වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

ගාමිණී හත්තොටුවේගම උපහාර උළෙල

| Comments



විජිත ගුණරත්න අධ්‍යක්ෂණය කළ සාක්කි නාට්‍යයේ ග්‍රැන්විල් රුද්රිගු සමග ගාමිණී හත්තොටුවේගම.

ගාමිණී හත්තොටුවේගම - විශිෂ්ට නාට්‍යකරුවෙක්, පරිපූර්ණ නළුවෙක්, පුරෝගාමී නාට්‍ය ගුරුවරයෙක්, ලේඛකයෙක්, විචාරකයෙක්, විද්වතෙක් සහ අදීන මිනිසෙක්. බොහෝ දෙනා ඔහුව හඳුනන්නේ මෙරට වීදි නාට්‍ය කලාවේ පුරෝගාමියා හැටියටයි. වර්තමාන නාට්‍ය, සිනමා හා රූපවාහිනී ක්ෂේත්‍රවල වැජඹෙන උසස් නළු නිළියන් සැලකිය යුතු සංඛ්‍යාවක් දෙනා කවර හෝ අවස්ථාවක ඔහු යටතේ පුහුණුව ලබා ඇති. ඇකඩමික ජීවිතයක පූර්ණකාලීන ව නිමග්න නොවුවද ඔහු අද මෙරට සිටින තියුණු ම බුද්ධිමතුන්ගෙන් කෙනෙකු සේ ම ඉංගිරිසි - සිංහල දෙබසෙහි ම හසළ මනරම් ලේඛන ශක්‍යතාවකින් ද හෙබි ප්‍රාඥයෙක් ද වන බව සිහිපත් කළ යුතු යි. ඔහු සතු විෂයාන්තර ඥානය හා සංස්ථාපිතයට (establishment) එරෙහි වනු පිණිස පවත්නා නිර්භය බව විස්මය ජනකයි! හැම විට ම අවශේෂ විද්වතුන් කෙරෙන් ගව්ගණනක් ඉදිරියෙන් සිටීමටත්, “තරුණ ව” සිතීමටත් ඔහුට හැකි ව ඇත්තේ මේ නිර්භයතාව නිසා ම විය යුතුයි. ආර්ථික හෝ වෙනත් බොහෝ හේතු නිසා සිය සමකාලීනයින් සහ ශිෂ්‍යයින් වෙනත් ලාභදායී ක්ෂේත්‍ර කරා සංක්‍රමණය වුවත් සිය මුළුමහත් ජීවිතයම නාට්‍යකරණයටත් එය ඉගැන්වීමටත් කැපකළ හත්තොටුවේගම සූරීන් අද සිටින්නේ රෝගාතුර ව.

දශක ගණනාවක් පුරා දිව එන (ඉදිරියටත් එසේ පැවත යා යුතු) එතුමන්ගේ කලා හා ශාස්ත්‍රීය සේවාව වෙනුවෙන් උපහාර පිදීමේ උත්සවයක් විවෘත වීදි නාට්‍ය කණ්ඩායම විසින් සංවිධානය කරනු ලැබ තිබීම නාට්‍ය ලෝලීන්ගේ නොමඳ පැසසුමට ලක් විය යුත්තක්. මේ උත්සවය 2007 ජූනි මස 30 වැනි සෙනසුරාදා (පොසොන් පෝය දා) පෙරවරු 10 ට මහරගම තරුණ සේවා සභා ශාලාවේ දී පැවැත්වෙනවා. එය කළ ගුණ දත් නාට්‍ය ලෝලී රසික සැමට විවෘත අවස්ථාවක්.