වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

සෝර්බා නම් ග්‍රීකයා : උපුටනයක්

| Comments

“එක් උදෑසනක, ගසක පොත්තක සවි වී තිබූ දළඹු කෝෂයකින් සිදුරක් තනා සමනලයකු ඉන් පිට වීමට උත්සාහ කළ අයුරු මට සිහි විය. මම ටික වේලාවක් බලා සිටියෙමි. ඌ පිටතට ඒමට ප්‍රමාද වූ නිසා මම නොඉවසිලිමත් වීමි. එය උණුසුම් කරනු වස් මම නැමී කෝෂයට පිම්බෙමි. එය හැකි ඉක්මනින් උණුසුම් කර මගේ ඇස් පනාපිට ජීවිතයට වඩා වේගයෙන් ඒ ආශ්චර්යය සිදු වනු බලා සිටියෙමි.

“කෝෂය විවර විය. සමනලයා හෙමින් ගාටමින් පිටතට අවුත් උගේ තටු නැවත හකුළුවා ගත් සැටිත්, අවාසනාවන්ත සමනලයා උගේ වෙවුලන ශරීරයෙන් ඒවා දිග හැරීමට උත්සාහ කළ සැටිත් දැකීමෙන් ඇති වූ සංත්‍රාසය මට කිසි දිනෙක අමතක නොවනු ඇත.

“මම නැමී, මගේ සුසුමින් ඌට උදව් කරන්නට නිරපරාදේ උත්සාහ කළෙමි. ඌට වුවමනා වූයේ ඉවසිලිවන්ත ව නිසි ආකාරයට එළියට ඒමත්, හිරු රශ්මිය වැද තටු වියළීම ක්‍රමික ක්‍රියාවලියක් ලෙස සිදු වීමත් ය. දැන් එයට ප්‍රමාද වැඩි ය. සමනලයා වෙලාවට පෙර එළියට ගෙන උගේ තටු හැකිළවීමට මගේ හුස්ම බල කළේ ය. ඌ ජීවිතයත් සමග පොරබදා, අවසානයේ දී මගේ අත්ල මත මියෑදිණි.

“මේ කුඩා ජීවියාගේ මළ සිරුර, මගේ හෘදය සාක්ෂියට ලොකු ම බරක් වූවා ය යි සිතමි. ස්වාභාවික නීතිය උල්ලංගනය කිරීම, බරපතල පාපයක් බව මම අද පිළිගනිමි. අප කලබල නොවිය යුතු ය. ඉවසිලිවන්ත විය යුතු ය. එමෙන් ම විශ්වාසවන්ත ව සදාකාලික රිද්මයට අවනත විය යුතු ය.

“මා ගල්තලාවක් මත ඉඳගත්තේ, මේ අලුත් අවුරුදු සිතිවිල්ල මා තුළට උරා ගැනීමට ය. අනේ! ඒ සමනලයාට ඉදිරියෙන් නිතර ම පියාපත් සෙලවීමෙන් මට මඟ පෙන්විය හැකි වුණා නම්.



“මම අලුත් අවුරුදු තෑගි ලැබුවා සේ සතුටින් නැගිට්ටෙමි. සුළඟ සීතල විය. අහස පැහැදිලි විය. මුහුද දිලිසිණි.”

- නිකෝස් කසන්සාකිස්, සෝර්බා නම් ග්‍රීකයා, පරිවර්තනය - සද්ධාතිස්ස වඩිගමංගාව, සංහිඳ මුද්‍රණ සහ ප්‍රකාශන, නුගේගොඩ, 2000. 144-145 පිටු.

කසන්සාකිස් ගැන

පොත ගැන විස්තර

සෝර්බා නම් ග්‍රීකයා ගැන පල වූ විමර්ශනයක්