වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

පුරාන පතපොත සංස්කරනය යනු බලාගෙන යතුරු ලිවීමක් නොවේ! : ICTA ආයතනය ජාතක පොතට කර ඇති හදිය (03)

| Comments

මීට පෙර ලිපිය හොඳ සිහියෙන් කියවූ කෙනෙකුට තේරුම් යන්න ඕන දෙයක් තමයි ජාතක පොත වත් වෙන මොනයම්ම පුරාන සාහිත්‍ය පොතක් පතක් වත් ගුවනේ ලඹ දෙමින් පැමින, අන් කිසිවකුගේ මැදිහත් වීමකින් තොර ව ආකාස කුසුමක් සේ අප අතට පතිත නොවූ බව. ඒවා කලක් තිස්සේ ශුද්ධ කෙරෙමින් සංස්කරණය වූ කෘති; විවිධ සංස්කාරකවරුන්ගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵල. ඒත් සමහරු තාම හිතන්නෙ “ජාතක පොත් වහන්සේ අගේට වැඩ ඉන්නවා, ඕන කෙනක් ඒක අරන් ඕන ඕන විදිහට ටයිප් කොරල පල කරගත්තාට කම් කිම්?” කියලයි! ඒක ඕන බයියෙකුට උදේ අවදි වුන ගමන් කරන්න පුලුවන් වැඩක් කියල තමයි හිතාගෙන ඉන්නෙ! ICTA ආයතනය වෙනුවෙන් ක්ශමාලාප කියමින් මේ වාදයට අවතීර්න වන සමහරු ප්‍රශ්නයට තුඩු දුන් වෙබ් අඩෙවිය සකස් කල අයට තියෙන “ටයිප් කිරීමේ හැකියාව” ගැන පාරම් බානවා.

පහත දැක්වෙන උපුටනය මහාචාර්ය සුචරිත ගම්ලත් ලියූ , ඉරුදින පුවත්පතේ 2008 ජූලි මස 27 වැනි දා(ඒ කියන්නේ පසුගිය සතියේ) පල වූ සතිසංචින්තා ලිපියෙන්. ග්‍රන්ථ සංස්කරනය යනු icta ආයතනය සහ එහි ක්ශමාලාපකයින් සිතාගෙන සිටින පරිදි හොරකම් කරගත් දෙයක් යතුරු ලියා දොරට වැඩැම්මවීමට වඩා දුශ්කර, ශාස්ත්‍රීය ව්‍යායාමයක් බවත්, එහි දී ඒ ඒ සංස්කාරකවරයාගේ විනිශ්චය, මැදිහත් වීම තීරනාත්මක සාධකයත් බවත් යලි වතාවක් පැහැදිලි කරගන්න ඉවහල් වේවි කියලා මම කල්පනා කරනවා. අද අප අත පවතින චිරන්තන සිංහල සාහිත්‍ය කෘති සියල්ල ම මෙවැනි දුෂ්කර ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵලයි. ඒවායේ ඒ ඒ සංස්කාරකගේ ශ්‍රමයේ ලකුන ස්ථිරසාර ව පවතිනවාය කියා කියන්නේ ඒ නිසයි.

