වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

බරෝඩා, කැලණිය හා ලොව වටා මූලධර්මවාදය

| Comments

ඉන්දියාවේ බරෝඩාවේ හටගත් සිදුවීම් මට එක වර ම සිහිපත් කරදුන්නේ මාස කීපයකට කලින් කැලණිය විශ්ව විද්‍යාලයේ දී අත්දුටු සිද්ධියක්. පසුගිය මැයි 9 වැනි දා කීර්තිමත් එම්. එස් විශ්ව විද්‍යාලයීය ලලිත කලා පීඨයට කඩා වැදුණු භාරතීය ජනතා පක්ෂයේ ප්‍රාදේශීය නායකයෙක් වන නිරාජ් ජායින් ඇතුළු පිරිසක් චන්ද්රමෝහන් නමැති ශිෂ්‍යයාට අඩන්තේට්ටම් කළේ එහි ප්‍රදර්ශනය වෙමින් පැවති ඔහුගේ කලා කෘතියකින් සිය ආගමික හැඟීම් රිදවන බව කියමින්. පසුව පොලිසියේ ද සහයෝගය ගොනු කරගත් මේ පිරිස අදාළ තරුණ කලාකරුවා රිමාන්ඩ් භාරයට ද පසුව උසාවියට ද දැක්කීමට කටයුතු කළා. නමුත් ඉන්දියාව පුරා ම කලාකරුවන්, රසිකරසිකාවන් සහ මානව හිමිකම් ක්‍රියාධරයින් මේ අකටයුත්ත හෙළාදකින්නත් අදාළ කලාකරුවන්ගේ අයිතිය වෙනුවෙන් හඬ නගන්නත් පසුබට වුණේ නැහැ. ඔවුන් ඒ වෙනුවෙන් විරෝධතා ප්‍රදර්ශනයක් පවා සංවිධානය කළා.


14 කණ්ඩායම

කැලණියේ දීත් තරමක් ඊට වඩා “සැර බාල” නමුත් රූපාකාරයෙන් සමාන සිදුවීමක් මීට මාස කීපයකට පෙර හටගත්තා. 14 කණ්ඩායම හැටියට තමන් හඳුන්වාගත් කැලණි විශ්ව විද්‍යාලයීය දෘශ්‍ය කලා, සැලසුම් හා ප්‍රසංග කලා ඒකකයේ අවසන් වසර ශිෂ්‍ය කණ්ඩායමකගේ දෘශ්‍ය කලා ප්‍රදර්ශනයකට බෞද්ධ මූලධර්මවාදීන්ගෙන් තර්ජනයක් එල්ල වුණා. මේ ප්‍රදර්ශනය වනාහි එම සිසු සිසුවියන්ගේ අධ්‍යයන වර්ෂයට සම්බන්ධ ක්‍රියාකාරකමක්. සරල ව කියතොත් විභාග වැඩක්. ඒත් ඔවුන් එම ප්‍රදර්ශනය ඉතා ඉහළ අභිරක්ෂකත්වයක්(curatorship) හා සංවිධාන ශක්තියක් පළ කරමින් වෘත්තීය මට්ටමින් ඉදිරිපත් කර තිබුණා. අනර්ඝ වැඩක්. ප්‍රදර්ශන ශාලාවට පැමිණි මූලධර්මවාදී භික්ෂූන් ප්‍රමුඛ කණ්ඩායම එහි ප්රදර්ශනය කොට තිබූ ස්ථාපන කලා කෘතියක්(installation) ප්රදර්ශනයෙන් ඉවත් කරගන්නා මෙන් තර්ජනය කළ අතර බියපත් ව සැලුම් වෙවුලුම් කෑ විශ්ව විද්යාල පරිපාලනය මේ තර්ජකයන්ගේ අදහසට ඉඩ දී කලා කෘතිය ඉවත් කරගන්නා ලෙස අදාළ ශිෂ්‍යයාට අණ කළා. ගැටලුව පැන නැග තිබුණේ භික්ෂූන් පිරිසක් අදාළ කලා කෘතිය “බෞද්ධ සංස්කෘතියට” නොගැළපෙතැයි ප්රකාශ කර සිටීමත් සමගයි. එම කෘතියේ හිමිකරුවා දක්ෂ තරුණ කලාකරුවක් වන සමුදය බණ්ඩාර ගුණරත්න. මේ ස්ථාපන කලා කෘතිය සමන්විත ව තිබුණේ කුමකින් ද? එහි තිබුණා වටාපතක්, සිවුරක්, පාත්රයක් ඇතුළු භික්ෂුවක් පරිහරණය කරන ඇඳුම් පැළඳුම්, පාවහන් ආදිය. මේ සියල්ල ස්ථාපනය කොට තිබුණේ කලාගාරය ඇතුළත බිම පිරිසිදු වැලි අතුළ ඉඩකඩක. ඊට අමතරව එම තේමාවට ම අනුබද්ධිත සිතුවම් කීපයක් ද අදාළ තරුණ කලාකරුවා ඉදිරිපත් කර තිබුණා. සියල්ල එක ම තේමාවක. ඔහුගේ අරමුණ වුණේ අප භාවිතා කරන උපකරණ ඇඳුම් පැලඳුම් ආදිය විසින් ඒවා හැඳ පැලඳ සිටින්නාට/පරිභෝජකයාට විවිධාකාර සංකේතමය බලයන් ආරූඪ කරවන අන්දම විදහා පෑමයි. ඔහු සිය කෘති පෙළ Colours and Objects Make People(වර්ණ සහ වස්තු මිනිසුන් තනයි) යනුවෙන් නම් කර තිබුණේ ඒ අනුව. ඔහු ඒ කාර්යය සඳහා උපයෝගී කරගත්තේ ආගමික සංකේත හා උපකරණ සමූහයක් වුවත්, ඔහුගේ තේමාව මූලික අර්ථයෙන් ගත් කල ආගම පිළිබඳ වූවක් ද නෙවෙයි. එහෙත් ඔහුගේ කිසිදු පැහැදිලි කිරීමකට කන් දීමට වියරුවෙන් කලාගාරය තුළ රොද බැඳගත් භික්ෂූන් තැකීමක් කළේ නෑ. “වටාපත සිවුර හා පාත්‍රය බිම තැබීමට විරෝධය” පළ කළ භික්ෂූන් කණ්ඩායම ජයග්රහණය කළා. ඔවුන්ගේ නායකයා විශ්ව විද්යාලයීය බෞද්ධ සංගමයේ සභාපති. ජාතික හෙළ උරුමයට සම්බන්ධ පුද්ගලයෙක් මේ අතර විරෝධයට ගිහි පාර්ශ්වයෙන් නායකත්වය දුන්නා.


