වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

උගනිව්!

| Comments



අද උපුටනයක්. මට බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් විරචිත සුචරිත ගම්ලත් පරිවර්තනය කළ උගනිව් නමැති පද්‍යය සිහිපත් වුණේ අප රටේ වෙසෙන කීර්තිමත් වයෝවෘද්ධ පඬිරුවනක් වන අනඳපිය කුඩාතිහි සූරීන් දැන් පරිගණක පන්තියකට යමින් සිටින බව කියැවෙන ලංකාදීප ලිපිය දුටු විටයි. අසූ එක්(81) හැවිරිදි කුඩාතිහි සූරීන් සිය ලේඛන කලාවට නව තාක්ෂණයේ පහසුව සලසා ගන්නා අටියෙන් පරිගණක තාක්ෂණය හදාරනවා. මෙය පරිගණක තාක්ෂණයේ මේ සා වර්ධනයන් තිබිය දීත් තව මත් පසුගාමී ව මුළුගැන්වී සිටින අපේ බොහෝ දෙනාට කියා දෙන්නේ කුමක් දැයි බලන්න.

අනඳපිය කුඩාතිහි හෙළ හවුලේ වත්මන් නායකයා. ප්‍රවීණතම මාධ්‍යවේදියෙක්. එසේ ම භාෂා ව්‍යවහාරයට අදාළ අධිකාරසම්පන්න කෘතියක් වන න ණ ල ළ වහර සහ තවත් බොහෝ පත පොත ඔහු විසින් රචිතයි. එතුමන්ගේ පරිවර්තන අතර ඩී. එච් ලෝරන්ස්ගේ Love Among the Heystacks (පිදුරු පාවරේ යොවුන් ආදරේ) සහ රබින්ද්‍රනාථ ඨාකුරයන්ගේ Broken Ties (බිඳුණු බැඳුම්) යන අගනා පොත් ද තිබෙනවා.

සිය පරිගණක අධ්‍යාපනය ගැන කුඩාතිහි සූරීන්ගෙන් ම වචන කිහිපයක් උපුටා දැක්වීම උචිත යි:
“මට යතුරු ලියන දෙකක් තියෙනවා. මම ලියපු හැම පොතක් ම මේ යතුරු ලියනවලින් ටයිප් කරපුවා. තාමත් මම පත්තර කන්තෝරුවලට ලිපි යවන්නේ ටයිප් කරලා. යතුරු ලියනයෙන් ටයිප් කරන්න වැඩි වෙලාවක් ගත වන නිසා මට හිතුණා පරිගණකය භාවිතා කරන්න පුරුදු වෙන්න. අලුත් ලෝකයට ගැලපෙන විදිහට නිර්මාණ කරන්නත්, ලේඛන කටයුතු මීට වඩා වේගවත් ව නිර්මාණශීලීවත් කිරීමට බලාපොරොත්තුවෙනුයි මා පරිගණක පාඨමාලාව හදාරන්න ගියේ…

“යතුරු ලියනයෙන් ටයිප් කරනකොට වැරැදි වුණොත් ඒක ටිපෙක්ස් ගාලා මකන්න ඕනෑ. පරිගණකයේ එහෙම නැහැ. වචනයක් වැරදුණොත්, ඒ වචනය වෙනුවට අලුත් යමක් එකතු කරන්න ඔන වුණොත් එක යතුරක් (ඇණයක්) භාවිතා කරලා එම නිවැරදි කිරීම කර ගත හැකියි. පරිගණකය භාවිතා කරන්නාට වැරදුණා කියා හිතන්න වත් බැහැ. ඒ වගේ මයි කොම්පියුටරයේ වැඩ වේගවත්. මා හිතනවා තව මාස තුනකින් විතර මට මේ නව තාක්ෂණික භාවිතයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි කියලා…

“අපි පරණ මිනිස්සු, අපට ඉතින් නව පන්නෙට හැඩ ගැහෙන්න බෑනේ කියලා මා කවදාවත් හිතන් නෑ. පැරණි වැව් අමුණු, පැරණි ගොඩනැගිලි වුණත් ප්‍රතිසංස්කරණය කළාම තව කල් තියාගන්න පුළුවන්.

“ඒ වගේ ම තමයි අපේ මොළෙත්. වැඩ ගන්න, වැඩ ගන්න තමයි අලුත් දේ හොයන්න පුළුවන් වෙන්නේ. අලුත් දේ කරන්න පුළුවන් වෙන්නේ.”

“…තව මාස තුනකින් මම මේ නව දැනුම භාවිතා කරලා අලුත් දෙයක් කරනවා. ඒ දේ මට කරන්න පුළුවන්.”

- අනඳපිය කුඩාතිහි, ඉරිදා ලංකාදීප 2007 ජූලි 8, 5 වැනි පිටුව. සාකච්ඡාව සම්පාදනය අසුන්තා එදිරිසූරිය
උගනිව්!

සරල ම දේ උගනිව්
තොපගේ යුගය එළඹ ඇත
උගැනුමට පමා නැත!

උගනිව් අයනු ආයනු
ඒ මදි බව සැබැවි
එහෙත් උගනිව්
හෝඩිය!

අධෛර්යවත් නො වව්
දියත් කරව් නැණ නැව
කරව් තරණය
විදු සයුර අපරිමිත
උදුරා ගනිව් නායකත්වය.

අනාථය, හදාරව
අනාථාගාරයෙහි!
සිරකරුව, හදාරව
බන්ධනාගාරයෙහි!
ගෘහණියනි, හදාරව
කුස්සියෙහි!
හැට පිරුණත් හදාරව!

ඉහට වහලක් නැතත්
සොයා යව් විදුහල!
ගත වෙවුලත සීතලෙන්
මොලවවු ඥාන අග්නිය
සා පිපාසා පහරත
ගනිව් පොත සුරතට -
එයයි තොප ආයුධය
උදුරා ගනිව් නායකත්වය

නොබා විමසවු සොයුරනි!
නො විකිණෙව් උන්ට,
බලා තමා දෙස
නො දත් බව දැන ගනිව්.
හොය හොයා නොදත් දේ
රැස් කරව් ඥාන ධන
උදුරා ගනිව්
නායකත්වය.

රචනය - බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්
පරිවර්තනය - සුචරිත ගම්ලත්
උපුටා ගැනුණේ 1995 එස්. ගොඩගේ සහ සහෝදරයින් විසින් ප්‍රකාශිත සාහිත්‍ය කලා ආදිය ගැන නමැති කෘති‍යේ 9 වැනි පිටුවෙන්.