වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

නාට්‍යයක බැට්රි බැහීම

| Comments

25 වැනි දා පේරාදෙනිය විශ්ව විද්‍යාලයීය එලිමහන් රංග පීඨයේ දී ට්‍රෝජන් කාන්තාවෝ නරඹන්න ලැබුනා. වැහිබර කාලගුනය ද නොතකා එදා ම විශේශයෙන් දුවගෙන ගියේ 1999 පටන් අඛන්ඩ ව වේදිකාගත කෙරුනු මේ නිශ්පාදනයේ අවසන් දර්ශනය එය බවට ආරංචියක් ද තිබුනු නිසයි. අතුරු සිදුරු නැති ව පිරී ඉතිරී සිටි ප්‍රෙක්ශකයින් අබියස ධර්මසිරි බන්ඩාරනායකයන්ට විශේශ තිලිනයක් ද ප්‍රදානය කෙරුනා. කෙටියෙන් සභාව ඇමතූ ඔහු දශක ගනනකට පෙර අතීතයට යමින් රසවත් ආවර්ජනයක යෙදුනා. නාට්‍ය කලාව කෙරෙහි භක්ත්‍යාදරයෙන් හද පිම්බී යන හැඟීම් බර මොහොතක්.

කෙසේ වෙතත් නාට්‍යය තිබුනේ ඉතා අසීරු අඩියක. “නාට්‍යයේ බැට්රි බැහැලා!” මට කියවුනා. “බැට්රි බැහීම” අලුත් ම නාට්‍යයකට වුනත් සිදු වෙන්න පුලුවන් දෙයක්. රඟපෑම්, වේදිකා පාලනය, ආලෝකකරනය, නලුනිලියන් එකිනෙකා සමග අන්තර්ක්‍රියා කරන අන්දම, නාට්‍යය ගලා යන වේගය මේ ආදී විවිධ දේවලින් එකී බැට්රි බැහීම ප්‍රකාශයට පත් වෙන්න පුලුවන්. නානා විධ හේතු නිසා මේ තත්වය උද්ගත විය හැකි වුනත් නාට්‍යය හොඳ පදමක, හොඳ පුහුනුවක නොමැති වීමෙන් හටගන්නා “බැට්රි බැහීම” තමයි වහා අවධානය යොමු විය යුතු ප්‍රශ්නය. ට්‍රෝජන් කාන්තාවෝ එවැනි තත්වයක හැම විට ම තිබුනා වෙන්න බැහැ. නිතර හොඳ පදමක නොතිබී 1999 පටන් අද දක්වා නාට්‍යයක් දුවන්න නම් අමාරු යි.

ඒත් ගිය සිකුරාදා මා දුටු නාට්‍යයේ තත්වය ඒක යි. සමූහ දර්ශනවල, ගායන සහ නර්තනාත්මක චලන සහිත අවස්ථාවල මේ තත්වය වඩාත් කැපී පෙනුනා. එක්කෙනෙක් වමට හැරෙද්දී තවත් කෙනෙක් කොහේ හැරෙම්දැයි දෙගිඩියාවෙන් එකලමෙකල වෙන තත්වයක් තිබුනා. මුලු සිරුර ම යොදා රඟන්න ඒක බාධකයක් නිසා කවුරුත් බොහොම ප්‍රවේසමෙන්, “පය බුරුලෙන් තබා” වේදිකාව මත ජාම බේරාගන්න තැත් කලා. මීනා කුමාරි, නීල් අලස් සහ අනෝජා වීරසිංහ හැරුනු විට අනෙකුත් නලුනිලියෝ සියලු දෙනා ම පාහේ මේ තත්වයට දැඩි ව ගොදුරු වී හිටියා. අනෝජා වීරසිංහ හැම විට ම ඉන්නේ බැටරි බැහැපු කාන්තාවන් සමූහය වට කරගෙන නිසා දෝ ඇගේ රංගනයත් උපරිමයෙන් පිබිදුනේ නැහැ. යටත් වූ ට්‍රෝජන් ගැහැනු යදම් “එල්ලාගෙන (පැලඳගෙන?)” හිටියේ කැමැත්තෙන් ම වගේ බවත්, වරින් වර වේදිකාවට කඩා පිනූ සොල්දාදුවන් හරියට අපේ උවමනාවට වගේ නුහුරට තුවක්කු, හෙලි මුගුරු මානමින් වනමින් වැනිවැනී නොපෙනී ගිය බවත් දැනුනා. රංග වින්‍යාසයේ ශක්තිය බිඳී තිබූ නිසා සංගීතය බොහොම පැතලි, අසරන තැනකට ඇදගෙන වැටුනා. මන්දගාමී ව ඇදි ඇදී ගිය නාට්‍යය අවසන් වන විට ප්‍රේක්ශක අප උන්නේ බලවත් වෙහෙසකින්.

