වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

AWA Show - Association of Women Artists

| Comments

මම කලින් සටහනක සඳහන් කළ ප්‍රදර්ශනයට අන්තිම මොහොතේ දී, ඊයේ යන්න ඉඩ ලැබුණා. එය එම ප්‍රදර්ශනයේ අවසන් දිනය යි. විභවි ලලිත කලා ඇකඩමිය ආශ්‍රිත ව ගොඩනංවනු ලැබූ ස්ත්‍රී කලාකාරියන්ගේ සංවිධානය නොහොත් Association of Women Artists විසින් පවත්වන්නට යෙදුණු මේ ප්‍රදර්ශනයට සිතුවම්, ස්ථාපන, ඡායාරූප සහ මූර්ති ද ඇතුළත් වුණා.

ප්‍රදර්ශනය අභිරක්ෂණය කර තිබූ අන්දම ගැන සෑහීමකට පත් වෙන්න අමාරු වුණත් බලසම්පන්න කෘති ගණනාවක් ම එහි දක්නට ලැබීම සතුටක්. විශේෂයෙන් ම මූර්ති ප්‍රදර්ශනය කර තිබූ විලාසය රසිකයින්ගේ සිත් පැහැරගැනීමට සමත් වෙන්නේ නෑ. එය බාධාකාරී, නැතහොත් ඇතැම් කෘති මග හැරී යන සුළු පවා ආකාරයකට, ප්‍රදර්ශනයට “අසම්බන්ධිත” සේ පවා සිතෙන විදිහට තමයි ඉදිරිපත් කර තිබුණේ. ඒ කෙසේ වෙතත් එම මූර්ති භාවමය ගුණයෙන් සහ වයනීය ශක්‍යතාවන්ගෙන් පොහොසත්. පද්මා රාජපක්ෂ සිතුවම් පෙළක් සමග මේ මූර්ති ද ඉදිරිපත් කර තිබුණා. සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ 70 දශකයේ පරම්පරාවේ සාමාජික්වක වන ඇගේ මූර්ති සහ චිත්ර, පවුල තේමා ව කරගනිමින් නිපදවූ ඒවා. බොහෝ සෙයින් ස්ත්රී රූපය ඇගේ කෘතිවල ප්රමුඛත්වයට පත් වෙනවා. “බිඳුණු කලයක් ගැහැණියක විය” සහ “පවුල” වැනි මූර්ති ඒ අතර බලවත් අන්දමින් මගේ සිත් පැ හැ ර ගත්තා. ඒ වගේ ම සොබා දහම සහ තරුණ මව දක්වෙන සිතුවම සංරචනය අතින් සේ ම ප්‍රකාශනාත්මක වර්ණ යෝජනය අතින් ද කැපී පෙනෙන කෘතියක්.

පවුල, සිමෙන්ති මූර්තියක්, පද්මා රාජපක්ෂ

දීපිකා වැලිකලගේ සිතුවම්වලටත් විෂය වෙන්නේ ස්ත්‍රිය. ඒත් ඒ වෙන ම ම පැතිකඩකින්. ඇය නිර්මාණය කර ඇති නිසල රූ සංකේතාර්ථ කිහිපයක් ගැබ් කරගත් “කාව්‍යමය” අර්ථකථන දරා සිටින නිර්මාණ කියලයි මට හිතෙන්නේ. එක ම භාජනය, මල් වාස් එක සෑම සිතුවමක ම පුනර්කරණය වන අතර විවිධාකාර සංකේතාර්ථ දනවන අවශේෂ වස්තු ඒ වටා ස්ථානගත කෙරෙනවා. ලේන්සුවක්, සුදු ළුෑණු ආදී වසයෙන්.

සමීරා මකාන් මාකර් පින්තාරු කරන්නේ විපර්යාසයට පත් වෙමින් තිබෙන අපේ නාගරික භූ දර්ශනය. කසා වන් දුහුවිලි පැහැයක තාන ඇගේ සෑම සිත්තමක් ම අරාගෙන ඉන්නවා. කිසිදු සැලසුමකින් තොර ව අයාලේ විපර්යාසයට පත් වෙන කොළඹ නගරයේ අහස් රේඛාව ජීවිත කාලයක් තිස්සේ නිරීක්ෂණය කළ සමීරා ඒ හා සබැදී චිත්තවේග මේ සිතුවම්වල ගැබ් කළ බව පවසනවා.

නොයෙලින් ප්‍රනාන්දු සුපුරුදු පරිදි මානව රූප ආශ්‍රිත සංරචනා ඉදිරිපත් කළා. ක්රිස්ටීන් රූත්ගෙන් එක් ආලේඛ සිතුවමක් ඇතුළත් ව තිබුණා.

