වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

අනික් නදකින් අපි නොවෙමු තොස!

| Comments

ප්‍රේමසිරි කේමදාස (1937 - 2008)
සේයාරුව Daily News පුවත්පතින්

මෙරට ජීවත් වූ අග්‍රතම සංගීතඥයා මේ ලිපිය ලියැවෙන අද (27) සන්ධ්‍යා යාමයේ අවසන් ගමන් යනවා.

මීට දෙමසකට පෙර ප්‍රේමසිරි කේමදාසයන්ගේ අවසන් ප්‍රසිද්ධ ප්‍රසංගය (public performance) බවට පත් වූ(?) අග්නි ඔපෙරා දර්ශනය නැරඹීමේ භාග්‍යය (අවාසනාවන්ත භාග්‍යය) මට ලැබුනා. එදින මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවනාගාරයෙහි දී කේමදාස සූරීන් සංගීතය මෙහෙයවූ අයුරු දුටුවකුට හැඟෙන්නට ඇත්තේ දෙමසකින් මිය යාමට තිබුනු කෙනෙකු පිලිබඳ ධාරනාවක් නම් නෙමෙයි. එහි උන්නේ තවත් වැඩ කප්පරක් කිරීමට ඉස්පාසුවක් නොතිබුනු තරුනයෙක්! පසුගිය සති අන්ත පුවත්පතක් වාර්තා කල පරිදි මේ වන විටත් කේමදාසයන් සූදානම් ව සිටියේ තවත් අලුත් ම අධ්‍යක්ශිකාවකගේ අලුත් ම ටෙලි නාට්‍යයක සංගීත අධ්‍යක්ශනයටයි! වයසින් පමනක් කේමදාසයන්ට සමකාලීන වූ අන් බොහෝ කලාකරුවන් සිය අතීත ශ්‍රී විභූතියේ “හයියෙන්”, “පරන පැට්රෝල්වලින්” දුවමින් සිටි දශක කිහිපයක් තිස්සේ කේමදාස සූරීන් වැජඹුනේ “මේ දැන් නිපදවූ” සිය අලුත් ම, ජවසම්පන්න ම කෘතිය ද සමග යි. පැරනියන් විශ්‍රාම යද්දී, යටත් වෙද්දී සහ පහසු අතුරුමාවත්වලට හැරෙද්දී කේමදාසයන් අලුත් පරම්පරා කිහිපයකට උගන්වාගනිමින් ශික්ශනය කැරැ ගනිමින් සිය ඒකායන මාර්ගයෙහි ම අභීත ව පෙරට ගමන් කලා.

අවසන් වරට නිපදවූ අග්නි ඔපෙරාව කේමදාසයන්ගේ කලා දිවියෙහි ඉහල ම කූටය සනිටුහන් කල බව වුවත් කෙනෙකුට යෝජනා කරන්න බැරි නැහැ. එනයින් ගත් කල “හොද ම කෘතිය” තවත් ඉදිරියේ දී ඒමට නියමිත ව තිබුනා ද විය හැකියි!

මේ සියල්ල එසේ වුවත් කේමදාසයන්ට වැඩ කිරීමට සිදු වුනු වාතාවරනය ඔහු වැන්නෙකුට හිතකර වූවක් නොවෙයි.

කේමදාසයන්ගේ අභාවයෙන් පසු විවිධ ජනමාධ්‍ය ඔස්සේ ගුනකථන ඉදිරිපත් කල බොහෝ දෙනෙක් ඇගැයීමට පාත්‍ර කලේ මේ අද්විතීය සංගීතඥයාගේ සිනමා සංගීත භාවිතාව යි. නැතහොත් විවිධ ගීත ගැන වේදිකා නාට්‍ය ගැන සඳහන් කෙරුනා. ඔවුන් අවසානයට යන්තම් උඩින් පල්ලෙන් සිහිපත් කරනවා ඊට අමතර ව මෙහෙම ඔපෙරා, සංධ්වනි හා කැන්ටාටාවක් ද නිර්මානය කල බව. ඒ පිලිබද කිසිදු සවිස්තර ඇගැයුමක් තවම අහන්න ලැබුනේ නැහැ. මෙය අප රටේ සංගීතය වින්දනය කිරීම සම්බන්ධ ව පවත්නා ශෝකජනක තත්වයේ පිලිබිඹුවක්.

සිනමාව හා ගීතය විශයයෙහි කේමදාසයන්ගේ මැදිහත්වීම අසමසම බවට විවාදයක් නැහැ.



