වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

චන්ද්‍රගුප්ත තේනුවරගෙන් නව-බැරල්වාදය

| Comments

චන්ද්‍රගුප්ත තේනුවරගේ නවතම දෘශ්‍ය කලා ප්‍රදර්ශනය, නව බැරල්වාදය හෙට එනම් ජූලි 26 වැනි දා සවස කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී ආරම්භ වන අතර 27 හා 28 යන දෙදින පුරා විවෘත ව පවතිනවා.



මේ ප්‍රදර්ශනය තේනුවරගේ අග්‍රගණ්‍ය තේමාවේ එනම් බැරල්වාදයේ පුනරාගමනයක් සනිටුහන් කරනවා. බැරල් යනු මෙරට දෘශ්‍ය කලා ක්ෂේත්‍රයට එක් වූ බලවත් ම සහ සිත් කාවදිනසුළු නිර්මාණයන්ගෙන් එකක් බව මගේ අදහස යි. මුලින් ම බැරල් කලා කෘතියක් ප්‍රදර්ශනය කෙරුණේ හරියට ම මීට වසර දහයකට පෙර. එවක ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණු ජාත්‍යන්තර කලාකරුවන්ගේ කඳවුරට තේනුවර ඉදිරිපත් කළ කෘති පෙළ බැරල්වාදය ලෙසින් හැඳින්වුණා. බැරලය සඳහා පැවති කලාත්මක අර්ථකථනය කුමක් ද?

වාර්ගික යුද්ධයේ ඛේදජනක පලවිපාක ඇඟවුම් කරන බැරල් කෘතිවල මුඛ්‍ය වස්තුව වන්නේ බැරල්. ඒ කියන්නේ තාර බැරල්. මේ බැරල් මුලින් ම ප්‍රයෝජනයට ගැනෙන්නේ මහා මාර්ග ඉදි කිරීමේ දී. මිනිසුන්ගේ නිදහස් සංචලනය හා සන්නිවේදනය සඳහා දොරටු විවර කරමින් මහා මාර්ග ඉදි වුණත් වර්ගවාදී යුද්ධය විසින් පෙරළා එම සංචලනයට බාධා පමුණුවා තිබෙනවා. පාරවල් තනන තාර රැගෙන ආ බැරලය ඒ අනුව පාරවල් අහුරන්න යොදාගෙන. එනයින්, වැලි පිරවූ බැරල්, කැමෆ්ලාෂ් කෙරුණු බැරල් යනු නිදහස, මානව ජීවිතයෙහි පරිපූර්ණත්වය අහුරා සිටින බාධකයක් ලෙසින් අර්ථ සමුදායක් ජනනය කරනවා. උත්ප්රාසවත් කාරණය වන්නේ අද වන විට මේ ප්රදර්ශනය පැවැත්වෙන ස්ථානයත් ඒ අවට ප්‍රදේශයත් ”බැරලයේ ආක්‍රමණයට” ලක් ව තිබීම යි! මෙවර තේනුවර අලුත් ම ආකාරයක බැරිකේඩයක්, බැරල් නො ව දැන් තිබෙන අර ත්‍රිකෝණාකාර රාමු එකතු කර තැනූ “හැඩ වැඩ සහිත” නව බැරියරයේ රූපය, මේ කෘති පෙළ සඳහා යොදාගෙන ඇති බව සැළ යි.

මෙය ප්‍රදර්ශනය පැවැත්වීමට පෙර ලියන සටහනක් නිසා අතීතයේ පැවති බැරල් ප්‍රදර්ශනය හා කලා කෘති ගැන වසර කිහිපයකට පෙර පළ වුණු ලිපියක් උපුටා දක්වන්න මම කැමතියි. කලකට පෙර (2003 දී) මෙය සම්පාදනය කෙරුණේ දෘශ්‍ය කලාවේ මූලිකාංග පිළිබඳ පැහැදිලි කෙරෙන කෘතියක කොටසක් හැටියට. මුල් සන්දර්භයෙන් උදුරාගෙන තිබුණත්, බැරල්වාදී කෘති නැරඹීම සඳහා මෙය මනා ප්‍රවිශ්ටයක් සපයනු ඇතැයි මම කල්පනා කරනවා. කොළඹ විශ්ව විද්‍යාලයීය එෆ්. එම් අභය > යුනිකේත පරිවර්තකයට පින්සිදු වන්නට තත්පර දෙකක් ඇතුළත ලිපිය යුනිකේතකරණය වුණා.

