වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

අන්තර්ජාල වාරනයට එරෙහි ව

| Comments

“සදාචාරය” රැක්මේ මුවාවෙන් ශ්‍රී ලංකාවේ ආන්ඩුව නැවතත් අන්තර්ජාලය වාරනය කිරීමට පිඹුරුපත් සකසමින් සිටිනවා. මෙය ක්‍රමානුකූල ව අන්තර්ජාලය තුල සන්නිවේදන නිදහස බැඳ දැමීමට ගන්නා තවත් පියවරක් බවට සැකයක් නැහැ. මේ වාරනයේ අන්තරාය බොහෝ දුරදිග යන්නක්. අසභ්‍ය මොනවා දැයි තීරනය කිරීමේ අරුමපුදුම ව්‍යායාමය කෙබඳු එකක් වේ දැයි තවම හිතා ගන්න අමාරු වුනත් ඇතැම් බ්ලොග් අඩෙවි මේ ගැන මනා හාසකානුකරනයක් සම්පාදනය කර තිබුනා. ඊනියා අසභ්‍ය අන්තර්ගතය වාරනය කිරීමට නම් බුරුතු පිටින් වෙබ් අඩෙවි අවහිර කරන්න වෙනවා. ඒ වගේ ම ටොරන්ට් අඩෙවිවලට පිවිසීම ද අත්හිටුවන්න වේවි. ඇයි එතකොට බ්ලොග්? යූටියුබ් වැනි වීඩියෝ අඩෙවි? ඊමේල් මගින් “අසැබි දෑ” හුවමාරු වීමට වැට බඳින්නේ කෙසේ ද? කෙලවර කොතැනද?

විරුද්ධ හා විවේචනාත්මක අදහස් දරන වෙබ් අඩෙවි ද වාරනයට ලක් කිරීමට පසුබට නොවන බවට ටැමිල්නෙට් වෙබ් අඩෙවිය වාරනය මගින් මෙරට පාලක පන්තිය දැනට මත් පූර්වාදර්ශයක් දී තිබෙනවා. මේ සියල්ල එකට ගෙන බලන විට ඇඳී යන චිත්‍රය සුබදායක නැහැ.

ඒ අතර හාස්‍යය ද උපදවන තවත් ආරංචියක් තියෙනවා : ආන්ඩුව මුදල් ගෙවීමේ පදනම මත “සදාචාරයේ” සිදුරක් හදන්න සලකා බලමින් ඉන්න බව වාර්තා වෙනවා. ඒ කියන්නෙ, අවහිර කරනු ලැබූ කාමලේඛ(pornographic) වෙබ් අඩෙවිවලට අවශ්‍ය නම් මුදල් ගෙවා පිවිසුම ලබා ගන්න ඉඩ සලසන්න යන බවයි ආරංචිය. අපේ රටේ රාජ්‍ය යන්ත්‍රය වාරනයට වගේ ම කාමලේඛ වෙලඳාමටත් (pornography business) අවතීර්න වෙන්නද යන්නේ? :D කාටද ආඩම්බර!

කෙසේ වෙතත් සිංහලෙන් FOSS වෙබ් අඩෙවිය පෙන්වා දුන් පරිදි බාලවයස්කාරයින්ගේ “ආරක්ශාව” සඳහා මෙහි සම්පූර්න අනිත් පැත්ත ක්‍රියාත්මක කල හැකියි. දරුවන් සිටින දෙමාපියන්ට, බාලවයස්කාරයින් සැරිසරන අන්තර්ජාල අවකාශය සීමා කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සේවා සපයන්නන් වෙතින් සීමා පනවන ලද පැකේජ ලබාගැනීමේ අවස්ථාව විවෘත කිරීම මනෝඥ බව පේනවා. එසේත් නැති නම් අවශ්‍ය අයට ගෘහස්ත හෝ ආයතනික මට්ටමින් පෙරහනක් ස්ථාපනය කරගන්න පුලුවන්. ඒක ඒ ඒ අයගේ පුද්ගලික තීන්දුව විය යුතුයි! දැනටත් පාසැල් සඳහා එලා ඇති schoolnet තුල මෙවැනි සීමා පවතිනවා. ඒ වෙනුවට එහි අනිත් පැත්ත, එනම් මුලු මහත් ජාලය ම අවහිර කිරීම සැබැවින් ම වෙනත් දුර්දාන්ත අපේක්ශා ඉටු කරගැනීම්වස් එලූ සැලසුමක් බව පැහැදිලියි.

විරෝධය
මේ වාරන යෝජනාවට තැන් ගනනාවක ම විරෝධය පල කෙරෙනු දක්නට ලැබුනා. දැන් Facebook අඩෙවිය තුල මේ පිලිබඳ අවධානය යොමු කරන හඬ නඟන පිරිසක් සංවිධානය වෙමින් ඉන්නවා. ශ්‍රී ලංකාවේ සිව් වැනියට වඩාත් ම ජනප්‍රිය - වඩාත් ම භාවිත කරන වෙබ් අඩෙවිය වන Facebook මත මෙවැනි සංවිධානය වීමක් හටගැන්ම ඉතා වැදගත් බවයි මගේ හැඟීම. පුලුල් ශ්‍රාවකත්වයක් කරා මේ පනිවිඩය ගෙන යාමට හැකියාවක් ඉන් විවෘත වෙනවා.

ඔබත් බැඳෙන්න. ඔබ දන්නා හඳුනන අයටත් කියන්න. මේ විරෝධතා රූපය ඔබේ අඩෙවියේත් පල කරන්න. පනිවිඩය අතිනත යවන්න :

No to internet censorship in Sri Lnanka.

No Internet Censorship

ඒ වගේ ම ඔබට හැකි සෑම තැනක ම මේ පිලිබඳව විවෘතව ලිවීම හා සාකච්ඡා කිරීම ද වැදගත්.

මේ ගැටලුව පිලිබඳ ලියැවුනු කියැවුනු තවත් තැන්
සිංහලෙන් foss පොඩ් විකාශය
LIRNEasia
The rise of the Nanny State: Sri Lanka to filter pornography on the web
Don’t let them
SL Government to sell porn


.