ඒත් කේමදාසයන් සංගීතය ගැන හිතන්න ඇත්තෙ ඒ මට්ටමින් වෙන්න බැහැ.
සංගීතය ස්වාධීන කලාවක් හැටියට, තනිව හිටගත හැකි (standalone ) භාවිතාවක් හැටියට යොදාගත් ප්‍රධානතම ලාංකික සංගීතඥයා කේමදාසයි. සංගීතය යනු වෙනත් කලා මාධ්‍යයකට, නැටුමකට හෝ පදමාලාවකට හුදෙක් තාලය ඇල්ලීමේ ද්විතියික භාවිතාවක් නොවෙයි. මේ තත්වයට වෙනත් කලාවකින් සාදෘශ්‍යයක් දෙතොත් දිය හැක්කේ වියුක්ත චිත්‍ර කලාවෙන් පමනයි.

“ඔපෙරාවක හැඟීම් ඒකක සහ දාර්ශනික සංකල්ප ගැන කතා කරද්දී අමතක නොකළ යුතු කාරණයක් තිබෙනවා. එනම් ඔපෙරාවක සෞන්දර්යය පමණක් නොව සියලු භාව හා බුද්ධිමය අවකාශ ද ගොඩනගනු ලබන්නේ සංගීතය විසින් පමණක් ම බවයි.







“පිටපත සහ ඔපෙරාව අතර සම්බන්ධය විමසීම මෙතැන දී වැදගත් වෙනවා. ඔපෙරාවක සංගීතය කියන්නේ පිටපතේ අතිරේකයක් (supplement) නොව ප්‍රධාන වියමනයි. (main text) මෙතැන දී ලිබ්‍රතෝව සහ ඔපෙරාව අතර සම්බන්ධය තිරස් ක්‍රමිකව (diachronic) හෙවත් පෙර ලියැවිල්ල, පසු ලියැවිල්ල වශයෙන් ගලා ගිය කාල මානයකින් තේරුම් ගැනීම වැරදියි. එය සංඥාක්‍රමිකව (synchronic) හෙවත් ගලා නොගිය කාල මානයකින් හෙවත් සදාතනික වර්තමානයකින් තේරුම් ගත යුතුයි.”


“ඔපෙරාවක යම් නාට්‍යමයභාවයක් දකින්නට ලැබේ නම් එය පිටපතට අයත් නාට්‍යමයභාවයක් නොව සංගීතය විසින්ම නිර්මාණය කරන ලද්දකි. එම නාට්‍යමයභාවයේ තිර පිටපත වෙන්නේ සංගීතයයි. මියැසි පෙළගැස්මයි. පිටපතින් සිදු වෙන්නේ සංගීතය හෙවත් මියැසි පෙළගැස්මට පාදක වීමයි.”

(රොහාන් පෙරේරා සහ එරික් ඉලයප්ආරච්චි ලියූ ලාංකේය සමාජය, කේමදාස සංගීතය, අග්නි ඔපෙරාව, ලලිත කලා න්‍යාය සහ සෞන්දර්යය නමැති කෘතියෙන්)

එය සංගීතය හැර අන් කිසිවක් අන්තර්ගත කර නොගන්නා කලාවක්! එහි හැඩය … සංගීතය බඳු යි!!

සංගීතයෙහි මෙකී අසහාය ස්වභාවය ගැන දෙගිඩියාවෙන් තොර සියයට සියයක විශ්වාසයක් හා අවබෝධයක් තිබූ එකම සංගීතඥයා විය හැක්කේ ද ඔහු යි. එහි අග්‍ර ඵලය අවසන් වරට නිපදවූ අග්නි ඔපෙරාවේ ස්වරූපයෙන් විද්‍යමාන වුනා. එය කේමදාසයන්ගේ සජීව මෙහෙයවීම සහිත ව වසර ගනනාවක් වින්දනය කිරීමට තිබූ අවස්ථාව අහිමි වීම මට නම් වචනයට නඟාගැනීමට නොතේරෙන තරමේ සන්තාපයක්.