සමුදය බණ්ඩාරගේ සිතුවමක්
වර්ණ සහ වස්තු මිනිසුන් තනයි, කැන්වසය මත ඇක්‍රලික්, සෙ.මී 60 x 75, 2007
(ඔහුගේ ස්ථාපනයේ ඡායාරූපයක් මට සොයාගන්න ලැබුණේ නෑ. නමුත් මම එය සියැසින් දුටුවා)


කවර ආගමකින් පැන නැඟුණේ වේවා, මූලධර්මවාදී අන්තවාදය මානව සංස්කෘතිය කෙරෙහි විනාශකාරී බලපෑමක් ජනනය කරන බව අවිවාදිතයි.

මේ සියලු අත්තනෝමතික සිද්ධීන් පෙරට යද්දීත් කැලණි විශ්ව විද්‍යාලයීය උපකුලපතිවරයා හෝ පීඨාධිපති කිසිදු තීරණයක් නොගෙන සිදුවීම යන අතක යන්නට ඉඩ හැර ඇඟ බේරාගත් අන්දම අතිශයින් ජුගුප්සාජනක බව ද කිව යුතුයි. කොන්දක් නොමැති ඔවුන් අවසානයේ යටත් වුණේ කලා නාශක මූලධර්මවාදයට. (ඒ අතින් සිය ශිෂ්‍යයාගේ අයිතීන් වෙනුවෙන් කොන්දේසි විරහිත ව පෙනී සිටි එම්.එස්.විශ්වවිද්‍යාලයීය ලලිත කලා පීඨාධිපති ආචාර්ය ශිවාජී පන්ක්කාර් සෑම සියලුදෙනාගේ ම ගෞරවයට පාත්‍ර වෙනවා.) කලින් කී පරිදි එම ප්රදර්ශනය සංවිධානය කොට තිබුණේ අදාළ ශිෂ්ය කණ්ඩායමේ අධ්යයන කාර්යයක් වශයෙන්. එනම් ඔවුන් මේ කලා කෘති ආචාර්යවරයකුගේ මගපෙන්වීම යටතේ, පාඨමාලාවක කොටසක් ලෙස මාස කිහිපයක් තිස්සේ නිර්මාණය කරමින් සිටියා. අවසානයේ අධ්‍යයනාංශයේ ආශීර්වාදය ද නියෝජ්ය උපකුලපතිවරයාගේ සහභාගීත්වය ද සහිත ව ප්රදර්ශනය විවෘත කෙරුණේ එහි අන්තර්ගත කෘති කෙරෙහි කිසිදු “නිල” ගැටලුවක් නොතිබූ නිසයි. එමෙන් ම එය සිසු සිසුවියන්ට ලකුණු ලැබෙන විභාග කටයුත්තක්! සත්තකින් ම එය කැලණි විශ්ව විද්යාල ඉතිහාසයේ පැවැත්වුණු උසස් ම දෘශ්ය කලා ප්‍රදර්ශනවලින් එකක් බව ඉතිහාසය විමසා බලන අයට පෙනී යනවා. එවැන්නක් ආරක්ෂා කිරීම වෙනුවට ෆැසිස්ට්වාදී කෝලාහලකාරයින්ගේ විරෝධයට යට වී මේ අංකුර කලාකරුවන්ට සිදු කළ අසාධාරණය කිසි සේත් අනුමත කළ නොහැකියි.