මේ ඒ පැරණි ලිපිය යි :

යුද්ධය හා බැරල්
චන්ද්රගුප්ත තේනුවරගේ බැරල් පිළිබඳ ව ඔබ බොහෝ දෙනෙක් අසා ඇතුවාට සැක නැහැ. සමහර විට ඔබ ඒවා දැකලත් ඇති. මෙය පසුගිය වසර කීපය තිස්සේ ම අතිශයින් විවාදාපන්න මාතෘකාවක් බවට පත් වෙලා තිබුණා. මේ අන්දමේ කෘති ඔහු මුල් වරට ඉදිරිපත් කළේ 1997 වසරේ දී පැවැත්වුණු ජාත්‍යන්තර කලාකරුවන්ගේ කඳවුරේ දී. මට මතක හැටියට ඒ අවුරුද්දේ දී ම මේ කෘති සමහරක් ජාතික කලා භවනේ දීත් මහනුවර අලියොන්ස් ෆ්රොස්සේස් ආයතනයේ දීත් ප්‍රදර්ශනය කෙරුණා. පසු ව වරින් වර විවිධ අවස්ථාවල බැරල්වාදය නමින් හැඳින්වූ කෘති එළිදැක්වුණා. මේ කෘති මාලාව පුරා ම වාගේ යුද හමුදා පරිහරණය සඳහා යොදන වර්ණ ආලේප කර කැමෆ්ලාෂ් කෙරුණු බැරල්, සිතුවම් ආකාරයෙන් හෝ ස්ථාපන ආකාරයෙන් ඇතුළත් වූවා. තේනුවර මේ කෘති ඉදිරිපත් කළේ සිය ‘යුදයථාර්ථවාදය’ නම් කෘති පෙළෙහි දිගුවක් වසයෙනුයි.

මොනවද මේ බැරල්?
මේ කෘතිවල එන බැරල් වෙන මොනවා වත් නෙමෙයි පාරවල්වලට තාර දැමීම සඳහා ගෙන එන තාර බැරල්. පාරවල් තනා ගමනාගමනය දියුණු කිරීමට යොදාගැනුණු බැරල් ම යුද්ධයෙහි විපාකයක් වසයෙන් අපේ ඔබමොබ යාම සීමා කිරීම සඳහා පරිහරණය වෙනවා. ආරක්ෂක මුර කපොලු අබිමුව නැගී සිටින කැමෆ්ලාෂ්කරණය කළ බැරල් ඔහු සිය කලාව තුළට කැඳවූවා. ඇතැම් විටෙක සිතුවමට නඟන ලද බැරල් කඳු/යායවල් හැටියටත් තවත් විටක තනි තනි වස්තූන් හැටියටත් බැරල්, දෘශ්‍ය කලාව තුළට පැමිණියා. තවත් විටෙක සැබෑ බැරලය ම විචිත්‍ර ස්ථාපනයක් ලෙස කලාගාරය තුළට ගෙන ආවා.

මේවා කලාකෘති ද?
මෙය බොහෝ දෙනා මතු කළ ගැටලුවක්. මෙහි දී අපි මඳක් කලා ඉතිහාසය දෙසට හැරී බැලීම වැදගත්. නිමි භාණ්ඩ කලා කෘති බවට පත් කිරීම නූතන කලාවට අලුත් දෙයක් නෙමෙයි. එකදහස් නවසිය විසිගණන් වෙද්දී මාර්සෙල් දූෂොම්ප් නිමි භාණ්ඩ (රෙඩිමේඩ් - ready-made) පරිහරණය කරමින් නිර්මාණය කළ ඩාඩාවාදී කෘති සමූහය මෙහි මුල් ම අවස්ථාව කියල හැඳින්නුවොත් නිවැරදි යි. ඔහුගේ උල්පත සහ L.H.O.O.Q වැනි කෘති සෞන්දර්ය වස්තුව පිළිබඳ නව ප්රමිතීන් ස්ථාපිත කළා. තවදුරටත් කලාව යනු කැන්වසය මත වර්ණ ආලේප කිරීමෙන් නව දෘශ්‍ය තත්ව නිර්මාණය කිරීම පමණක් නො වේ යන ආස්ථානයට පැමිණීමට මෙමගින් කලාකරුවන්ට අවස්ථාව උදා වුණා. සිතුවමේ රාමුවෙන් එළියටත් මූර්තියේ පාදමෙන් පිටතටත් කලා කෘතිය පොලාපැන්නා!


