වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

කොළඹ වාර්ගික ශෝධනය හෙවත් Ethnic Cleansing

| Comments



වාර්ගික ශෝධනය යන පදය මම භාවිතා කරන්නේ ethnic cleansing යන යෙදුම සඳහා. ඉන් අදහස් වන්නේ කිසියම් ජනවර්ගයක්, එම ජනවර්ගයට අයත් වීම යන පදනම මත කිසියම් ප්‍රදේශයකින් ඉවත් කිරීමයි. cleanse යන වචනයේ අර්ථය සෝදා පිරිසුදු කිරීම! එසේ කිරීමෙන් අදාළ ප්‍රදේශය වාර්ගික ව “පාරිශුද්ධ” නොහොත් “පිරිසිදු” කලාපයක් බවට පත් කළ හැකි ය යි අදහස් කෙරෙනවා. මේ ඊනියා ශෝධනය ලෝකයේ විවිධ තැන්වල නානා ප්‍රකාර සන්දර්භ තුළ සිදුව තිබෙනවා : ආර්ථික-දේශපාලනික-සංස්කෘතික සම්බාධක යොදා ජනයා ඉවත් කිරීම හෝ පැමිණීම වැළැක්වීම, ඍජු පලවා හැරීම, සමූලඝාතනය හෝ ව්‍යවස්ථාපිත නීති රීති ආදිය මගින් “නිල වශයෙන්” ඉවත් කිරීම ආදිය මෙහිලා යොදාගැනෙන විධික්‍රම. හිට්ලර් ය‍ටතේ නාසි ජර්මනියේ යුදෙව්වන් සමූලඝාතනයට ලක් කිරීම ඉතිහාසයේ එවැනි එක් අඳුරු මොහොතක්. කොළඹ නගරයේ 1983 දී සිදු වූයේත් එවැන්නක්. එයට ඝාතන, විලෝපන, පලවා හැරීම්, රාජ්‍ය ත්‍රස්තවාදය යන මේ සියල්ල අන්තර්ගත වුණා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල එල්ටීටීඊය සිංහල, මුස්ලිම් ජනතාවන්ට එරෙහිව මෙවැනි ක්‍රියාමාර්ග ගත් වාර අල්පයක් නෙවෙයි. එක රැයකින් පැය කීපයකින් ගම්බිම් පිටින් ජනතාව පලවා හරිනු ලබන අවස්ථා අනන්තයි. ඔබ එවැන්නක් දැක නැත්නම් ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ඉර මැදියම සිනමා පටයෙන් ලංකාවේ යුද්ධය පවතින ප්‍රදේශවල වාර්ගික ශෝධනයේ එක් පැතිකඩක් නිරූපණය කරන අයුරු නරඹන්න පුළුවන්. මුස්ලිම් ජනතාව එල්ටීටීඊය විසින් ගම්මාන පිටින් පලවා හරින අන්දම එහි එන එක් ආඛ්‍යානයක් තුළ(වෙනත් දෑ අතර) පෙන්නුම් කෙරෙනවා. නාසිවාදියෝ පවුල් පිටින් යුදෙව්වන් දුම්රියවලට පටවා වධ කවුරු වෙතට හෝ ඝාතකාගාර වෙතට දැක්කූ අන්දම ස්ටීවල් ස්පිල්බර්ග් අධ්‍යක්ෂණය කළ Schindler’s List සිනමා පටයෙන් විදහා දැක්වෙනවා. මෙකී වාර්ගික ශෝධනයේ ම තවත් රූපාකාරයක් මේ දැන් සිදු වෙමින් තිබෙනවා ශ්‍රී ලංකා ආණ්ඩුවේ සහ ජනාධිපතිවරයාගේ නියෝගය මත. ඒ දෙමළ ජනතාවට එරෙහිව.

කොළඹ නගරයේ සිදු වෙමින් පවතින වාර්ගික ශෝධනය වනාහි අතිදැවැන්ත අපරාධයක්. මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධයක්. දෙමළ ජනතාව ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසමින් මේ ආකාරයට පලවා හැරීම සම්පූර්ණයෙන් ම වර්ගවාදී පදනමක් මත කෙරුණු, මෙරට අන්තර් වාර්ගික ආතතිය තීව්‍ර කරන, බෙදුම්වාදී ක්‍රියාවක්. එහි දී සිදු වන්නේ දෙමළ වීම යන හේතුව මත බලහත්කාරයෙන් ඔවුන් තමන්ගේ ම රටේ අගනුවරින් එල්ටීටීඊ හා හමුදා පාලනය යටතේ යුද්ධය ක්‍රියාත්මක වන ප්‍රදේශ වෙත පලවා හැරීමයි.

