වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

Colombo International Theatre Festival 2012 (කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල 2012)

| Comments

පසුගිය දෙසැම්බර් 15 වැනි දා කොලඹ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයට (Goethe Institute) රැස්වූ නාට්‍යකරුවන්, රසිකරසිකාවන්, ජනමාධ්‍යවේදීන් හා විචාරකයින් පිරිසක් අතිවිශේශ කර්තව්‍යයකට මුල පිරුවා: ඒ තමයි කොලඹ ජාත්‍යන්තර රංග කලා උලෙල. නිල වසයෙන් එදා නිවේදනය කෙරුනත් මේ උලෙල පිලිබඳ අදහස පැන නැඟී එහෙ මෙහෙ විසිවෙන්න වෙලා දැන් වසර කීපයක් වෙනවා. නාට්‍යවේදී එම්. සෆීර් ප්‍රමුඛ ඉන්ටර් ඇක්ට් ආර්ට් සංවිධානය (Inter Act Art) පසුගිය වසර කීපය තිස්සේ රාජගිරිය බ්ලැක් බොක්ස් අවකාශය තුල පැවැත්වූ නාට්‍ය උලෙල හා සාකච්ඡා-සංවාද ආදිය තුල මෙවැනි කර්තව්‍යයක් පිලිබඳ අපේක්ශාව මුල් වරට ප්‍රකාශයට පත් වුනා. අද වන විට මෙය සංවිධානය කරන්න මුල පුරා තියෙන්නෙත් ඔවුන් ම යි. මෙවැන්නක් ශ්‍රී ලංකාව තුල පැවැත්වෙන්නේ පලමු වතාවට.


ජාත්‍යන්තර නාට්‍ය උලෙලක් අපට මොකට ද?

ජාත්‍යන්තර නාට්‍ය උලෙලක් තුල බොහෝ දෑ සාක්ශාත් කරගන්න පුලුවන්. ලොව විවිධ තන්හි නිර්මානය වන විවිධ ශෛලීන්ට අයත්, විවිධ ස්වරූපවල නාට්‍ය සජීවී ව නරඹන්නත් ඒ කලාකරුවන් සමග සංවාදයේ යෙදෙන්නත් ලැබෙන අවස්ථාව එයින් වඩාත් වැදගත් අංශය යි. මෙමගින් විවෘත වන්නේ අමිල අවස්ථා සම්භාරයක්. කුඩා දූපතක බොහෝ විට මුලු ජීවිත කාලය ම ගෙවා දමන නාට්‍යකරුවන්ගේත් රසිකයින්ගේත් විචාරකයින්ගේත් ලෝකවල නිම්වලලු ප්‍රසාරනය කරන්න මෙවැනි මුනගැසීමක් අනිවාර්යයෙන් තුඩු දෙනවා. විවිධ සංස්කෘතීන්ට අයත් නාට්‍යකරුවන් විවිධ වූ පොදු ප්‍රශ්නවලට මෙන් ම එකිනෙකාට සුවිශේශ වූ ගැටලුවලට ද මුහුන දෙමින් සිය ක්ශේත්‍රයේ නිරත ව සිටින අන්දම පිලිබඳ අත්දැකීම් බෙදාහදාගන්න මෙවැනි උලෙලක් තරම් හොඳ තැනක් තවත් කොයින් ද? කලාකරුවන් සම්මාන හා ත්‍යාග වෙනුවෙන් ඉතා පහත් මට්ටමේ පොර පිටියකට ඇද දමන බාල නාට්‍ය තරගවලට වඩා මෙවැනි අවකාශ බෙහෙවින් සෞඛ්‍ය සම්පන්න බවත් සඳහන් කල යුතු ම යි.


