වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

Kareem: The Imprisoned Egyptian Blogger

| Comments

කරීම් නිදහස් කරගැනීමේ සටන

ඊජිප්තු බ්ලොග් රචකයෙක් දැන් සෑහෙන කාලයක් තිස්සේ ඉන්නේ අත් අඩංගුවේ. ඒ ඔහු ලියූ ඇතැම් බ්ලොග් සටහන් එරට දේශපාලන හා ආගමික සංස්ථාපිතයට “අනුකූල” නො වූ නිසයි. ඔහු අරාබි භාෂාවෙන් බ්ලොග්කරණයේ යෙදුණු අයෙක්, නම අබ්දුල් කරීම් නබිල් සොලිමාන් (මම ඔහුගේ නම වැරදියට උච්චාරණය කරලා නම් කරුණාකර දන්න කෙනෙක් ඒක නිවැරදි කරන්න.) මාර්තු 12 වැනි දා ඊජිප්තු අධිකරණයක් විසින් ඔහුව සිව් වසරක සිර දඬුවමකට යටත් කෙරුණා. එයට හේතු වුණේ ඔහු ලියූ බ්ලොග් සටහන්. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ඔහු ඉස්ලාම් ආගමික සංස්ථාපිතයේ ඇතැම් මූලධර්මවාදී පැතිකඩ විවේචනය කළා.


කරීම් නිදහස් කරන මෙන් ඉල්ලා ලන්ඩන් නුවර කෙරුණු උද්ඝෝෂණයක් (ඡායාරූපය freekareem.org වෙතින්)


ඔක්තෝබර් මාසයේ කරීම් ලියූ සටහනක ඔහු සාම්ප්රදායික උපවාස මාසය නම් කළේ “කුහකත්වයේ මාසය” ලෙසිනුයි. ඔහු එහි දී තර්ක කළේ බොහෝ ඊජිප්තු වැසියන් අද වන විට මේ ආගමික වතාවත් අනුගමනය කරන්නේ ඔවුන්ට අවශ්‍ය නිසා නො ව හුදෙක් සමාජයෙන් එන පීඩනය නිසා පමණක් බවයි.

ඊජිප්තු හමුදාව කරීම්ගේ විවේචනයට ලක් වූ තවත් සංස්ථාවක්. “ජාතික උරුමයන්” ආරක්ෂා කරගැනීම සඳහා හමුදා සේවයට බඳවා ගැනීමේ අනිවාර්ය විධිවිධාන ඔහු ගේ තියුණු දෝෂ දර්ශනයට පාත්ර වුණා. එය ජාතික “සේවයක් ලෙසින්” මවා පානු ලැබූ “වහල්” ක්රමයක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. එසේ ම අනිවාර්ය යුද සේවයට බඳවා ගනු ලබන අයට අමානුෂික ලෙස සැලකීම ගැනත් ඔහු ඊජිප්තු හමුදාවට චෝදනා කර සිටියා.

කරීම් අල් අසාර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු මානව හිමිකම් පිළිබඳ නිතිඥ ආතනයක් ආරම්භ කොට එම අංශයේ සේවය කිරීමේ අපේක්ෂාවෙන් ඔහු පසු වන බවයි කරීම් සිය බ්ලොග් එකේ සඳහන් කරන්නේ. ඒත් ඔහුට පළමු ප්රහාරය ආවේ විශ්ව විද්‍යාලය තුළින් මයි. බ්ලොග් රචනාවල අන්තර්ගතය හේතුවෙන් විශ්ව විද්‍යාලයෙන් නෙරපා හරින ලද කරීම්ව පසුගිය නොවැම්බර් මාසයේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ “ඊජිප්තු ජනාධිපතිවරයාට අපහාස කිරීම” සහ “ඉස්ලාම් ධර්මය අවඥාවට ලක් කිරීම” යන චෝදනා යටතේ.

ඔහු පිළිබඳ ව The Jerusalem Report හි පළ වූ ඉංග්රීසි ලිපියක PDF ගොනුවක් දැන් වැඩි විස්තර දැන ගැනීම සඳහා ඔබට කියවිය හැකියි. මේ ලින්ක් එක [link] www.freekareem.org වෙබ් අඩෙවියෙන්.

ඇත්තෙන් ම යම් කිසිවකු ආගම සහ රාජ්‍යය විවේචනයට ලක් කිරීම නිසා මේ විසි එක් වැනි සියවස තුළ හිරබත් කනවා ය කියන කාරණය ම සිත් කම්පනය කරවන්නක්! මට සිහි වෙන්නේ අපේ රටේ පසුගිය දවස්වල “මාධ්‍ය කොට්” “සොයා ගමු, වනසමු” ආදී වශයෙන් කෙරුණු උසිගැන්වීම්. මේවා පසුපසත් එක්තරා විදිහක මූලධර්මවාදී පදනම් තියෙනවා. ඉස්ලාම් හෝ වේවා බෞද්ධ හෝ වේවා මූලධර්මවාදය සෑම විට ම පිහිටා සිටින්නේ නිදහස් අදහස් දැරීම හා ප්රකාශනයට එරෙහි ව යි. මහජන අප්රසාදයට පත් ව, මහජනයාගෙන් වියෝ වී අර්බුදගත ව සිටින පාලකයින් ඇතැම් අවස්ථාවල මූලධර්මවාදය අනුග්ර සපයමින් එහි පිහිටෙන් සිය පාලනයට එරෙහි විවේචන මර්දනය කරන්න ගත් වෑයම් ඉතිහාසයේ දුර්ලභ නැහැ.

කරීම්ගේ සිද්ධිය පුළුල් ව පැතිර ගිය අන්තර්ජාතික විරෝධයක් ජනනය කිරීමට සමත් වෙලා තියෙනවා. ඔහු නිදහස් කරගැනීම උදෙසා දැන් www.freekareem.org නමින් වෙබ් අඩෙවියක් ද ක්රියාත්මකයි. කරීම් සිය මව් භාෂාවෙන් ලියූ ඇතැම් බ්ලොග් රචනාවල පරිවර්තන දැන් පාඨකයින්ට ඉංග්රීසියෙන් කියවන්න අවස්ථාව තියෙනවා.