මෙන්න සිදුවීම් අනුපිළිවෙල:

1) මාස ගණනාවක් තිස්සේ විශ්ව විද්යාලය තුළ සිටිමින් ආචාර්ය මණ්ඩලයේ මග පෙන්වීම සහිත ව නිර්මාණකරණයේ නිරත වීම
2) අධ්‍යයනාංශයේත් පීඨාධිපති ආදීන්ගේත් පණිවිඩ ද රැගත් කැටලොගයක් සහිත ව ප්‍රදර්ශනය විවෘත වීම.
3) ප්‍රදර්ශනයේ දෙවන දිනයේ දී මූලධර්මවාදීන්ගේ විරෝධය මතු වීම
4) විශ්ව විද්යාල පරිපාලනය උතුර දකුණ මාරු වී අදහස් වෙනස් කරගැනීම හෙවත් මූලධර්මවාදයට යටත් වීම. මේ අතරවාරයේ ස්ථාපනය සුදු රෙද්දක් එළා ඒ මත තැබීම පිණිස අධ්යයනාංශයෙන් සුදු රෙද්දක් කලාගාරය වෙත එවනු ලැබුවා. මොන තරම් හාස්‍යජනක ද? මෙය බරෝඩාවේ පීඨාධිපතිවරයාගේ නිර්භය පිළිවෙත සමග සසඳනු යෙහෙකි! කලාකරුවා එසේ සුදු රෙදි එළා සිය කෘතිය විකෘත කිරීම ප්‍රතික්ෂේප කළා.
5) කලා කෘතිය ඉවත් කිරීම (සහ එය ආරක්ෂා කිරීමට කිසි කෙනෙකුට කොන්දක් නොතිබීම)

භික්ෂුවකගේ ඇඳුම තැබිය යුතු ගෞරවනීය ස්ථානය පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ භික්ෂූ-භික්ෂුණීන් හා උපාසක-උපාසිකාවන් මිස කලාකරුවන් නෙවෙයි. කලා කෘතියක් තුළට ගෙන එනු ලබන කවර හෝ වස්තුවක්, කලා කෘතියේ තර්කනය හා බැඳී නව්‍ය අර්ථ ගැන්නෙමින් කලා කෘතියේ අවියෝජනීය අවයවයක් බවට පත් වෙනවා. එය දෙස බැලිය යුත්තේ සමස්ත කලා කෘතිය හැටියට මිස එහි ඇති ඒ හෝ මේ අංගයට බාහිර ලෝකයේ ඇති පැවැත්ම පිළිබඳ අත්තනෝමතික කෙස් පැලෙන තර්ක හරහා නෙවෙයි. කලාවට එයට ම අදාළ වූ තර්කනයක් සහ භාෂාවක් තිබෙනවා. එක් එක් කලා කෘතිය එම භාෂාව සොයාගන්නේ තමන්ගේ ම අන්තර්ගතයේ ස්වරූපය ඔස්සේ. අලුත් කලා කෘති අලුත් ස්වරූප ගන්නේ ඒ නිසයි. ඒ ස්වරූපය ඒ කෘතියේ භාෂාවයි. ආගමේ හා සදාචාරයේ දෘෂ්ටිකෝණයෙන් කලාවට අණ පැනවීම කලාව මරාදැමීමක් මිස අන් කිසිවක් නෙවෙයි