“මැති ඇමතිවරු ඇමතිවරු සීරුවෙන්…”

දෙසැම්බර් 15 වැනිදා රැස්වීමට සිය ගනනකට ආරාධනා කොට තිබුනත් සහභාගී වුනේ බොහෝ ම සුලු පිරිසක්. පරාක්‍රම නිරිඇල්ල මහතා රාවය පුවත්පතට ලියා තිබුන විදිහට නම් සහභාගී වුනේ දොලොස් දෙනයි! (මට නම් ඊට ටිකක් වැඩි සෙනගක් හිටි වග පෙනුනා. ඒත් එයින් වැඩි දෙනා ඉන්ටර් ඇක්ට් ආර්ට් සංවිධානයේ සාමාජිකයින්) ඒ දවසේ ම තමයි නෙලුම් පොකුන මහා ගොඩනැගිල්ල(රඟහල?) විවෘත කිරීමේ මහා උත්සවය පැවැත්වුනෙත්. හිතාමතා ම එදාට, කැත්තට පොල්ල වගේ මේ රැස්වීම යොදාගත්තා නෙමෙයි.  ජාත්‍යන්තර රංග කලා උලෙලක් පැවැත්වීමේ අදහස යෝජනාවක ස්වරූපයෙන් මෙරට සංස්කෘතික අමාත්‍යවරයා ඇතුලු වගකිවයුත්තන්ට නිල වසයෙන් දැනුම් දී වසරක් සම්පූර්න වූ දිනය එය නිසා එදින රැස්වීමක් පැවැත්වීම අර්ථාන්විත යි. ඒ ලියුම්කියුම් හා යෝජනාවලට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් ලැබී නැති බව අමුතුවෙන් ලියන්න අවශ්‍ය නැහැ නේ? මේ ගැන දුක්ගැනවිලි කීමට හා මනස්තාප වීමට රැස්වීමෙන් යම් කාලයක් වෙන් වුනා. ජාතික තරුන සේවා සභාව වැනි ඇතැම් රාජ්‍ය ආයතනවලින් එහි පැමින සිටි නිලධාරීන් “අරක කරන්නම් - මේක කරන්නම්, අපේ සභාපතිතුමා දන්නවා නම් අනේ මෙහෙම නොසලකා හරින්නෙ නෑ” කියා පාරම් බෑවත් අද වන විට ඔවුන් ඉන්නා තැනක් හොයාගන්නත් අමාරු බවයි මට නම් ආරංචි වුනේ. ඊට අමතර ව සංස්කෘතික කටයුතු ඇමතිතුමාගේ කාර්යාලයේ දොරකඩ නාට්‍ය උලෙල අධ්‍යක්ශකවරයා දින ගනනාවක් රස්තියාදු කරවීම මගින් එම අමාත්‍යාංශයේ දායකත්වයත් සලකුනු කෙරුනා. ජනාධිපති ලේකම් කාර්යාලයට යැවූ ලිපි ලැබුනු බව වත් දන්වා ප්‍රතිචාරයක් නොලැබුන බව එහි දී සඳහන් වුනා. ඊට අමතර ව මෙවැනි කාරනයක් කාර්ය බහුල ජනපතිතුමන්ට “සැල කිරීමට” තියෙන බාධක වැටකඩොලු ප්‍රමානය ඇසීමෙන් අපේ අත්දැකීම වඩාත් රසවත් වුනා. මට සිහි වුනේ මහනුවර යුගයේ රජවාසල පිලිබඳ කොහේ හෝ කියවා තිබුනු විස්තරයක්. ඒ කාලේ තමුන්ගේ දුක්ගැනවිලි අදාල බලධාරීන් හරහා රජතුමාට දැනුම් දීගන්න බැරි වුන රටවැසියෙක් රජවාසල පෙනෙන මානයේ තිබුනු පොල් ගසකට නැඟ කෑගසා රජුගේ අවධානය ගත් බව ඒ විස්තරයේ තියෙනවා. අරලිය ගහ මන්දිරය අවට පොල් ගස් තිබේ ද යන්නත් නාට්‍ය උලෙල අධ්‍යක්ශවරයාට පොල් ගස් නැගිය හැකි ද යන්නත් මට හොයා බලන්න බැරි වුනා. ඉතින් රාජ්‍ය අංශය සිය වගකීම “නිසි අන්දමින්” ඉටු කර තියෙන බවට අපට සෑහීමකට පත් වෙන්න පුලුවන්*.