මේ උපුටනය කියවන්න -

“ධම්පියා අටුවා ගැටපදය” පිළිබද පිළිවෙල කථාව ඉතා රුචි වඩවයි.
රජයේ සිංහල ශබ්ද කෝෂය රචනා කිරීම ආරම්භ වූ කාලයේ ඒ සඳහා පුරාණ සිංහල සාහිත්‍ය ග්‍රන්ථවලින් වචන උපුටාගත යුතු විය.
එහෙත් එහි දී පෙනී ගියේ ඒ ග්‍රන්ථ කාලාන්තරයක් අතින් අතට ලියැවී ඒමේ දී ඒවාට බොහෝ දූෂිත පද ඇතුළු වී ඇති බව යි.
එහෙයින් ඒ ඇතැම් පොත් පළමු ව මනා ලෙස ශුද්ධ කොට පළ කළ යුතු යැයි විද්වත්හු තීරණය කළෝ ය.
සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන සංස්කාරක ධුරය දැරූ මහා පණ්ඩිත ශ්‍රීමත් ඩී. බී. ජයතිලකතුමන් “ධම්පියා අටුවා ගැටපදය”, “සිඛවළඳ හා විනිස”, “සද්ධර්මරත්නාවලිය”, හා බුදුගුණ අලංකාරය” යන පොත් මහත් වැරවෑයමින් ශුද්ධ කොට පළ කළේ මේ තීරණයේ ප්‍රතිඵල වසයෙනි.
තවත් පොත් ජයතිලකයන්ගේ ගුරුදේව රත්මලානේ ශ්‍රී ධර්මාරාම මාහිමියන් විසින් ශුද්ධ කොට පළ කොට තිබිණ.
මේ අතර තම තරුණ වියේ දී සිංහල ශබ්ද කෝෂයේ සේවයට බැඳුණු අපගේ සදාදරණීය ගුරුදේව මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චිතුමන්ගේ ආශාවත් ප්‍රයත්නයත් “ධම්පියා අටුවා ගැටපදය” නිරවශේෂයෙන් හැදෑරීම කෙරෙහි යොමු විය.
ජයතිලක සංස්කරණය හැදෑරීමේ දී හෙට්ටිආරච්චිතුමන්ට වැදගත් කරුණක් පසක් විය.
ඒ කරුණ නම් “ධම්පියා අටුවා ගැටපදයෙහි” විවිධ භාෂා ප්‍රස්තර පවත්නා බව යි. එනම්, ඊට පෙර යුගයට ද ඉන් පසු යුගවලට ද අයත් භාෂා ප්‍රයෝග ධම්පියා අටුවා ගැටපදයේ රැඳී පවතින බව ය.
එතැන් පටන් ඉතා දීර්ඝ කාලයක් තිස්සේ උදෑසන වත්තල හැඳල සිට මුල් කාලයේ ශබ්ද කෝෂ කාර්යාලයේත් ඊට පසු කොළඹ පැවති ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේත් සේවයට පැමිණෙන හෙට්ටිආරච්චිතුමාණෝ බොහෝ දෙනා නො කරන දෙයක් කළහ.
ඒ දෙය නම් බොරැල්ලේ ගෝතමී විහාරයට ගොස් එහි අධිපති තෙල්වත්තේ අමරවංස පඬි හිමියන් වෙතින් “ධම්පියා අටුවා ගැටපදය” ඉගෙනීම ය.
ඊට පසු එතුමාණෝ “ධම්පියා අටුවා ගැටපදය” තව දුරටත් ශුද්ධ කිරීමේ යෝධ කර්තව්‍යයට අත ගැසූහ. ශ්‍රී ලංකාවේ නොයෙක් දිශාවලින් එහි පුස්කොළ පිටපත් රැස් කරගැනිණ. ඒවායේ ආ පද එකිනෙක සංසන්දනය කෙරිණ. දූෂිත පද බැහැර කෙරිණ. ශුද්ධ පෙළ පෑදිණ. එවිට එය මුද්‍රණයෙන් පළ කෙරිණ.
මේ කටයුත්ත සම්පූර්ණ කිරීමට හෙට්ටිආරච්චිතුමන්ට අවුරුදු හතලිහකට ද වඩා ගත විය.”
- සුචරිත ගම්ලත් - 2008 ජූලි 27, ඉරුදින පුවත්පතේ 19 වැනි පිටේ “සතිසංචින්තා” ලිපියෙන්.

ආපහු ජාතක පොතට එමු.

ICTA ආයතනයේ වෙබ් අඩෙවියට යොදාගෙන තියෙන්නෙ ජාතක පොතේ අලුත් සංස්කරනයක් ද කියන එක පැහැදිලි නැහැ. එයට පදනම් කරගත්තේ කවර පතපොත දැයි සඳහන් කරත් නැහැ. ඒ වෙනුවට (අඳෝමැයි!) එහි ප්‍රතිරූපය අයිතිය නම් කිසියම් පුද්ගලික ආයතනයකට පවරා ගෙන තිබෙනවා! මෙය ජාතක පොත සම්බන්ධයෙන් මෙතෙක් සිංහල භාශා හා සාහිත්‍ය අධ්‍යයන ක්ශේත්‍රයේ සිදු වුනු කටයුතුවලට අසම්බද්ධිත අවජාතක සංස්කරනයක් සේ සැලකීමට එයින් අපට අනුබල ලැබෙනවා. එය යම් කිසි සංස්කරනයකින් සොරාගත්තක් වුවත් එය ද හරි හැටි නිවැරදි ව සොරාගන්න අසමත් වීම නිසාත් සෝදුපත් නොබැලීම නිසාත් කෘතිය වඩවඩාත් “මුල් ස්වරූපයට” සමීප වනවා වෙනුවට විකෘත වී “ජාතක පොතෙන්” දුරස්ථ වී ගොසින්.

ඉතින් මේ කරල තියෙන්නෙ සේවයක් නෙවෙයි ද?


