වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

මහේශ්වරන් මරා අවුරුද්දේ වැඩ ඇරඹීම : මගේ අලුත් අවුරුදු බ්ලොග් සටහන

| Comments


එක්සත් ජාතික පක්ශ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේශ්වරන් මහතා කොටහේන සිවම් කෝවිල තුල නව අවුරුදු ආගමික වතාවත් ඉටු කරමින් සිටියදී වෙඩි තබා මරා දමනු ලැබූ බව වාර්තා වුනා. මේ තරම් නිසැක ඝාතනයක් මෑතක දී සිදු නොවුනු තරම්. ඔහු සූදානමින් පසු වුනේ යාපනය ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින රාජ්‍ය ත්‍රස්තවාදය පිලිබඳ විශේශ අනාවරනයක් මීලඟ පාර්ලිමේන්තු සැසියේ දී සිදු කිරීමටයි. ආන්ඩුවේ ඇමතිවරුන්ගේ ඍජු අනුග්‍රහය හා සහභාගීත්වය සහිතව නිල නොවන රාජ්‍ය මැර හමුදා මගින් ගෙන යන මෙහෙයුම් ද ඒවාට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් ගම් වතගොත ද හෙලිදරවු කිරීමට තමන් අපේක්ශා කරන බව රූපවාහිනී සාකච්ඡාවක දී ප්‍රකාශ කොට හුස්ම ගන්නවත් ඔහුට ඉඩක් ලැබුනේ නෑ.

අද මේ රට සම්පූර්න ෆැසිස්ට් ඒකාධිපතිත්වයක් කරා එල්ටීටීඊ සහ ආන්ඩුව යන දෙපාර්ශ්වය විසින් ම දක්කාගෙන යනු ලබන අන්දම පිලිබඳ අලුත් ම සන්නිදර්ශනය මේ සිදුවීමයි. මහේශ්වරන් ඝාතනය, අප රටෙහි පසුගිය අවුරුද්දේ දේශපාලන ශේශ පත්‍රය සැකෙවින් ගෙන හැර පාන අතර ම ඉදිරි අවුරුද්දේ ස්වරූපය පිලිබඳ අනාවැකිය ද ඉදිරිපත් කලාක් බඳු යි.


මහේශ්වරන් මහතාගේ දියනියගේ අලුත් අවුරුද්ද. සේයාරුව Daily Mirrorවෙතින්


ලක්වැසි ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!