මේක නාට්‍යයේ අවසන් ප්‍රසිද්ධ දැක්ම නම් ඒ සියල්ල ගැන කරදර වීම නාට්‍ය කන්ඩායමට අදාල දෙයක් නෙමෙයි. ඒත් මෙවැනි දැවැන්ත නිශ්පාදන නිතර මුහුන පාන ප්‍රශ්නයක් මේ “බැට්රි බැහීම” පසුපස තියෙන බව මගේ හැඟීම යි. එතරම් තදින් නොවුනත් මා නිතර නරඹන ඇන්ටිගනී නාට්‍යයේත් වරින් වර මේ ප්‍රශ්නය මතු වන බව පේනවා. චිත්‍රපටියක් - ටෙලි නාට්‍යයක් හදනකොට වගේ නෙමෙයි නාට්‍යයක් නිර්මානය කල විට දිනපතා එය රැකබලාගන්න සිදු වෙනවා. හුදෙක් නාට්‍ය උලෙලක් (තරගයක්) පමනක් ඉලක්ක කරගෙන නිර්මාන කරන උදවියට නම් මේක ඒ හැටි ප්‍රශ්නයක් නෙමෙයි. රාජ්‍ය නාට්‍ය උලෙලින් පසු සියල්ලන්ට සතුටින් නැත්නම් දුකෙන් විසිර යන්න පුලුවන්.

නාට්‍ය තරග නො ව ප්‍රේක්ශකයින් අරමුනු කරගෙන නාට්‍ය නිපදවන අයට තියෙන අභියෝගය තමයි නිතිපතා නාට්‍යය මනා පුහුනුවක, හොඳ පදමක තියාගැනීම. ඊට කෙටි මාර්ග නැහැ; විකල්ප නැහැ. දිනපතා නාට්‍ය දර්ශන පවත්වන රඟහල් අපේ රටේ නැති නිසා ප්‍රසිද්ධ දර්ශන නොකඩවා රඟපෑමෙන් පමනක් නාට්‍යයේ පදම රැකෙන්නේ නෑ. ඉතින් අතිරේක පුහුනුවීම් දිගට ම අවශ්‍ය යි. නමුත් විශාල නලුනිලි කැලක් සහිත, එමෙන් ම කාර්ය බහුල නලුනිලියන්ගෙන් යුක්ත නාට්‍යයක මෙවැනි පුහුනුවීම්වලට අවකාශයක් සලසාගන්නේ කොහොම ද? කෝ ඉස්පාසුවක්? කෝ සම්පත්? කෝ මුදල්? “ප්‍රධාන” නලුනිලියන් තනි තනිව හෝ පුහුනු කර මඳ පමනින් වත් ගොඩදමා ගත්තත් සාමූහික නර්තක වෘන්ද, සජීව ගායනා ආදිය තියෙන නාට්‍යයක මේ “අවශේශ කොටස්” පදමේ තියාගැනීම ඊටත් අමාරු යි.

මේකට තවත් පැත්තකින් පැනනැඟි හේතුවක් අනුමාන කරන්න තුඩු දෙන කරුනක් වසර කීපයකට පෙර අධශක්ශවරයා සඳහන් කර තිබුනු බව සිහියට එනවා: “ට්‍රෝජන් කාන්තාවෝ කරද්දී මම අලුත් පිරිසක් එකතු කර ගන්න උත්සාහ ගත්තා. නමුත් එතෙන්දි මම අත්දැක්කා අලුත් පරම්පරාවේ අයට වඩා අනෝජා, මීනා, යශෝධා වගේ අය තමන්ට කොතෙකුත් වැඩ රාජකාරී තිබියදීත් මගේ නාට්‍යයට දෙවෙනි තැන නොදී ඒ වෙනුවෙන් කැප වෙලා ඉන්න විදිහත්, අලුත් අයට ඒ කැපවීම හා වගකීම නොතිබුණ බවත්. ” (උපුටාගත්තේ මේ සම්මුඛ සාකච්ඡාවෙන්)

