වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

සිංහල වල් කතා

| Comments

“සිංහල වල් කතා” යනු මේ බ්ලොග් අඩෙවියට පිවිසෙනු පිනිස සැලකිය යුතු සෙනගක් භාවිත කර ඇති සෙවුම් යෙදුමක් (search term) බව දැකගන්න ලැබුනා! ඒත් එවැන්නක් හොයන අයට සරිලන යමක් මෙහි නොතිබීම අඩුවක්.

ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යාංශය පසුගිය දා නියම සපන්කමක් කර ඇති බව පුවත්පත් වාර්තා කලා. මෙතෙක් වල් අලි වසයෙන් අප දැන සිටි සත්ව කොට්ඨාසයේ නම එම අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් වන අලි බවට පරිවර්තනය කර තිබෙනවා. මේ අනුව මින් මතු වඩාත් “උචිත”  අරුතක් (ශෝක් ගතියක්?) දනවනු පිනිස වන අලි යන නම ව්‍යවහාර කල යුතු බවට නිර්දේශිත යි. ඊයේ ලංකාදීප පුවත්පත පරිශ්‍රම දරා, අත-කට හදාගෙන “වන අලි” පිලිබඳ පුවතක් ලියා පල කොට තිබෙනු ද දකින්න ලැබුනා. ඔවුන් කොහොමත් මෙවැනි බස් විස්කම් ජනයා අතරට ගෙනියන්න සැදී පැහැදී ඉන්න පිරිසක් නොවැ. මෑතක සිට ජනතාව “දැනුම්වත්” කරන්නත් ලංකාදීපය පෙරට එන්නේ මොන තරම් වැරවෑයමින් ද?

“වල් අලි” යන්නට වඩා “වන අලි” යන පදයේ ඇති නිවැරදි බව කුමක් දැයි මට නම් වැටහෙන්නේ නැහැ. වලෙහි වෙසෙන අලි වල් අලි බව බොහෝ කලකට පෙර සිංහල ගුරුතුමා ඉගැන්වූ බව මතක යි. වල යනු වනය යි, කැලෑව යි. වල් වැදීම, වල් අලි, වල් බල්ලෝ, වල් හරක් ආදී වසයෙන් මේ පදය බොහෝ ආකාරවලින් ජන වහරේත් පවතිනවා. ඉතින් වල් අලි යන පදය ඒ හා සමාන තේරුමක් ම දෙන, එහෙත් ව්‍යවහාරයේ නොපවතින, නුහුරු “වන අලි” බවට මාරු කිරීමෙන් අපේක්ශා කරන්නේ කුමක් ද? වල් අලින්ගේ වාසභූමි ආක්‍රමනය කරන, ගස් කපන කැලෑ එලි කරන බලවතුනුත්, වල් අලි ආක්‍රමනයෙන් බැට කන ගැමියනුත් යන මේ සියලු දෙනා මින් මතු අලියා එනු දකින විට ‘වන අලියා එනවෝ!’ කියා පැන දුවාවිද? මේ නව චාරිත්‍රය පෙරට ගෙන යමින් ඉංගිරිසියෙහි එන wild life ආදී පදත් සංශෝධනය කොට ‘වල් ගතිය අරින්නත්’ මේ මහතුන් පියවර ගනු ඇතැයි අපි අපේක්ශා කල යුතු ද?

“වල්? කවුද යකෝ වල්?”
මේ ගැන කතා කරන විට මගේ මිතුරකු පැවසුවේ අර “වල්! වල්!” කියමින් කුඹුරක වල් උදුරන ලලනාවක් සහිත වල් නාශක වෙලඳ දැන්වීම මේ වෙනසට මගපෑදී දැයි සැකයක් පවතින බව යි. ‘වල්’ යන පදයේ ඇති විවිධාර්ථ දනවන ගුනයක් නිර්මානාත්මක ව භාවිත කරමින් සාදා තිබූ එම දැන්වීම මගේ සිංහල ගුරුතුමා එවක දුන් නිදසුන් කීපයක් සිහිගන්වනවා. උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය උගන්වනු පිනිස ඔහු නිතරම දුන්නේ සදා මතකයේ රැඳෙන නිදසුන්.

1. මන්ත්‍රීවරු බෝල ගසති
2. (කර්මකාරක ස්වරූපය) මන්ත්‍රීවරුන් විසින් බෝල ගැසෙයි
3. ඇමතිවරු වල් වැඩ කරති
4. (කර්මකාරක වාක්‍යය) ඇමතිවරුන් විසින් වල් වැඩ කෙරෙයි

ඒත් මේ වල්, “ඒ වල්” නෙමෙයි නේ?

වල් අලි පිලිබඳ ප්‍රශ්නය දැවැන්ත පරිමානයෙන් ඉස්මතු ව ගම්බිම් පෙලන ව්‍යසනයක් බවටත් පෙරලා අලි ගහනයේ ම විනාශයට මගපාදන්නක් බවටත් පත් ව තිබෙන බව රහසක් නෙමෙයි. මහා ඛේදවාදකයක්. මේ ව්‍යසනය කලමනාකරනය හා නියාමනය පිනිස පිහිටුවා ඇති ආයතන පද්ධතියේ අසාමර්ථ්‍යය ද ඒ පසුපස සිටින දේශපාලන හා ධන බලය ඇති පාර්ශ්වයන්ගේ කියුම් කෙරුම් ද ඒ තරමට ම සුප්‍රකට යි, කුප්‍රකට යි. මෙවැනි සන්දර්භයක් තුල වල් අලියා වන අලියා කිරීම, ‘නමෝ නමෝ මාතා’ ගීය රටට අසුබ-අපල නිසා ‘ශ්‍රී ලංකා මාතා’ බවට විකෘත කලා වැනි ම ‘බුද්ධිමත්’ ක්‍රියාවක් වසයෙන් ඉතිහාසයට එක් වනු නිසැක යි.