වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

ජනවාරි 26 වැනි දා "වලයාකාර" සූර්යග්‍රහනයක්

| Comments

අපේ මිතුරු බ්ලොග්කරු ශෙහාල් මේ ගැන බොහොම සවිස්තර වාර්තාවක් සිංහල, දෙමල සහ ඉංගිරිසි තුන්බසින් ම ලියා පල කර තිබෙනවා. ඔහු කියන පරිදි එය ජනවාරි 26 වැනිදා හවස 2 සිට 4 දක්වා ශ්‍රී ලංකාවේ සිටත් නිරීක්ශනය කරන්න පුලුවනි. මෙවැනි විද්‍යාත්මක කරුනු කාරනා ගැන දේශීය භාශාවන්ගෙන් ලිපි ලේඛන පල කරන්න ඔහු දක්වන උද්යෝගය කාගේත් ප්‍රශංසාවට හා කෘතඥතාවට පාත්‍ර වනු නොඅනුමාන යි. සිතියම් වීඩියෝ ආදිය සහිත ව වැඩිදුර කියවන්න කනබොන.com වෙත පිවිසෙන්න.

වලයාකාර?

මේ වලයාකාර නමැති යෙදුම ගැන කතා කරන්න ගිහින් භාශාන්තර සංචාරයක යෙදෙන්න ලැබුනා.

මේකට ඉංගිරිස් භාශාවෙන් කියන්නෙ annular solar eclipse කියලයි. annular යන්නෙහි මූලය තියෙන්නෙ ලතින් භාශාවේ anulus කියන පදයේ. එහි අර්ථය ring නොහොත් රවුමක්, වලල්ලක්, නැත්නම් මුද්දක්, වෘත්තයක් වගේ දෙයක්.
එය anularis බවට පෙරලී පසුව ඉංගිරිසියට annular වෙලා. ෆ්‍රන්ස බසින් annulaire වසයෙන් හැඳින්වෙන පදයේ ද මුල මෙය යි.

ඉතින් අපේ සිංහල භාශාවට පාරිභාශික පද හදපු විද්වතුනුත් අතෑරියෙ නෑ ගියා ආපස්සට, ගිහින් සංස්කෘත භාශාවෙන පදයක් හොයාගත්තා. හරියට ලතින් භාශාවේ ඉඳන් ආපු ගමන ලංකාවෙ විදිහට පුනර්කරනය කරන්න වගේ ;-) ඔන්න පාරිභාශික පද හදන මේ ක්‍රමයට ඇතැම් භාශා ප්‍රේමීන් විරුද්ධ වෙන්න පුලුවනි. ඒත් මම නං පුද්ගලිකව කැමතියි මේ යෙදුමට. නමුත් හුදු හෙල වදනක් නිපදවා තියෙනවා නම් ඒකත් දැනගන්න මම කැමතියි.

සංස්කෘත භාශාවෙන් වලය කියලා කියනව වෘත්තයට, වලල්ලට, නැත්නං බ්‍රෙස්ලට් එකට… ඔය වගේ රවුම් හැඩවලට.

වලය + ආකාර = වලයාකාර

වලයාකාර සූර්යග්‍රහනය කියන යෙදුම භාවිතයට ඇවිත් තියෙන්නෙ ඔහොමයි.

.