දැන් කෙනෙක් මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුලුවන්(ලිපි අංක 1 ට ලැබුනු ප්‍රතිචාර බලන්න) : ඉතින් දැන් මේ විදිහට හරි මේ පොත අන්තර්ජාලයට ගෙන ඒම සේවයක් නෙමෙයි ද? ඒක ඇයි ඔය විවේචනය කරන අය කරන්නෙ නැත්තෙ? නිකං විවේචනය කරකර ඉන්න එකට වඩා හොඳ නැද්ද මේ විදිහට මේක කරපු එක?

ඒ ගැන දෙන්න තියෙන පිලිතුරු කෙටියි. මගේ පිලිතුර මේ කරලා තියෙන්නෙ සේවයක් නෙමෙයි, හානියක්. සාහිත්‍ය දූශනයක්. ඒ වගේ ම කිසියම් සංස්කාරකවරයකු පරිශ්‍රම දරා නිමැවූ කෘතියක් සොරකම් කොට දූශනය කිරීමක්. ඒ ඇයි කියන එක තමයි මේ තරම් පැහැදිලි කලේ. විවේචකයින් මොනවද කරලා තියෙන්නෙ? : මේ විවේචනය ලියපු මම (වෙනත් විවේචකයින් ගැන කතා කරන්න මම දන්නෙ නැහැ) ඒ වැඩේ මගේ ශක්ති ප්‍රමානයෙන් කරමින් ඉන්නවා, වෙනත් පුරාන පොත්පත් කීපයක් සම්බන්ධයෙන්. පුරාතන පතපොත අන්තර්ජාලයට සංස්කරනය කිරීම් වස් කාලයත් ශ්‍රමයත් ධනයත් කැප කරන කෙනෙක් හැටියට තමයි මම මේ පිලිතුර ලිව්වේ! වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගහන්න ඉදිරිපත් වුනා නෙමෙයි මම! ඒ ගැන මෙතන නාගසලම් වයන්නත් ගෝසා කරන්නත් තාම කාලය ඇවිත් නැහැ. ඒවා මේ ICTA ජාතක පොත් මගඩිය වගේ එක රැයින් පහල වෙන දේත් නෙමෙයි. නමුත් ජාතක පොත කියන්නෙ මහ දැවැන්ත කෘතියක්. ඒක කරන්න තරම් දැනුමක් මට නැහැ. ඒ ගැන ප්‍රමානවත් පරිදි හදාරපු, දැනුමක් සහිත සහ ප්‍රමානවත් කාලයක් ඒ සඳහා යොදවපු කෙනෙක්/පිරිසක් තමයි ඒ කාර්යයේ නිරත වෙන්න ඕන. අනික විවේචනයක් කරන කෙනා ඒ විවේචනයට ලක් වන වැඩේ ම හරියට කරලා පෙන්වන්න ඕනෑ ය කියලා නියමයක් තියෙනවද? නැහැ නේ? එහෙම නම් කාව්‍ය විචාරකයින් ඊට පෙර කවීන් බවට පත් වෙන්නත් සිනමා විචාරකයින් සිනමාකරුවන් බවට පත් වෙන්නත් වෙනවා. දේශපාලකයින් විවේචනය කරන මාධ්‍යවේදීන් සියල්ලට ම පලමුව හොඳ දේශපාලකයින් වී පෙන්විය යුතුයි!? ඒ දෙක වැඩ දෙකක්. විවේචනයේ දී ඉදිරිපත් කරන කරුනු කාරනා දෙස අවධානය යොමු කිරීම මීට වඩා යහපත්.

ICTA එකේ ජාතක පොත් අඩෙවිය නොකලා නම් හොඳයි කියන එකයි මගේ ස්ථාවරය. මොකද මෙයින් ගත හැකි ප්‍රයෝජන අල්පයි. මේ අඩෙවිය පිලිගත හැකි සංස්කරනයක් නොවන නිසා එය ශාස්ත්‍රීය කටයුත්තක දී, අධ්‍යයනයක දී විමර්ශන මූලාශ්‍රයක් හැටියට පිලිගත හැක්කක් නෙවෙයි. පාසැලක විශ්ව විද්‍යාලයක අධ්‍යයන කටයුතු වල දී මේක දිහා හැරිලා වත් බලන්න පුලුවන් මට්ටමක මේ පෙල ඇත්තේ නැහැ. එය විශ්වසනීය සංස්කරනයක් නෙවෙයි. ඒ වගේ ම එය, ජාතක පොත විශයයෙහි මෙතෙක් අප සතුව පවත්නා සංස්කරන සමූහයටත්, පුස්කොල පොත්වලටත් ඓන්ද්‍රීය සම්බන්ධයක් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නෙ, නැවතත් කියතොත්, මෙයට පදනම් වූ සංස්කරන ක්‍රමවේදය කුමක් ද? මෙය සඳහා පරිශීලනය කල සංස්කරන හෝ මුල් කෘති මොනවා ද? යන්න ගැන පැහැදිලිකමක් නැහැ. මේ පෙල මේ ආකාර ය යි තීන්දු කිරීමට යොදාගත් ක්‍රමවේදය, ඒ කරා පැමිනි මාර්ගය අවිශදයි.