සමහර විට ඔයාකාර හේතු ගනනාවක සංකලනයක් මේ ප්‍රශ්නයට හේතු වුනා විය හැකි යි. ඒත් මෙතරම් ම දීර්ඝ කාලයක් තිස්සේ නාට්‍ය නඩත්තු කොට පවත්වාගෙන යන ජනකරලිය නාට්‍ය කන්ඩායම සම්පූර්නයෙන් ම සමන්විත ව තිබෙන්නේ ඉහත කී වර්ගයේ ප්‍රවීනයින්ගෙන් නම් නෙමෙයි. ඔවුන් එම කන්ඩායම ආරම්භ කරන අවස්ථාවේ දී අයත් වුනේ නාට්‍ය ක්ශේත්‍රයට අලුතින් ම පැමිනි පරම්පරාවට. ඒත් ඒ සියලු දෙනා පූර්නකාලීන නලුනිලියන් හා ශිල්පීන් වසයෙන් අඛන්ඩ ව වෘත්තියෙහි නිරත කරවාගැනීමේ හැකියාව ජනකරලිය සතු වුනා. අද වන විට ඔවුන්ගේ ඇතැම් නාට්‍යයක් දර්ශනවාර 2600 ද ඉක්මවා ගිහින්. ඒ අර්ථයෙන් ගත් කල පූර්නකාලීනයින් රඟන නාට්‍ය නොවුනත් ජයලත් මනෝරත්නයන්ගේ නාට්‍ය කිහිපයක් ම(තල මල පිපිලා, අන්දරේලා, ගුරු තරුව…) වසර ගනනාවක් තිස්සේ හොඳ පදම රැකගෙන රඟදැක්වෙනු දැකගත හැකි යි.

එදා මා දුටු ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍යය පැවති සාමාන්‍ය තත්වයෙන් කැපී පෙනෙන ලෙස වෙනස් මට්ටමක තිබුනු එක ම අංගය කැසැන්ඩ්‍රා ලෙස රඟපෑ මීනා කුමාරි ප්‍රකට කල විශිශ්ටත්වය යි. ගතින් - සිතින් - මුවින් - වදනින් ඈ කැසැන්ඩ්‍රා ම වුනා. ඒ වැහි බර මන්දගාමී රාත්‍රියේ ප්‍රේක්ශකයින් කම්පනයට පත් කරමින් හාත්පස එකලු කල අකුනු සැර කීපයක් වගේ කැසැන්ඩ්‍රා වේදිකාවට ආවා. ඒත් ඒ සුලු මොහොතකට පමන යි. ඇය නික්ම ගිය පසු සියල්ල බින්දුවට ආසන්න තැනකට වැටුනා.

කෙසේ වෙතත්, මෙවැනි දැවැන්ත නිශ්පාදනයක් සියලු බාධක කම්කටොලු හමුවේ මෙතරම් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන එනු පිනිස දැරූ ප්‍රයත්නයට අධ්‍යක්ශවරයා ප්‍රමුඛ ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍ය කන්ඩායමට අපේ ප්‍රනාමය හිමි විය යුතු යි. නාට්‍යය දැන් හැම විට ම දුවන්නේ මේ මට්ටමින් නම් එය නවතා දැමීමට ගත් තීරනය බුද්ධිමත්. යුරිපිඩීස්ගේ නාට්‍යයක් වීම, අගනා පරිවර්තනය හා සංස්කරනය, නාට්‍යයේ යුද විරෝධී තේමාව, අධ්‍යක්ශවරයා, ප්‍රධාන නිලිය, සංගීතඥයා ඇතුලු කන්ඩායමේ විවිධ සාමාජිකයින් මුහුන පෑ තාඩන පීඩන යන සියල්ල අපේ සහානුභූතිය හා සහයෝගය පුබුදුවන සාධක හැටියට ගත්තත් අවසන වේදිකාව මත ප්‍රේක්ශකයාට පිරිනමන නිශ්පාදනය ඇගැයුමට ලක් වන්නේ රංගකලාත්මක පරිසමාප්තියේ දෘශ්ටි කෝනයෙන් බව නොකියා බැහැ.

.