ඊයේ, එනම් 2007 ජූනි 07 වැනි දා හිමිදිරි පාන්දර කොළඹ දෙමළ පුරවැසියන් සිටින නවාතැන් පලවලට හා නිවෙස්වලට කඩා වැදුණු පොලිසිය පහර දීමට පවා පෙළඹෙමින් බලහත්කාරයෙන් ඔවුනට නියෝග කර සිටියේ කොන්දේසි විරහිත ව ඉවත් වීමට සැරසෙන ලෙසයි. ඔවුන් මිනිත්තු ගණනක් ඇතුළත ලොරි සහ බස්වල පටවා ලංකාවේ උතුරු ප්‍රදේශය බලා යවනු ලැබුවා.
මෙහි ප්‍රකාශිත අරමුණ කුමක් ද? ආණ්ඩුව කියන පරිදි කොළඹ ලොජ් නවාතැන් පලවල නැවතී සිටින දෙමළ ජාතික එල්ටීටීඊ සාමාජිකයින් බෝම්බ ප්‍රහාර සහ වෙනත් තර්ජනකාරී ක්‍රියා සැලසුම් කරනවා. ඒ නිසා ලොජ්වල නැවතී සිටින සියලු දෙමළ ජාතිකයින් උතුරට, එනම් ඔවුන්ගේ හැඳුනුම්පතේ තිබෙන ලිපිනයට ආපසු යැවිය යුතුයි! දැන් ඒ තැන්වල ජීවත් විය හැකි ද නැද්ද යන්න හෝ එය යුද්ධයක් පවතින් තැනක් ද නැද්ද යන්න ආණ්ඩුවේ පිළිවෙතට අදාළ නෑ. ආණ්ඩුවේ තර්කයට අනුව මේ ප්‍රහාර සිදු කරන්නේත් දෙමළ ජාතිකයින් නිසා සියලු දෙමළ මනුෂ්‍ය ප්‍රාණීන් පලවා හැරීම මගින් වාර්ගිකව පාරිශුද්ධ කලාපයක් කොළඹ ගොඩනැගීමෙන් එල්ටීටීඊ තර්ජන වලක්වාගැනීමට පදනමක් සකසාගත හැකියි!!! තවත් නිල වශයෙන් ප්‍රකාශිත කාරණයක් වන්නේ කොළඹ රැඳී සිටීමට “පැහැදිලි” හේතුවක් දැක්වීමට‍ අසමත් වූ දෙමළ පිරිස් මෙසේ පිටත් කර හරින බවයි. එසේ නම් “පැහැදිලි හේතු මොනවා ද?” යන ගැටලුව අපට පැන නගිනවා.
ප්‍රකාශිත තත්වය මෙසේ වුවත් ඊයේ තමන්ට ම අයත් නිවෙස්වල හෝ කුලී නිවාසවල ජීවත් වෙමින් රැකියාවල යෙදෙන දෙමළ ජාතිකයින්ට පවා ඉවත් ව යන ලෙස නියෝග දෙනු ලැබුවා. ඊයේ පලවා හරිනු ලැබූ අය අතර රැකියාව සඳහා කොළඹ ජීවත් වන පිරිස්, වෛද්‍ය ප්‍රතිකාර හෝ විදේශගත වීම සඳහා කෙළඹට ආ පිරිස් හා උතුරේ යුද වාතාවරණයට බියෙන් පලා ආ අය ද ඇතුළත් වුණා. ඒ අනුව පැහැදිලි වන්නේ රැකියාවක යෙදීම, අධ්‍යාපනය, විදේශගත වීම, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම යුද්ධය නිසා කොළඹට සංක්‍රමණය වීම ආදී කිසිවක් කොළඹ රැඳී සිටීම සඳහා වූ “පැහැදිලි” හේතුවක් ලෙස ආණ්ඩුව නොසලකන බවයි. ආණ්ඩුව වක්‍රව ප්‍රකාශ කරන්නේ ඔවුන්ට ආරක්ෂාව හෝ රැකවරණය ලබා දීම තමන් ප්‍රතික්ෂේප කරන බව නෙමේ ද? මෙයින් වැඩිදුරටත් ගම්‍ය වන්නේ දෙමළ ජනතාවට දෙමළ වීම නිසා ජීවත් විය හැකිකේ උතුර හා නැගෙනහිර පමණක් බව ද? මෙසේ එලවා දමනු ලබන පිරිස් එල්ටීටීඊය වෙතට හෝ වෙනත් ත්‍රස්තවාදී ව්‍යාපාරයකට ආකර්ෂණය වීමට මේ එලවා දැමීම ම හේතුවක් විය නොහැකි ද?

දැන් මේ සියලු දෙනා බුරුතු පිටින් පලවා හැර තිබෙනවා. ඉදිරියටත් මේ කටයුත්ත ක්‍රියාත්මක කරන බවට සපථ කිරීම විනා අන් කිසිවක් මේ ගැන ආණ්ඩුව පැත්තෙන් අසන්නට ලැබුණේ නෑ. මේ පිරිස් තවමත් දඹුල්ල, වව්නියාව වැනි නගරවල පාසැල් හා වෙනත් අනාථකඳවුරුවලට සමාන පොදු අවකාශයන්හි රඳවා සිටිනු මිස ඔවුනට අත්වන ඉරණම ගැන කිසිවක් දැනුම් දී නෑ. මේ ඇතැමුන්ගේ “නිල” ලිපිනය ඇත්තේ එල්ටීටීඊ පාලන ප්‍රදේශවල. ඔවුන් සිටින්නේ අතිශය අනාරක්ෂිත තත්වයක. මේ පිළිබඳ ජනමාධ්‍ය වාර්තා ද මර්දනය කිරීමේ අටියෙන් ආණ්ඩුව සිටින බව පැහැදිලිව ම පළ වූයේ ඊයේ රාත්‍රී බීබීසී දෙමළ සේවයේ වැඩසටහන ගුවන්විදුලි සංස්ථාව විසින් වාරණයට ලක් කිරීමෙන්. මේ හිස ඔසවන්නේ සියලු ආකාරවලින් ම ෆැසිස්ට් ලක්ෂණ දරන ප්‍රවණතාවක්. එය රාජ්‍ය බලය ද සහිතව වැඩට බැස තිබෙනවා.