වැඩ

කෙසේ වෙතත් අධිශ්ඨානශීලී පිරිසකගේ ශක්තිය මූර්තිමත් වුනු කුඩා රැස්වීමක් ඒක. පැමින සිටි විවිධ පිරිස් සිය ශක්ති පරිමානයෙන් උලෙලේ නානා විධ අංශවලට දායක වෙන්න කැමැත්ත පල කෙරුවා. එහි දී ප්‍රවීන නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල මහතා විවිධ පැතිවලින් ප්‍රායෝගික ව නාට්‍ය උලෙලේ කටයුතුවලට උදව් කරන්නත් ගැටලුවලට විසඳුම් ලබාදෙන්නත් මහන්සි වුන අන්දම ගැන විශේශයෙන් සඳහන් කල යුතු යි. ඔහුගේ පරම්පරාවේ සියලු දෙනා මේ කටයුත්ත නොතකා හැර, වර්ජනය කර සිටි සෙයක් පෙනුනු මොහොතක ඔහුගේ පැමිනීම ම සංකේතාත්මක දිරිගැන්වීමක් හා අනුප්‍රානයක් (inspiration) වුනා. මේ කටයුත්තේ වැදගත්කම අවධාරනය කරන්නත්, මීට මුලපිරූවන්ට ප්‍රශංසා කරන්නත්, ඔවුන් ශක්තිමත් කරන්නත් ඔහුට වචන හිග වුනේ නෑ. විවිධ රාජ්‍ය ආයතනවල උදවියට වගේ නෙමෙයි, ඔහුට ක්‍රියාමාර්ගවලින් හිගයක් තිබුනෙත් නෑ. කොටින් ම ලංකාවට පැමිනෙන නාට්‍ය කන්ඩායම්වලට නවාතැන් සැපයීමේ සිට නාට්‍ය උලෙලේ සංකල්පීය හා සංවිධානාත්මක වැඩ දක්වා විවිධ මට්ටම්වල ප්‍රශ්න නිරාකරනය කරන්න නිරිඇල්ල මහතා සක්‍රිය ව මැදිහත් වුන බව මම දන්නවා. තමන්ට පසු පරම්පරාවල තරුන නාට්‍යකරුවන් මුල පිරූ වැඩකට නිර්ලෝභී ව අත දෙන පියෙකු බඳු එම භූමිකාව නාට්‍ය ලෝලී අප සැමගේ ගෞරවයට පාත්‍ර විය යුතු බව මගේ හැඟීම යි.

කලාවට වගකියන බවට ශපථ කොට පිහිටුවා තිබෙන ආයතන මුනිවත රකිමින් බාධා කරද්දී සංචාරක මන්ඩලය, සිරස මාධ්‍ය ජාලය, සෙලාන් බැංකුව වැනි වෙනත් ආයතන මේ කාර්යයට සිය අනුග්‍රාහක හස්තය දිගු කරනු දක්නට ලැබීමත් සතුටක්.

මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම සුලුපටු වැඩක් නෙමෙයි. විවිධ රටවලින් පැමිනෙන නාට්‍ය කන්ඩායම්වලට නවාතැන් පහසුව හා ප්‍රවාහන පහසුකම් සැපයිය යුතු යි. ඒ ඒ නාට්‍ය දර්ශනය, වැඩමුලුව හෝ දේශනය මනා ව සම්බන්ධීකරනය කොට අවශ්‍ය සම්පත් සම්පාදනය කරන්න වෙනවා. ප්‍රචාරනය නිසි කලට ප්‍රමානවත් පරිදි නොලැබුනොත් රඟහල හිස් ව වටිනා අවස්ථාවක් අපතේ යන්න ඉඩ තියෙනවා. ආලෝකකරන පද්ධති ඇතුලු පහසුකම් ද නිසියාකාර ව සම්පාදනය කල යුතු යි. ප්‍රචාරක පත්‍රිකා, ටිකට්පත් මෙන් ම සහභාගීත්වය සඳහා වූ සහතික පත්‍ර, සම්මාන, සමරු තිලින ආදිය සැකසිය යුතු යි. මේ සියල්ල සඳහා මුදල් ද මනා කලමනාකරනයක් ද අත්‍යවශ්‍ය යි. කිසිදු තනි ආයතනයක මහා අනුග්‍රයකින් තොර ව මේ සියල්ල සම්පාදනය කෙරෙමින් පවතින්නේ විවිධ පැතිවලින් ගඩොලින් ගඩොල එකතු කර ගෙයක් ඉදි කරන අන්දමින්.