මාර්සෙල් දූෂොම්ප්, උල්පත, නිකල් ආලේප කරන ලද මූත්‍ර පෝච්චියක්. (1917)


මර්සෙල් දූෂොම්ප්, L.H.O.O.Q, මොනාලිසා පෝස්ටරයකට රැවුලක්! (1919)


කලාව සහ කලාව නොවන දෙයෙහි බෙදුම්කඩනය, නොඑසේ නම් කලාවට සාක්ෂාත් කළ හැකි දෙයෙහි සීමා සෑම කලක ම එක තැන පැවතුණේ නෑ. නව්‍ය අන්තර්ගතය විසින් නව කලා රූප බිහි කිරීම ස්වභාවයක්. අලුත් කලා රූප බිහි වෙද්දී, කලාව සහ කලාව නොවන දෙයෙහි සීමා - බෙදුම් කඩන පිහිටි තැන් වෙනස් වන අවස්ථා උදා වෙනවා. ඩාඩාවාදී පිපිරුම මගිනුත් සිදු වුණේ එවැන්නකට ආරම්භක ආවේශයක් සැපයීම. ඉතින් මේ බෙදුම්කඩනය පිහිටන ස්ථානය වෙනස් වෙද්දී කලාව යනුවෙන් අප හඳුනාගන්න දෙයෙහි ස්වභාවයත් වෙනස් විය යුතු යි නේද? තව ද මේ අලුත් ‘කලා වස්තුව’ එය සතු අර්ථකථන මාලාවේ බලය විසින් නව අනන්‍යතාවක් සාක්ෂාත් කරගන්නවා. එය තව දුරටත් වෙනත් ‘භාණ්ඩයක්’ නෙවෙයි, එය අලුත් කලා කෘතියක්.

පළමුවැනි ලෝක යුද්ධය අවට කාලපරිච්ඡේදය තුළ බලපැවැත්වූ සමාජ දේශපාලනික තතු කලා ශ්රමිකයා මත ඇති කළ පීඩනය, ධනේශ්වර ක්රමයෙහි මුග්ධ සංතෘප්තියට එරෙහි කැරැල්ලක් බිහි කිරීම දක්වා ගමන් කළා. සමාජයේ ආධිපත්යය දරන ස්තරයන් විසින් සදා නිම කොට භාර දෙන ලද හර පද්ධතියක ගැලී ජීවත් වූ මහජනතාව තැතිගැන්වීම ඩාඩාවාදීන්ගේ අරමුණ වුණා. දුෂොම්ප් මොනාලිසා චිත්රයට රැවුලක් තබා එය තම අත්සන සහිත ව ප්රදර්ශනය කළා. එය, එම සන්දර්භය තුළ ප්රති-කලාවක(anti-art) ස්වරූපය ගත්තා. (කියවා බලන්න - එරික් ඉලයප්ආරච්චි, චිත්ර කලාව හා විචාරය, 1995, 109 පිටුව) මේ ව්යාපාරය විසින් අත්පත් කරගැනුණු ජයග්රහණ අද දක්වාත් දෘශ්ය කලාකරුවන් භුක්ති විඳිනවා. යාන්ත්‍රික ව ප්‍රතිනිෂ්පාදනය කළ නිමි භාණ්ඩ ඒවායේ ‘නියම’ සන්දර්භයෙන් කඩා ඉවතට ගෙන ‘කලාත්මක’ හෝ කලාගාර අවකාශයක් තුළට ගෙන ඒම මගින් නව අරුත් සම්පාදනය කිරීම මෙහි දී නූතන කලාකරුවන්ට ඉතා වැදගත් විභවයන් විවර කර දුන්නා. එවිට එය තවදුරටත් හුදු තැතිගැන්වීමක් නෙමෙයි. බුද්ධි විෂයක කර්තව්‍යයක්. සංකල්පීය ක්‍රියාකාරකමක්. දෙබසක්. එනයින් කලාවක්.


චන්ද්‍රගුප්ත තේනුවර, බැරල්වාදය 1, බෝඞ් මත ඇක්රලික්, සෙ.මී. 110 x 79, (1997) මෙය මුලින් ම නිර්මාණය කෙරුණු බැරල් කෘතිවලින් එකක්