බොහෝ විට එදිනෙදා ජීවිතයට සම්බන්ධ අවකාශයන්, පුද්ගලික අනුභූතීන් සහ ස්මරණයන් ඡායාරූපයට නගන මැණිකා වැන්ඩර්පූටන් මෙවර ඉදිරිපත් කර තිබූ ඡායාරූප පෙළට ඉතා සිත්ගන්නා සන් ප්‍රින්ට්ස් වසයෙන් හැඳින්වෙන තාක්ෂණයෙන් මුද්‍රණය කෙරුණු කෘති ද ඇතුළත් වුණා. ඉන් එකක් නම් කොට තිබුණේ “සෙල්ලම් බඩු පෙට්ටිය” ලෙසයි. ඒ සෙල්ලම් බඩු පෙට්ටිය තුළ සෙල්ලම් අශ්වයින් සේ ම පිස්තෝල කඩු-කිණිසි ද තිබුණා!

සජීවනී හේවාවිතාරණගේ කෘති පෙළ ගැන මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු යි. ඇය ප්‍රවේසම් සහගත ව සහ විස්තරාත්මක ව (detailed) “ඉදි කරන” දෘශ්‍ය අවකාශ මේසය, ආහාර, හා වෙනත් දෛනික ජීවිතයේ වස්තූන්ගෙන් සමන්විත යි. ඇගේ නිර්මාණ හුදු නිසල රූ සිතුවම්කරණයෙන් ඔබ්බට ගිය කෘති. මේසය තේමා කරගත් කෘති පෙළ අර්ථකථන මාලාවක භව්‍යතා රසිකයාට විවර කරනවා. එක් අතකින් ස්ත්‍රිය සහ “ගෘහ ජීවිතය” පිළිබඳ ධ්වනිතාර්ථ රැගෙන එන, එම්බ්රොයිඩරි වැඩ, කෑම පිසීම හා අලංකරණය පිළිබඳ කතාවක් කියාපාන මේ කෘති තවත් අතකින් ඉඟි කරන්නේ ඉහවහා ගිය “අලංකාරයකින්” හෙබි කෘතිම ආහාර සංස්කෘතිය වෙතට. විශේෂයෙන් ඇය ඉදිරිපත් කරන ස්ථාපනය මේ දෙවන වර්ගයේ ධ්වනියක් ජනිත කරනවා. එම ආහාර අනුභව කළ නොහෙන තරම් මෝස්තරකාරීයි, ජේත්තුකාරීයි. ප්ලාස්ටික්රූපීයි. ඉතා ප්‍රබල කෘති මාලාවක්!

ඉනෝකා ද සිල්වා ගේ ස්ථාපනයෙන් කොටසක්

ඉනෝකා ද සිල්වාගේ ස්ථාපනය රසිකයා හමුවට ගෙන එන්නේ දශක ගණනාවක් තිස්සේ මෙරට ජනතාව පෙළමින් තවදුරටත් ඇදී යමින් තිබෙන වර්ගවාදී යුද්ධය විසින් ජන ජීවිතය තුළ නිර්මාණය කොට තිබෙන එක්තරා “ජීවන විලාසයක්”. සැකයෙන් බියෙන්, කොයි මොහොතක හෝ බෝම්බ පිපිරීමක්, වෙඩි තැබීමක්, ජන ඝාතනයක් සිදු වේ දැයි විපරමින් සැඟවී සිටීම ඇබ්බැහි කරවූ සමාජයක් මේක. ඉදිරියේ දී උපදින්න ඉන්න පරපුරටත් එසේ ම සැඟව සිටීමට සිදු වේ දැයි ඉනෝකාගේ ස්ථාපනය ප්‍රශ්න කරනවා. මේ කාර්යය සඳහා ඇය උපයෝගී කරගන්නා දෘශ්‍ය භාෂාව ඉතා බලසම්පන්න බව මගේ හැඟීමයි. විශාල සංඛ්‍යාවක් බිත්තර කැම‍ෆ්ලාජ් කර (සැඟවීම පිණිස වර්ණ ගන්වා) සුදු කැන්වසයකට සවි කොට තිබුණා. මේ බිත්තර සැබෑ බිත්තර වගේ පෙනුණට ඒවා හදලා තිබුණේ පත්තර කඩදාසි වලින්. ඒ පත්තර මෑත ඉතිහාසයේ සිදු වුණු විවිධ ව්‍ය‍සනකාරී සිද්ධීන්, බෝම්බ ප්‍රහාර ආදිය පිළිබඳ පළ වූ වාර්තා රැගත් පිටු මිස වෙන කිසිවක් නෙමෙයි.

අවාසනාවකට, මේ සිත්ගන්නාසුළු ප්‍රදර්ශනය ඒ තරම් රසික සහභාගීත්වයක් තිබුණු එකක් නෙමෙයි. එය පැවැත්වුණේ දවස් දෙකක් වැනි කෙටි කාලයක් තුළ වීම සහ ලයනල් වෙන්ඩ්ට් කලාගාරය අසල මාර්ගයට පිවිසීමට පෙර නො වූ විරූ දුෂ්කරතා ඇති කොට තිබීම තමයි ඊට ප්‍රධානතම හේතුව.

මේ කලා කෘති සමහරක ඡායාරූප විභවි ඇකඩමියේ වෙබ් අ‍ෙඩවියේ දී දැකගත හැකියි