මේ සිද්ධියේ දේශපාලන ගම්‍යයන් මොනවා ද? ඉන්දියාවේ සේ ම ලංකාවේත් ලොව වටා තවත් බොහෝ තන්හිත් පාලක පන්තිය ආගමික මූලධර්මවාදයේ සරණ පතා ඇති අවධියක් මේක. ඇමෙරිකා එක්සත් ජනපදය, මැදපෙරදිග, පාකිස්තානය හා ඉන්දියාව මේ ලක්ෂණයන් ඉහළින් ම මූර්තිමත් කරන ස්ථාන. කීර්තිමත් ඉන්දීය කලාකරු එම්. එෆ්. හුසෙයින් සිය කලා ජීවිතය පුරා ම හින්දු දේව පුරාණයේ විවිධ චරිත සිතුවමට නැගුවා, බොහෝ විට නග්න රූප හැටියට. වසර ගණනාවක් යන තුරු කිසි කෙනෙක් එයින් කිපුණේ නෑ. සියවස් ගණනාවක් තිස්සේ හින්දු ආගමික පුරාවෘත්තයන් කලාවට නැඟීමේ දී නග්නභාවය කිසිදු ගැටලුවක් මතු කර නෑ. ලොව බිහි ව ඇති අතිශය විස්තරාත්මක ශාංගාර කලා කෘති බොහොමයක් හින්දු සම්ප්‍රදාය තුළ අපට හමු වෙනවා. මේ කිසිවක් ඉතිහාසය පුරා ප්‍රචණ්ඩත්වයෙන් සැලකුම් ලැබුවේ නෑ. ඒත් හින්දු මූලධර්මවාදය මෑත දශකවල බලවත් ව හිස ඔසවන්න ගත්තා. ඉන් අනතුරුවයි මේ ආකාර වියරු ප්රතිචාර එල්ල වෙන්න පටන්ගත්තේ. මෑත දී හින්දු ජාතිකවාදීන් හුසෙයින්ගේ සිතුවම් විනාශ කළ වාර ගණනින් ඉතා විශාලයි. මේ මොහොත වන විටත් ඉන්දීය අධිකරණයක් ඉදිරියේ ඔහුට එරෙහි ව නඩුවක් විභාග වෙමින් පවතිනවා. ඒ ආගමට අපහාස කිරීම ගැන. හුසෙයින්ගේ දේපොළ අත්පත්කරගන්නා නියෝගයක් ද ඒ සමග ම නිකුත් කරලා. බෞද්ධ සම්ප්‍රදාය ගැන කිව හැක්කේත් ඒ හා සමාන දෙයක්. ජාතක පොත ඇතුළු බොහෝ තන්හි වර්තමාන මූලධර්මවාදීන්ගේ දෘෂ්ටියෙන් “ආගම් ව්රෝධී” විය හැකි දෑ තිබුණත් ඒ කිසිවක් සියවස් ගණනාවත් තිස්සේ ප්‍රචණ්ඩ විරෝධයකට පාත්‍ර වෙලා නෑ. කොට්න් ම 90 දශකය තුළ බිහි වූ “නූතන” කලා නිර්මාණ පවා එවැනි විරෝධයකට ලක් නොවන අන්දම නිරීක්ෂණය කළ හැකියි. ඒත් දැන් තත්වය මොකක්ද? අක්ෂරය, සුළඟ එනු පිණිස ආදී සිනමාපටවලටත් එම නිර්මාණකරුවන්ටත් එල්ල වී ඇති තර්ජන පසුපස වෙනත් දෑ අතර ආගමික මූලධර්මවාදය ද තිබෙනවා. දැන් චිත්‍ර හා ස්ථාපන කලා ප්‍රදර්ශනයක් තුළට ඇවිද අවුත් එහි කෘති ගැලවීමට බලහත්කාරකම් කිරීමට තරම් මේ ප්‍රවණතාව දුරදිග ගිහින්. රාජ්‍ය බලය සමගත් මේ මූලධර්මවාදය සහවාසයක ඉන්නවා. මෙය නව නැඹුරුවක්. ඛේදජනක සේ ම අන්තරායකාරී ප්‍රවණතාවක්.

බරෝඩා සිද්ධිය හා එයින් පසු හටගත් සහයෝගීතා වැඩසටහන් ගැන කියැවීමට පහත සඳහන් වෙබ් පිටුවලට යොමු වන්න. ලංකාවේ සිද්ධිය ගැන නම් ලීවේ රාවය පුවත්පත පමණයි.

ඡායාරූප -
http://www.artconcerns.com/barodapics/index.htm
වීඩියෝ වාර්තාවක් - http://www.ibnlive.com/videos/40154/vhp-moral-brigade-trashes-exhibition.html
India Uncut: Fascism in Baroda

From ArtConcerns.com :
http://www.artconcerns.com/html/baroda_leadstory.htm
http://www.artconcerns.com/html/baroda2.htm

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මූලධර්මවාදය ගැන මගේ වෙනත් සටහන් Kareem the Imprisoned Egyptian Blogger