අනිත් පැත්තෙන් එවැනි වූ සංගීතයක් ආස්වාදය කිරීමට අවශ්‍ය සූදානම, සංස්කෘතික හා බුද්ධිමය හැඩගැස්ම “සංගීතය” ඇසුරු කරන අතිබහුතරයක් ජනකායකට අහිමි ව තිබූ සමාජයක ජීවිතයේ වැඩි කාලයක් ගත කිරීමට සිදු වීමත් එම සමාජය වෙනුවෙන් නිර්මානකරනයේ යෙදීමට සිදු වීමත් කේමදාසයන් මුහුන පෑ ශෝචනීය තත්වයක්. උපමාවක් ගත්තොත් මේක බීරි අලින්ට වීනා වැයීමක් වගේ වෙන්න ඇති. එසේ ම උසස් සංගීතය නිපදවීමට අවශ්‍ය ද්‍රව්‍යමය සම්පත් ද ශ්‍රී ලංකාවේ පැවති වාතාවරනය විසින් සීමා කරවනු ලැබූ බව පැහැදිලියි.

කේමදාසයන් සිය සංගීත දිවිය අපට විදහා පාන්නේ පෙර අපර දෙදිග සංගීත සම්ප්‍රදායන්හි කෙලපත් ව එය සමතික්‍රමනය කිරීමක්. එම දැවැන්ත කාර්යය පැහැදිලි ව ම උඩුගං බලා ගමන් කිරීමක් වුනේ මෙහි මුල් බැසගෙන තිබුනු ආධානග්‍රාහයන්, ජාතිකවාදයන් හා පසුගාමීත්වයට එරෙහි අඛන්ඩ සටනක නොයෙදී එය සාක්ශාත් කල නොහුනු නිසයි. ඇතැමුන්ට අනුව “සිංහල ජන ගී මත පදනම් නො වූ” කිසිවක් “අපට ඔබින” සංගීතය නො වෙයි. තවත් ඇතැමුන් දෑස් පියාගෙන ඉන්දීය රාගධාරී සංගීතයෙහි තරයේ එල්ලී සිටින සෙයක් පාමින් සියලු “බටහිර” බලපෑම්වලට විරෝධය පල කෙරුවා. ඇතැම් ඊනියා දේශීය සංගීතඥයින් සතිපතා රූපවාහිනී නාලිකාවන්හි අරක් ගනිමින් කේමදාසයන්ගේ මගපෙන්වීමෙන් විකසිත වූ සොප්‍රානෝ ගායිකාවන් ඇතුලු ශාස්ත්‍රීය ශිල්පීන් අවඥාවට ලක් කරමින් විකාර රංගන පා “කෝචොක් දැමූ” අවස්ථා අනන්තයි. ඔවුනට අනුව එය “අපට ගැලපෙන” සංගීතයක් නොවෙයි!!! මේ හැමට අමතර ව කේමදාසයන්ට එදිරි ව දිය යට ගින්දර ද අනන්ත වත් ගෙනියන්නට ඇති.

මේ සියල්ල තිබිය දීත් කේමදාසයන්ගේ නිර්මාන ප්‍රවාහය සිඳී ගියේ නැහැ. පහසු අතුරු මාවත්වලට හැරුනෙත් නැහැ. යටත් වුනෙත් නැහැ.

කේමදාසයන් වෙනුවෙන් කල හැකි උපරිම කෘතගුන දැක්වීම වනු ඇත්තේ එතුමන් නැවැත්වූ තැන් පටන් පෙරට යාමට පරිශ්‍රම දැරීම යි. ඔවුන්ගේ සම්ප්‍රදානය (contribution) නැවතත් පසුගාමීත්වය හා අන්තවාදය විසින් ආපස්සට අදිනු ලැබීමට, සැඟවීමට, අමතක කරවනු ලැබීමට එරෙහි ව සටන් වැදීමයි. කේමදාසයන් අත දිගු කොට පෙන්වා හදුන්වා දුන් සංගීත සාගරයෙහි කිමිඳ සැරිසැරීමයි; රසිකත්වය වගා කැරැ ගැනීමයි; හැදෑරීමයි.

කියවන්න
* පෙරේරා, රොහාන් සහ ඉලයප්ආරච්චි, එරික්; ලාංකේය සමාජය, කේමදාස සංගීතය, අග්නි ඔපෙරාව, ලලිත කලා න්‍යාය සහ සෞන්දර්යය, ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්, කොළඹ. 2008.
* බුලත්සිංහල, ලූෂන්, කේමදාස; න්‍යාය භාවිතය සහ අරගලය, ඇස් ගොඩගේ, කොළඹ. 2000

* කේමදාසයන්ගේ ජීවන තතු -
http://en.wikipedia.org/wiki/Premasiri_Khemadasa