිදි සමායෝජනය වුනා. මේ අඳුර පිලිබඳ විවිධ කතාබහ හා ප්‍රතිචාර එහි දී ප්‍රේක්ශකයින්ගෙන් පල වුනා. සමහරු කිව්වේ ඇතැම් තැනක දී නලුනිලියන්ගේ මුහුනු පැහැදිලි ව නොපෙනුන බව. ඒත් මේ එලිය සහ අඳුර අතර ගමන් කිරීම නිසා වෙන ම අර්ථ සමුදායක් ජනනය කල බව මට හැඟී ගියා. එය අර නිශ්ශබ්දතාව භාවිත කල ආකාරයේ ම තවත් වැඩක් බව මගේ කල්පනාව යි. සුදු සහ කලු, එලිය සහ සෙවනැලි අතර සිදු වන මේ රූපනය බොහොම ප්‍රබල යි. තීරනය සහ අතීරනය අතර දිවෙන රූපනයට එය ඉතා උචිත “පහසුකම් සැලසීමක” යෙදෙනවා. අනිත් අතට අවශ්‍ය අවස්ථාවල නෝලාගේත් ටනිල්ගේත් මුහුනේ සිදු වන සියුම් වෙනස්කම් පවා ඉස්මතු කර පෙන්වන්න එම ආලෝකය ප්‍රමානවත් වුනා.

ඒ වගේ ම තමයි නෝලාගේ පොම්පීනියා ගමන සහ “එලියේ”, දුර ඈත තැනක තියෙන ප්‍රාර්ථනා-ආශාවන් මේ රංග අවකාශය තුල-සහ-පිටත ගොනු කරපු විදිහ. ඒ නිසා කුඩා රංග අවකාශයෙන් පිටතට යන නෝලා (රඟහලෙන්) එලියේ සිට ටනිල් අමතන අවස්ථා බොහොම බලවත් විදිහට දැනුනා.


මේ නලු නිලි දෙපලගේ පෙනුම හා වයස විසින් සම්පාදනය කරන අර්ථකථනයකුත් මෙතන තියෙනවා. එය එක්තරා විදිහක “යොවුන්”, “කෙලිලොල්” ගුනයක් සහිත යි. ඇත්තට ම මේ කෘතිය ම මැදි වියේ හෝ වියපත් නලුනිලි යුවලක්/චරිත දෙකක් සහිත ව වෙන ම බරකින් යුත් නාට්‍යයක් බවට පෙරලන්න පුලුවනි. මේ විප්‍රයෝගය, බන්ධුත්වය හා අනෙකුත් හැඟීම් අලුතින් ලියන්න පුලුවනි. දැනට මෙහි දී අවධාරනය නොකෙරෙන, ව්‍යක්ත නොකෙරෙන, එහෙත් පිටපතේ ගැබ් ව තිබෙන බව පෙනෙන වෙනත් ගුනාංග ගවේශනය කරමින් ඉස්මතු කරගන්න එවැන්නකට හැකියාව තියේවි කියා හිතෙනවා. මේ පිටපතේ ඒ ඒ චරිතවල වයස ආදිය ගැන කවර සඳහනක් තියෙනවා ද කියන්න මා දන්නේ නැහැ. එහෙම වුනත් මෙහි එවැනි අත්හදා බැලීමකට විවර වුන දොරටුවක් ඇති බව නම් පෙනුනා. මේ වයස සම්බන්ධ කාරනය ගැන කල්පනා කරද්දී මට යුශේන් ඉයොනෙස්කෝගේ පුටු නමැති නාට්‍යය සිහි වෙනවා.

පොම්පීනියා නාට්‍යය “පොම්පීනියාවට ගෙන යාම”

මේ නාට්‍යය ප්‍රොසීනියම් රංග ශාලා සඳහා ද නැවත නිශ්පාදනය කෙරෙන බව අහන්න ලැබුනා. ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී එම අනුවාදය වේදිකාගත වීමට නියමිත යි. මේ රංග රීතිය සම්පූර්නයෙන් උඩු යටිකුරු කරන වැඩකින් මිස එදා අප දුටු පොම්පීනියා එවැනි තැනක රඟදක්වන්න අපහසු බව යි මට දැනුනේ. ඒ නිසා ලයනල් වෙන්ඩ්ට් හි දී ඔබ මේ නාට්‍යය දුටුවොත් ඒ 3 වැනි දා අප දුටු පොම්පීනියා නොවන බව සහතික යි.

ඡායාරූප අනුග්‍රහය එම්. සෆීර්
බ්ලැක් බොක්ස් අවකාශය තුල එය ප්‍රේක්ශකයා සමග සම්බන්ධ වුනු ආකාරය හරි ම සුවිශේශී එකක්. එහි දී රංගයත් ප්‍රේක්ශකයාත් අතර තිබෙන අවකාශීය/කායික සමීපස්ථභාවය නිසා නලුනිලියන්ට වගේ ම ප්‍රේක්ශකයින්ටත් විශාල අභියෝගයක් එල්ල වෙනවා. එය රඟපෑමේ දී මෙන් ම නැරඹීමේ දීත් බ්ලැක් බොක්ස් අවකාශයට ම ආවේනික ශික්ශනයක් ඉල්ලා හිටිනවා. මෙවැන්නක් ප්‍රොසීනියම් අවකාශයක රඟදක්වන්න නම් ඒ රංගශාලාවල සංස්කෘතියටත් නාට්‍ය නැරඹීම පිලිබඳ ව්‍යාකරනයටත් අභියෝග කරන්න වේවි.

*අදාල වෙනත් ලිපි