ලංකාවේ වසර විස්සක පමණ ඉතිහාසයක් ඇති යුද්ධය, රටේ ජන ජීවිතයේ සෑම අස්සක් මුල්ලක් ම සිය ග්‍රහණයට අරගෙන යි තියෙන්නේ. කොළඹ ඇතුළු සෑම ප්‍රධාන නගරයක් ම යුදබිය බිය පෙරටු කරගත් හැඟීම් විසින් රැජැයෙනවා අපි දැක තිබෙනවා. අපේ නිදහස, සමානතාව ආදී සෑම සියලු අපේක්ෂාවක් ම, පරමාදර්ශයක් ම, පල්ල ගිය විකාර කතා බවට පත් කිරීමට යුද්ධය සමත් වුණා. බැරල් ප්රාකාරවලින් සමලංකෘත අධිආරක්ෂිත කලාප මහජනතාවගේ ජීවත් වීමේ අපේක්ෂා ප්‍රහීන කරන මලපුඩු බවට පත් වෙලයි තිබුණෙ. ආරක්ෂක කපොලු, ගොඩනැගිලිවලට ප්රවේශ වන ගේට්ටු මෙකී නොකී සෑම සියලු ස්ථානයක් ම අරා නැගී සිටි බැරලය අපූර්ව සංස්කෘතික ප්රපංචයක් වුණා. බැරලය පසුපස දේශපාලන ප්රචණ්ඩත්වය, වාර්ගික හිංසනය, ලිංගික අපයෝජනය ඇතුළු සකල විධ මානව විරෝධී මෘගභාවයන් සැඟවී පැවතුණා. මෙය චිත්ර ශිල්පියකුට නැතහොත් දෘශ්‍ය කලාකරුවකුට විෂය නො වී පැවතිය හැක්කේ/යුත්තේ කෙසේ ද?


චන්ද්‍රගුප්ත තේනුවර, බැරල් දර්ශනයක්(barrelscape), දිග පළල වෙනස් විය හැකි යි. භූමිදර්ශන (landscapes) වෙනුවට බැරල්ස්කේප්!


චන්ද්‍රගුප්ත තේනුවර, දහසක් බැරල්, ප්ලයිවුඩ් මත ඇක්රලික් සමග පින්තාරු කළ ලෝහ බැරල්, දිග පළල වෙනස් විය හැකි යි. (1999)

හරියට මිනිස් ආලේඛයන් අඳින සිත්තරෙක් මිනිස් රූපය කෙරෙහි දක්වන සැලකිල්ල හා බැරෑරුම් ආකල්පයට නොදෙවෙනි සැලකිල්ලක් තේනුවරගේ බැරල් සිතුවම් තුළ එන බැරල්වලට ඔහුගෙන් ලැබෙනවා. ඒවා බැරල් වල ආලේඛ(portraits) කියා කීවත් එක අතකින් නිවැරදි යි. තේනුවරට ආලේඛකරණය(portraiture) සඳහා තිබෙන නිපුණත්වය, බැරලය නමැති සංස්කෘතික ප්රපංචය පිළිබඳ ඔහුට තිබෙන අර්ථකථනය සමග අත්වැල් බැඳගන්නවා.

ඔහුගේ බැරල් ස්ථාපනවලට අයත් වුණේ කලින් කීවා වගේ වර්ණ ගැන්වූ හැබෑ ම තාර බැරල්. පරණ අර්ථයෙන් ගත්තාම මේක කලාව නො වෙයි කියා කෙනෙකුට කියන්න පුළුවන්. මොකද ඔහු ‘අලුතෙන්’ කිසි දෙයක් ‘නිර්මාණය’ කර නැති නිසා. ඒත් දැන් අපි දන්නවා මේ නිර්ණායකය පරමයක් නොවන බව. එසේ අලුත් දෑ නිර්මාණය කිරීම යනු පවත්නා දේවල් තුළ හා පවත්නා දෙවල් අතර නව සම්බන්ධතා ගවේෂණය කිරීම මිස වෙන දෙයක් නොවෙයි. චන්ද්රගුප්ත තේනුවර කර තිබෙන්නේ මේ විභවයන් ප්රයෝජනයට ගනිමින් බලසම්පන්න කලාකෘති නිෂ්පාදනය කිරීම යි.

තවත් වැදගත් කාරණයක් මෙහි දී කිව යුතු යි. බැරල්වාදය කියන ප්‍රපංචය, ධාරණාවාදය, ප්‍රකාශනවාදය වැනි කලා ව්‍යාපාරයක් නෙමෙයි. එම නිසා එයට කලා ප්‍රවණතාවක් හැටියට පවතින්න බැහැ. ‘බැරල්වාදය’ යන නමින් හැඳින්වුණු මේ කලා කෘති පෙළට පසු තේනුවර, මානව රූපය වැනි විවිධ විෂයන් ඔස්සේ කෘති නිර්මාණය කර තිබෙනවා.

(යුද්ධය හා බැරල් - 2003 මාර්තු)

අලුත් ප්‍රදර්ශනය ගැන විස්තර පසුවට!