වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

සිංහල යුනිකෝඩ් : භාෂා ව්‍යවහාරයේ හා පරිණාමයේ දෘෂ්ටිකෝණයෙන් කෙරෙන ඇගැයුමක්

| Comments

හැඳින්වීම

යුනිකෝඩ් සිංහල පිළිබඳ සාකච්ඡාව යළිත් වරක් ඇවිළ ගිහින්. මම දැන් දින කීපයක් තිස්සේ 2004 පමණ පටන් පළ වූ විවිධාකාර ලේඛන යළි කියවමින් අධ්‍යයනය කරමිනුයි ඉන්නේ. මට නිරීක්ෂණය කරන්න ලැබුණු දෙයක් තමයි මේ විවාදය තුළ තාක්ෂණික පාර්ශ්වයෙන් බොහෝ කරුණු කාරණා ඉදිරිපත් වුණත් සිංහල භාෂා භාවිතය පැත්තෙන්, භාෂාවේ පරිණාමය පැත්තෙන් සංවේදී ව කෙරුණු සලකා බැලීම් ඉතා අඩු බව. එයට හේතුව වෙන්න ඇත්තේ සිංහල භාෂාව ඇත්තට ම දෛනික හා වෘත්තීය ජීවිතයේ දී යොදාගන්නා අයගෙන් තොරව මේ සාකච්ඡා සිදු වීම වෙන්න පුළුවන්. ඒ නිසා ම සිංහල භාෂාව භාවිතා කරන උදවියට අතිශයින් තීරණාත්මක අන්දමින් අනාගතයේ දී බලපෑමට නියමිත ප්‍රශ්නයක් ගැන සිදු වූ මේ සාකච්ඡාව ගැන සිංහල බසින් අන්තර්ජාලයේ පළ වෙලා තියෙන්නෙත් වචන ස්වල්පයක් පමණයි. මම දැක්කා ඩොනල්ඩ් ගාමිණීතිලක මහතා මෙන් ම තවත් බොහෝ නාමික සහ නිර්නාමික පුද්ගලයින් සම්භාව්‍ය සිංහල සාහිත්‍යය විතරක් නෙවෙයි පාලි, සංස්කෘත යන භාෂාත් මේ සංවාදයට පටලවාගෙන තියෙනවා. හැබැයි මේ එක්කෙනෙක් වත් මේ එක ද භාෂාවක් හෝ භාවිතා කරන බවක් හෝ දන්නා බවක් නම් මට පෙනුණේ නෑ. ඊයේ රාත්‍රියේ ඩොනල්ඩ් මහතාගෙන් ලැබුණු ඊ මේල් පණිවිඩයක දැක්වෙන පරිදි සියලු අකුරු SLSI හි ලියාපදිංචි නොකිරීම පාලි භාෂා අධ්‍යයනයටත් බලපා තිබෙනවලු. හොඳයි, අපි පාලි විතරක් නෙවෙයි සංස්කෘත භාෂාව ද විධිමත් ව සාකච්ඡා කරමින් විමර්ශනයක යෙදෙමු. මේ කතාවලට පදනමක් තියෙනවා ද නැද්ද යන්න පරීක්ෂා කරමු. නමුත් එය මේ ලේඛනයේ අප්‍රධාන අරමුණක්. සියල්ලට ම කලින් සිංහල භාෂාවේ දෘෂ්ටිකෝණයෙන් සාකච්ඡාව ආරම්භ කරමු. මගේ අනුමාතෘකා වෙන්නේ මෙන්න මේවා.

1) යංශය, රේඵය, රකාරාංශය හා බැඳි අකුරු දැන් තිබෙන ප්‍රමිතියට අනුව ලිවිය නොහැකි ද?
2) සම්භාව්‍ය සිංහල සාහිත්‍යය, පාලි හා සංස්කෘත භාෂා සහ බැඳි අකුරු පිළිබඳ ගැටලුව (ජනාධිපතිවරයාගේ නම ලිවීම පිළිබඳ ගැටලුව කියලා කියන්නත් පුළුවන් ;-)
3) සියලු “අකුරු” ලියාපදිංචි කිරීම අවශ්‍ය ද? එනම් සිංහල යුනිකෝඩ්, ඩොනල්ඩ් මහතා දක්වන අර්ථයෙන් අසම්පූර්ණ ද?
4) තාක්ෂණික දුෂ්කරතා සහ යුනි‍කෝඩ්වල ඇතැයි කියන “දෝෂ” - පරිගණක තාක්ෂණ ක්ෂේත්‍රයෙන් පිටස්තර සිංහල ලේඛකයකුගේ ධාරණා හා ආලෝචනා
4) සිංහල යුනිකෝඩ්, සිංහල භාෂා ව්‍යවහාරයේ හා පරිණාමයේ ඇසින් තක්සේරු කිරීමක්

ලිපි පෙළ ලබන සඳුදා පටන් කොටස් වශයෙන් පළ වේවි. මම ලියන්නෙ සිංහලෙන්, සිංහල දන්න අයගේ ප්‍රයෝජනය උදෙසා, වර්තමාන සිංහල භාෂාවේ ව්‍යාකරණයෙන්. එසේ ම ශාස්ත්‍රීය ප්‍රවිශ්ටය රැක ගන්නා නමුත් සාමාන්‍ය සිංහල පාඨකයාට පහසුවෙන් ග්‍රහණය කරගත හැකි ශෛලියකින් ලියන්නත් මම වෑයම් කරනවා. මේවා බ්ලොග් සටහන් හැටියට පළ වන නිසා කුඩා කොටස්වලට කඩා පළ කිරීම මගින් කියවීමට මෙන් ම සාකච්ඡාවට ද පහසුවක් ඇති කරනු ඇතැයි මම කල්පනා කරනවා. මෙන්න විවාදයට පාත්‍ර ව ඇති සිංහල යුනිකෝඩ් පුවරුව.

රූපය විශාල කිරීමට එය මත ක්ලික් කරන්න

ඛේදජනක අතුරු මාවත්වල සාකච්ඡාව ගමන් කිරීම වැළැක්වීම පිණිස අද “නිදහස්” අදහස්වලට (comments) ඉඩ දීලා නෑ. ඔබේ අදහස් හදිසි නො වී සන්සුන් ව විද්‍යුත් තැපෑලෙන් එවන්න. මගේ අවධානයට ලක් විය යුතු යයි ඔබට සිතෙන ලිපි ලේඛන තියෙනවා නම් ඒවාත් එවන්න.