අද වන විට පියවරෙන් පියවර පෙරට ගිය දුශ්කර ගමනක සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් තියෙනවා. ජර්මනිය, ඉරානය, ඉන්දුනීසියාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය, සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාට්‍ය කන්ඩායම් ගනනාවකගේ සහභාගීත්වයෙන් කොලඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙල මාර්තු මස විසි හය වැනිදා කොලඹ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසැල් රඟහලේ දී ආරම්භ වෙනවා. එතැන් සිට අප්‍රේල් දෙවැනි දින දක්වා දිනපතා නාට්‍ය දර්ශනවලට අමතර ව ලොව නන් දෙසින් පැමිනි නාට්‍යවේදීන් විසින් පවත්වනු ලබන රංග කලා වැඩමුලු, දේශන හා සාකච්ඡාවලින් මේ උලෙල සමන්විත යි.

තව මත් ගොඩනැඟෙමින් පවතින මේ රංග කලා මහෝත්සවය සංස්කෘතික හා මුල්‍යමය යන දෙඅංශයෙන් ම විජයග්‍රහනය කරවීමේ හැකියාව තියෙන්නේ රසික අප සැම අත යි. මේ උලෙලට උපරිම සහභාගී දායකත්වය ලබා දෙමින් සෑම නාට්‍ය දර්ශනයකින් ම, සෑම වැඩමුලුවකින් ම උපරිම ප්‍රයෝජන ලබන පිරිසක් ඉන්නවා නම් ඒක මේ උලෙලේ සාර්ථකත්වය යි. දිනපතා නාට්‍ය ශාලාව පිරී ඉතිරී යමින් මේ අභිනව කලා අවකාශය භුක්ති විඳින්න රසිකයින් ඉදිරිපත් වෙනවා නම්, එය යි සාර්ථකත්වය. එය අපේ නාට්‍ය සංස්කෘතියේ ගුනාත්මක පෙරලියක පදනම වන බවට සැකයක් නැහැ.

එනිසා ඔබත් මේ ආරංචිය පතුරන්න. මේ ගැන ලියන්න. මේ ගැන සාකච්ඡා කරන්න. මේ උලෙල ගොඩනැංවීම සඳහා ඔබටත් කවර අයුරකින් හෝ දායකත්වයක් ලබා දිය හැකි නම් Inter Act Art සංවිධානය අමතන්න, ලියන්න, සාකච්ඡා කරන්න. වැඩි විස්තර මෙන්න:

M.Safeer
Festival Director

Jayalath S. Gomes
Festival Secretary

INTER ACT ART THEATER HOUSE
ACADEMY - BOOKSHOP - LIBRARY - CAFE
133/48 D, Nanayakkara Mw,
Obeysekarapura, Rajagiriya Sri Lanka.
(Cotta Rd, take Gothami Rd pass Temple, turn left after the bridge)

Tel - 94 773 129 749
Email - interactartsl@gmail.com
Web : interactart.wordpress.com

නාට්‍ය උලෙලේ සම්පූර්න වැඩසටහන කියැවීම සඳහා පහත දැක්වෙන රූපය ක්ලික් කරන්න.