හොඳයි, කල යුතු ව තිබුනේ කුමක් ද?


ක්‍රම දෙකක් තිබුනා. එක්කෝ :

1) ජාතක පොතේ දැනට පවත්නා කිසියම් සංස්කරනයක් අන්තර්ජාලගත කිරීමට අදාල සංස්කාරකවරයාගෙන් හෝ එහි හිමිකම් හා ප්‍රකාශන වගකීම් දරන්නවුන්ගෙන් අවසර ලබා ගැනීම.
ඉන් අනතුරු ව එක්කෝ එකී සංස්කාරකවරයාගේ ම, නැතහොත් වෙනත් එවැනි විශාරදයකුගේ අධික්ශනය යටතේ, එම පෙල සකස් කොට, සූදානම් කොට, සෝදු පත් බලවා ගත හැකි ව තිබුනා. ඒ වගේ ම අධ්‍යයනය කරන්නන්ගේ පහසුව තකා ගැටපද විවරනයක් ද සකසා ගත හැකි ව තිබුනා.

නැතිනම් :

2) අලුතින් අන්තර්ජාලය සඳහා ශෝධිත පෙලක් සංස්කරනය කිරීම් වස් විද්වත් මන්ඩලයකට ඇරැයුම් කිරීම. (මෙහි දී විද්වත් මන්ඩලයක් යන්නෙන් අදහස් වෙන්නේ පරිගනක තාක්ශනඥයින් හෝ ICTA ආයතනය සමග අනුබද්ධ ව්‍යාපාරිකයින් නෙමේ. සංස්කරන ක්‍රමවේද ගැන සූක්ශ්ම අවබෝධයක් ද භාශා, සාහිත්‍යය, සාහිත්‍ය ඉතිහාසය ආදී විශයයන්හි ප්‍රවීනතාවක් ද ඇති විශාරදයින්, ග්‍රන්ථ සංස්කාරකවරුන් තමයි මේ මන්ඩලයට ඇතුලත් වෙන්න ඕන.) ඉන් පසු මේ සංස්කාරක මන්ඩලයට හෝ සංස්කාරකවරයාට මෙතෙක් පවත්නා මුද්‍රිත සංස්කරනත් හැකි නම් පුස්කොල පිටපත් සැලකිය යුතු ප්‍රමානයකුත් තුලනාත්මක ව අධ්‍යයනය කොට නව සංස්කරනයක් සම්පාදනයට අවශ්‍ය කාලය, ධනය හා විවේකය සලසා දීම. මේක අතිගරු ජනාධිපති උතුමානන්ගේ “සංකල්පයක්” නිසා මේ විදිහට කරන්න බැරිකමක් තියෙන්න විදිහක් නැහැ.

මේ දෙකින් එකක් හරි හැටි ඉටු කරගත් පසු වෙබ් ප්‍රමිතීන් හා වෙබ් අඩෙවි සැකසීම පිලිබඳ හැකියාවක් හා ප්‍රාගුන්‍යයක් ඇති ශිල්පීන්ගේ හා වෙබ් නිර්මානකරුවන්ගේ දායකත්වයෙන් සාර්ථක වෙබ් අඩෙවියක් නිමවාගත හැකි ව තිබුනා.

ඒත් සිදු වුනේ මොකක්ද? අපේ සෑම් මේ සඳහා හොඳ උපමාවක් ඉදිරිපත් කලා : “මටනම් මේ කෙරුවාවල් පේන්නේ හරියට කෘෂිකර්ම දේපාර්තුමෙන්තුව ගොවියාට උදව්කීරීම පසකලා, මාතර බත්කඩේ බත් උයන්න ගත්තා වගේ වැඩක්” ඉන් පසු ජනාධිපතිවරයාගේ පටන් රට ම රවටා මහා ගෝසාවක් නඟා මේ ව්‍යාජ කෘතිය දොරට වැඩැම්මුවා. මගේ විවේචනය මේ ආකාරයෙන් එල්ල වීමට හේතුව ඒකයි.

සමාප්තයි

මීට අදාල අනිත් ලිපි
ICTA ආයතනය ජාතක පොතට කර ඇති හදිය (02)
ICTA ආයතනය ජාතක පොතට කර ඇති හදිය (01)