උලෙල සම්බන්ධ ප්‍රචාරක වීඩියෝ පට, වෝල්පේපර, ප්‍රචාරක පත්‍රිකා ආදිය සඳහා Colombo International Theatre Festival facebook පිටුවට පිවිසෙන්න.

සියලු නාට්‍ය දර්ශන සඳහා ටිකට්පත් ඉක්මනින් ම ticketslk.com අඩෙවියෙන් මිලදීගන්න හැකි වේවි.


————————————-

*පසු සටහනක්

ඉහත ලිපිය ලියා පල කරන්න හදද්දී අලුත් ආරංචියක් ලැබුනා.

ලිපියේ මැද රාජ්‍ය අංශය ගැන දෝස්මුරයක් තියෙනවා. මා එය ලියුවේ දෙසැම්බර් 15 වැනිදා සිට මේ සතිය දක්වා මා ඇසූ දුටු හා සහභාගි වූ සිදුවීම් පාදක කරගෙන යි. ඒත් මේ තත්වයේ වෙනසක් ඇති ව තිබෙන බව නාට්‍ය උලෙල අධ්‍යක්ශ, නාට්‍යවේදී එම්. සෆීර් මහතා මා සමග පවසා සිටියා.

නෙලුම් පොකුන රඟහල පිලිබඳ පසුගියදා නාට්‍යකරුවන් සමග පැවැත්වුනු විශේශ හමුවක දී මාතෘකාවෙන් පිට පැන මේ ජාත්‍යන්තර නාට්‍ය උලෙල පිලිබඳ විස්තර කෙලින් ම ජනාධිපති මහින්ද රාජපක්ශ මහතාට දන්වන්න ඉඩකඩ උදා වුනු බව ඔහු සඳහන් කලා. (මෙය නම් අර රජවාසල අසල පොල් ගහේ සිද්ධියට බෙහෙවින් සමාන බව යි මගේ අදහස!) මේ පිලිබඳ තතු ඇසූ වහා ජනාධිපති රාජපක්ශ මහතා සංස්කෘතික ඇමතිවරයාටත් අමාත්‍යාංශ ලේකම්වරයාටත් මේ සඳහා අවශ්‍ය සහාය ලබා දෙන මෙන් උපදෙස් දී තිබෙනවා. ඊට අමතර ව ඩලස් අලහප්පෙරුම මහතා ඇතුලු වෙනත් මැති ඇමතිවරුන් ද දැන් මේ පිලිබඳ දැනුවත් ව සිටින බව ඔහු සඳහන් කලා. මේ කතාබහ සිදු වුනේ නෙලුම් පොකුන රඟහල පිලිබඳ සාකච්ඡාව සඳහා පැමින සිටි නාට්‍ය ක්ශේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සැදුම් ලත් සභාවක දී වීම වැදගත්. දැන් අදාල අමාත්‍යාංශයේ දායකත්වය මේ සඳහා ලබා දිය හැක්කේ කෙසේ ද කවර ස්වරූපයකින් ද යන්න සාකච්ඡා වෙමින් තියෙනවා. උලෙලට මාසයක් තිබිය දී හෝ රාජ්‍ය අංශයේ අවධානය මේ වෙත යොමු වීම සතුටට කරුනක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කලා.

(මෙවැනි වැඩකටයුතුවලට රාජ්‍යයේ මැදිහත් වීම හෝ “සහයෝගය” අනවශ්‍ය බව විශ්වාස කරන මම මේ විස්තර ලිව්වේ මේ සා ඓතිහාසික අර්ථභාරයක් උසුලන රංග කලා උලෙලක් පිලිබඳ තතු විත්ති වාර්තා කොට තැබීමේ වැදගත්කම සලකා මිස වෙනත් හේතුවකට නොවන බව කරුනාවෙන් සලකන්න. කලාව හා සංස්කෘතිය පිලිබඳ ක්ශේත්‍රයට රාජ්‍ය මැදිහත්වීම් බෙහෙවින් හානිකර ද නිශේධාත්මක ද විය හැකි බව මගේ පෞද්ගලික ආකල්පය යි.)

.